'ළමා දූෂකයන් හඳුනා නොගන්නේ බිය නිසා' - ආසියානු මානව හිමිකම් කොමිසම

ඡායාරූප මූලාශ්‍රය, Basil Fernando

ශ්‍රී ලංකාවේ යුද හමුදා භටයන් විසින් සිදු කරනු ලබන දූෂණ අපචාර වලට එරෙහිව පියවර නොගැනීමට හේතුව එමගින් හමුදාවේ චිත්ත ධෛර්යය පිරිහෙන්නේ යයි රජයේ බලධාරීන් සිතන නිසා යයි ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

පවුල් ජීවිතයෙන් ඈත් වූ යුද හමුදාවක් ජනාවාශ මැද රඳවනු ලැබීමෙන් එවැනි අපචාර සිදු වීම නොවැලක්විය හැකි බවයි, ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා පවසන්නේ.

ඔහු එම අදහස් පළ කළේ ළමා දූෂණවලට එරෙහිව යාපනයේ කාන්තාවන් සිකුරාදා ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව බීබීසී සංදේශය සමඟ පැවත් වූ සාකච්ඡාවකදී.

දෙමව්පියන්ට ජීවිකා වෘත්තියේ නිරත වීමට සිදුවීම නිසා දරුවන් වෙනුවෙන් ම කැප වී සිටීමට නොහැකි වීමෙන් දරුවන් දූෂකයන්ට ගොදුරු වෙන අතර, ආරක්ෂක අංශ කෙරේ පවතින භීතිය නිසා අපරාධ කරුවන් හඳුනා ගැනීම සිදු නොකෙරෙන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

ප්‍රදේශයක ජනගහනයට වඩා අධික අසීමිත ප්‍රතිශතයකින් ආරක්ෂක භටයන් සැරිසරණ විට ජනතාව අසරණ වෙන බව පවසන ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු , ශ්‍රී ලංකාවේ නීතිය සහ සාමය කඩා වැටී ඇති තරම අනුව පවතින තත්වයෙන් ගොඩ ඒමක් සිතා ගැනීම පවා අපහසු බවයි සඳහන් කළේ.

ළමාරක්ෂණ අධිකාරිය

මේ අතර සංදේශයට ප්‍රකාශයක් කරන ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක කියා සිටියේ, ළමා අපචාර වලට චෝදනා ලබන්නන් මුදා හැරීම සඳහා තම සංවිධානය කෙරේ කිසිදු පිටස්තර බලපෑමක් සිදු නොකෙරෙන බවයි.

පොලිසියට එවැනි බලපෑම් එල්ල වෙන බවට කිසිවකු චෝදනා කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගැනීමේ ක්‍රමවේදයක් පවතින බවත් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනිය පෙන්වා දෙයි.

පසුගිය දා ‘කරෙයිනගර්’ ප්‍රදේශයේ ළමා දූෂණ සම්බන්ධයෙන් නාවික හමුදා භටයන්ට චෝදනා කෙරුණත් අදාළ කඳවුරේ නිරත භටයන් කිසිවකු හඳුනා ගැනීමට දූෂණයට ගොදුරු වූ දැරියන් අසමත් වූ බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ.