රවුෆ් හකීම් තවත් කල් ගනියි

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමඟ අද, සෙනසුරාදා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සාකච්ඡා කල බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසයි.

එහෙත් ජනාධිපතිවරනයේදී සහය ලබා දෙන්නේ කවර පාර්ශවයටද යන්න තවමත් තීරණය කොට නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

අද සෙනසුරාදා හෝ හෙට හෝ අවසන් තීරණය ගන්නා බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා සංදේශයට පැවසුවේ.

රජයත් පොදු විපක්ෂයත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සමඟ දැඩි උනන්දුවකින් සාකච්ඡා කරන නමුත් රජයේ පාර්ශවයෙන් බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඇතුළු තවත් ඇමතිවරුන් පිරිසක් විටින් විට සාකච්ඡා පවත්වා ඇති බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා සඳහන් කළේ.

නිරාකරණ කර ගත යුතු සමහර කරුණු සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය දෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බලා සිටින බව පැවසූ ඔහු ඉන් අනතුරුව දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගන්නා බව පැවසුවේය.