පාකිස්තානයට ක්‍රිකට් ජය පැතූ ඉන්දියානුවන්ට රාජද්‍රෝහී චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, AFP
පසුගිය ඉරිදා එංගලන්තයේ පැවැත්වුන 'චැම්පියන්ස්' කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟයෙන් ඉන්දියාව පරාජයට පත් කරමින් පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් උද්දාමයට පත්ව හඬ නගමින් සිටියේ යයි පැවසෙන පහළොස් දෙනකුට එරෙහිව ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය රාජද්‍රෝහී චෝදනා නගයි.
එම චූදිතයන් පහළොස් දෙනාම මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මුස්ලිම් සුළුතර ප්‍රජාවට අයත් වෙති.
ක්‍රීඩා තරඟය පෙරට යමින් පවතින අතරවාරයේ තම ගමේ සිට එය නරඹමින් සිටි එම මුස්ලිම් ක්‍රීඩාලෝලීන් පහළොස් දෙනා, පාකිස්තාන් කණ්ඩායම වෙනුවෙන් හඬ නගමින් ඉන්දියාවට එරෙහිවද පාකිස්ථානයට පක්ෂව ද සටන් පාඨ කියමින් සිටි බව පොලිසිය පවසයි.
රාජද්‍රෝහී චෝදනාවලට වරදකරු කෙරෙන තැනැත්තකු ඉන්දියානු නීතිය අනුව ජීවිතාන්තය තෙක් බලපැවැත්වෙන උපරිම සිර දඬුවමකට යටත් කළ හැකි වෙයි.
එම නීතිය දැඩි ලෙස පාවිච්චි කරන බවට ඇතැම් මානව හිමිකම් සංවිධාන ඉන්දීය බලධාරීන්ට චෝදනා කරන නමුත් අපැහැදිලි වචන මගින් විග්‍රහ කෙරෙන රාජද්‍රෝහී වරදට අදාළ නීතිය මෑත අවුරුදුවල ඉන්දීය බලධාරීන් විසින් භාවිතා කරනු ලැබ තිබෙන්නේ විරෝධතා ව්‍යාපාර අඩාල කර දැමීමටයි.

කෙසේවුවද, ඉන්දියාවේ රාජද්‍රෝහී නීතිය එරට අපරාධ නීති සංග්‍රහයේ ඉතා දරුණුතම නෛතික විධිවිධාන පද්ධතිය වෙයි.
රාජද්‍රෝහී චෝදනාවලට අදාළ ඉන්දියානු නීතිය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ 1870 වසරේ නීතිගත කරන ලද්දකි.
පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජයඝෝෂා නැගීම නිසා ඉන්දියානු මුස්ලිම් කණ්ඩායමක් දුෂ්කර තත්වයකට පත් පළමු අවස්ථාව මෙය නොවේ.
2104 වසරේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කාෂ්මීර් සරසවි සිසුන් 66 දෙනෙක් ප්‍රජා සුසංයෝගයට අවහිර කිරීමේ චෝදනා යටතේ සරසවියෙන් නෙරපා හරිනු ලැබුණි.








