රාජ්‍ය බැංකු චීන සමාගම්වලට විකිණීමේ සැලැස්මක් - එජාප

රාජ්‍ය බැංකුවල කොටස් චීන සමාගම්වලට විකිණීමේ සැලැස්මක් තිබෙන බව පවසන එක්සත් ජාතික පක්ෂය අදූරදර්ශී මූල්‍ය පරිපාලනය හේතුවෙන් රාජ්‍ය බැංකුකඩා වැටීමේ අනතුරක් පවතින බවටද අනතුරු අඟවයි.

Central Bank of Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය බැංකුවල අයිතිය චීන සමාගම්වලට හිමිවිය හැකි බව එජාපය පවසයි

"විවිධ ලේබල් අලවලා මේවා චීනයේ සමාගම සහ බැංකුවලට උගස් කරන්නයි ආණ්ඩුව මේ ක්‍රියා කරන්නේ," බවයි, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

මේ මස මුලදී චීනයේ සංචාරය කරමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකා රාජ්‍ය බැංකුවල ආයෝජනය කරන මෙන් චීනයෙන් ඉල්ලා ඇති බව ඔහු සඳහන් කරයි.

මෙම ක්‍රියාදාමය මගින් රාජ්‍ය බැංකුවල අයිතිය චීන සමාගම්වලට හිමිවිය හැකි බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේ මතයයි.

'මහා පරිමාණ වංචාවක්'

එම චෝදනාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

ලංකා බැංකුව දැඩි ලෙස මූල්‍ය අර්බුදයකට යොමු වී ඇති අතර, රුපියල් කෝටි 13,500 ක ණය මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් ලබා ගැනීමට සැරසෙන බවද එජාපය පවසයි.

එමෙන්ම මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම මාර්ගයෙන් මහා පරිමාණ වංචාවක් සිදු කරන බවටද ආණ්ඩුවට චෝදනා කරයි.

උතුරේ දුම්රිය මාර්ග සඳහා කිලෝමීටරයක් ඉදි කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් පමණක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කොට තිබෙන අතරවාරයේ, බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදි කිරීමට ඩොලර් මිලියන දහයක් වැය වන්නේ කෙසේ දැයි මහ ලේකම්වරයා ප්‍රශ්ණ කරයි.