ක්‍රිකට් විකාශන අයිතිය වසර තුනකට CSN නාලිකාවට
ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය CSN හෙවත් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු කිරීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයකට ලක්වී තිබේ.
විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන්ට අයත් බව පැවසෙන එම නාලිකාවට විකාශන අයිතිය ලබාදීම පිටුපස බරපතල වංචාවක් සිදුවී ඇතැයි සැක කිරීමට සාධාරණ හේතු තිබෙන බව, දූෂණ විරෝධී ක්‍රියාධරයකු වන ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු ප්‍රධානී නීතිඥ ක්‍රිෂාන්ත වැලිඅමුණ පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty
මෙම චෝදනා පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස ඇමතීමට අප දැරූ උත්සාහය සාර්ථක වූයේ නැහැ.
එම විකාශන අයිතිය ලබා ගැනීම සඳහා මීට පෙරාතුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් එක්කෝටි 43 න් ලක්ෂයක් ගෙවා තිබෙන නමුත්, මෙවර CSN නාලිකාව ඒ සඳහා ඉදිරිපත් කරන ලද ලන්සුව රුපියල් එක්කෝටි 25 න් ලක්ෂයක් පමණක් බවයි, සන්ඩේ ලීඩර් පුවත්පත පවසන්නේ.
ඉදිරි වසර තුන සඳහා විකාශන අයිතිය ලබාදීම පිණිස ඉල්ලුම්පත්‍ර කැඳවූ අවස්ථාවේ ඉල්ලුම් පතක් ඉදිරිපත් කළේ CSN නාලිකාව පමණක් බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
'බැඳියාවන් අතර ගැටුමක්'
මෙවර එම අයිතිය ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළේ මන්දැයි සංදේශය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක ගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ රූපවාහිනී සංස්ථාවේ නිලධාරීන් අදාල පුවත්පත් දැන්වීම නොදුටුවේ මන්දැයි පරීක්ෂණයක් පවත්වන බවයි.
මතභේදයට තුඩුදී තිබෙන මෙම ගනුදෙනුව මගින් රාජ්‍ය ආයතන දෙකකට අදායම් අහිමිවීම මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණයක්ද සිදුවී තිබෙන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකරගේ අදහසයි.
එහෙත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් තවදුරටත් විකාශන බලපත්‍ර හිමියන් නොවන බැවින් මෙම ගිවිසුමට එරෙහිව නීතියේ පිහිට පැතීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාවක් ලැබේ දැයි සැක සහිත බවද ඔහු පැවසීය.
විකාශන අයිතිය පිලිබඳ විශේෂඥයෙකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් ජයරත්න සංදේශයට අදහස් දක්වමින් කියාසිටියේ වෙනත් බොහෝ රටවල මෙන් විකාශන අයිතිය බෙදාදීමේ වගකීම ස්වාධීන ආයතනයකට පැවරීම මෙවැනි අර්බුද විසඳීමේ හොඳම මාර්ගය බවයි.
මෙම ගනුදෙනුවේ පාර්ශවයන් පිලිබඳ තවත් බරපතල කරුණක් පෙන්වාදෙන නීතිවේදී ක්‍රිෂාන්ත වැලිඅමුණ, CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා වන නිශාන්ත රණතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ද වීම පැහැදිලිවම බැඳියාවන් අතර ගැටුමක් (conflict of interest) ඇති කරන්නක් බැවින් එය දූෂණයක් නොවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.
නරඹන්නාගේ අයිතිය
මේ පිළිබඳව විමසීමට නිශාන්ත රණතුංග ඇමතු අවස්ථාවේ ඔහු සංදේශයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.
මාධ්‍ය ආයතනයක තනතුරු දරන්නෙකු ක්‍රීඩා ආයතනයකද නිලතල හෙබැවීම බැඳියාවන් අතර ගැටීමක් පමණක් නොව ක්‍රීඩා නීතිය උල්ලංඝනය කිරීමක් ද බව ක්‍රීඩා නීතිය පිලිබඳ විශේෂඥයකු වන යෝගානන්ද විජේසුන්දර මේ අතර සංදේශයට පැවසීය.
එවැනි අවස්ථාවකදී ක්‍රීඩා නීතියට පිටින් එවැන්නෙකුගේ පත්වීමක් අනුමත කිරීමට ක්‍රීඩා ඇමතිවරයාට බලය හිමිවීම ක්‍රීඩා නීතිය සම්පූර්ණයෙන්ම කණපිට හරවන්නක් බවද යෝගානන්ද විජේසුන්දර ප්‍රකාශ කරයි.
මෙම අන්දෝලනය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන සුනිල් ජයසේකර පවසන්නේ CSN නාලිකාව ක්‍රීඩාව සඳහා පමණක්ම වෙන්වූවක් ලෙසින් එහි බලධාරීන් විග්‍රහ කරන නමුත් විනෝදාස්වාද සහ මෝස්‌තර නිරූපන වැනි අංශ සඳහාද එහි ගුවන් කාලය වෙන් වන බැවින් එයට විකාශන අයිතිය ලබා දීම කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් පවා උල්ලංඝනය කිරීමක් බවයි.