ඇමරිකානු තහංචි නිසා බැට කන ලංකාව
ඉරානයෙන් තෙල් ප්‍රවාහනය කරන නැව් සඳහා රක්ෂණ සහතික ලබා නොදීම හේතුවෙන් එක්සත් ජනපදය අවසර දී ඇති තෙල් ප්‍රමාණයවත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත නොහැකි තත්වයක් උදා වී ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

මේ පිළිබඳ සමීක්ෂණයක යෙදුණු සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ජාත්‍යන්තර පුවත් සංස්කාරක අමීන් ඉසඩීන් ප්‍රකාශ කළේ ඇමරිකානු තහංචි හමුවේ ඉරානයෙන් තෙල් ගෙන්වන නැව් රක්ෂණය කිරීම රක්ෂණ සමාගම් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ලෝක බලවතුන් ඉරානය සමඟ පැවති සාකච්ඡා වලින් පසුව ඇතැම් සම්බාධක ඉවත් කිරීමට එක්සත් ජනපදය පියවර ගැනීම නිසා සපුගස්කන්ද බලාගාරයට ඉරානයෙන් බොර තෙල් ගෙන්වා ගැනීම යළි ආරම්භ කළ හැකි වෙතැයි ශ්‍රී ලංකා බලධාරීහු අපේක්ෂා කළහ.
මේ පිළිබඳව ඇමරිකාව සමඟ සාකච්ඡා කිහිපයක්ම පැවැත් වූ නමුත් ඒ සඳහා අවසර නොලැබීම නිසා ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් විශාල පාඩුවක් සිදුවන බවයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසන්නේ.