අනේ මගේ පුතා සොයා දෙන්න - මවකගෙන් ආයාචනයක්

මීට වසර තිස් අටකට ඉහතදී ඩෙන්මාර්ක යුවලක් විසින් දරුකමට හදා ගත් බව පැවසෙන සිය පුතා සොයා දෙන මෙන් කුවෙට්වාසී ශ්‍රී ලාංකික මවක ඉල්ලා සිටියි.

A mother with a child
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්පහ රෝහලේ උපත ලැබූ ජෝර්ජ් හෙන්රි ඩෙන්මාර්ක යුවලකට භාර දී තිබෙන්නේ ඉතා බාල වියේදී

ජාත්‍යන්තර ළමා දිනය යෙදෙන ඔක්තෝබර් පළමු වැනිදා ගම්පහ රෝහලේදී උපත ලැබූ සිය පුතා, ජෝර්ජ් හෙන්රිට යාන්තමින් දින හයක් සපිරෙද්දී පියා විසින් ඔහු බොරැල්ලේ ළමා නිවාසයකට භාර දුන් බව කුවේටයේ සිට දුරකතනයෙන් බීබීසී සංදේශය ඇමතූ ඇය කියා සිටියාය.

ඉන් අනතුරුව ජෝර්ජ් හෙන්රි බිලිඳා හදා ගැනීම පිණිස ඩෙන්මාර්ක ජාතික යුවලකට භාර දුන් බව ළමා නිවාසය ඇයට දැනුම් දී තිබේ.

පුතාට යාන්තමින් මාස හය සපිරෙද්දී ගත් ඡායාරූපයක් හැරුණු කොට, එදා මෙදා තුර සිය පුතා ගැන කිසිම තොරතුරක් ඇයට දැන ගන්නට ලැබී නැහැ.

"හැමදාම සොයනවා. අනේ කොහොම හරි සොයා ගන්න තමයි ඕනේ," යනුවෙන්ද ඇය කියා සිටියාය.

කෙතරම් විමසුවද එම ඩෙන්මාර්ක ජාතික යුවලගේ තොරතුරු ලබා දීම ළමා නිවාස බලධාරීන් ප්‍රතික්ෂේප කරන බවද ඇය කියා සිටියාය.

1975 දී සිය බිලිඳු පුතා ළමා නිවාසයට භාර දීමෙන් අනතුරුව, 1980 දී ගෘහ සේවයේ යෙදීම පිණිස කුවේටයට ගිය ඇය එදා මෙදා තුර එහි වාසය කරයි.

සිය පුතා සොයා ගැනීමේ අරමුණින් සංදේශය අමතන්නට සිත් වූයේ, ශ්‍රී ලාංකික මවු පියන්ට දාව උපත ලබා නෙදර්ලන්ත ජාතික මවු පියන් විසින් හදා වඩා ගනු ලැබූ දරුවන්ගේ විස්තර කියවීමෙන් අනතුරුව බවද ඇය සඳහන් කළාය.