ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ජනාධිපතිවරණ ඡන්ද විමසීම: "මම යන්න ලෑස්තියි"

බීබීසී සිංහල සේවය ගෙන එන 2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධ සජීවී පුවත්.

සජීවී වාර්තාකරණය

  1. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%

    මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%ක් බව තේරීම්භාර නිලධාරී තිස්ස කරුණාරත්න පවසයි.

    පොල්ගොල්ල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා තැපැල් ඡන්ද ගණන් කිරීම ප්‍රමාද විය හැකි බවත් තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12 පමණ වන විට නිකුත් කළ හැකි වෙතැයි ඔහු පැවසීය.

  2. සජීවී තොරතුරු

    කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය අසල සිට බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ ගෙනෙන වාර්තාව.

  3. නව ජනපතිට මගේ අස්වීමේ ලිපිය යවනවා - මැ.කො. සභාපති

    මෙවර ජනාධිපතිවරණයට අදාළ තම නිල කටයුතු අවසන් වීමෙන් අනතුරුව සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

    මෙම ජනාධිපතිවරණ සමයේ දී ඇතැම් විට “තදින් කතාකිරීමට” සිදුවීම හේතුවෙන් කිසිවෙකුගේ හිත රිදීමක් සිදුවුයේ නම් සමාව ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

    නමුත්, මාධ්‍ය උපමානවලට අනුකූලව “අපේ මිත්‍ර පෞද්ගලික මාධ්‍ය දෙකත්, රාජ්‍ය මාධ්‍යයත්” හැසුරුණේ නම් මෙම ජනාධිපතිවරණය “මීට වඩා හොඳට කරන්නට” තිබුණු බව මහින්ද දේශප්‍රිය අවධාරණය කළේය.

    ඔහු මෙම ප්‍රකාශය කළේ අද පැවති මාධ්‍ය හමුවකදී ය.

  4. වන්නියේ ඡන්දය ප්‍රකාශ කිරීම 74.34%ක්

    ජනාධිපතිවරණයේ දී වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 74.34% වන බව තේරීම්භාර නිලධාරී අයි.එම්. හනිෆා පැවසීය.

    වවුනියාව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම 75.12%ක් වන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 76.2%ක් වේ.

    මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම 71.7%ක් වන බව ද වන්නි මැතිවරණ තේරීම්භාර නිලධාරීවරයා පැවසීය.

    තැපැල් ඡන්ද ගණනය කිරීම ආරම්භ කොට ඇති අතර අද මධ්‍යම රාත්‍රියට පෙර තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

  5. බදුල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය පැය එකහමාරකින් - තේරීම්භාර නිලධාරිනි

    තව පැය එකහමාරකින් පමණ බදුල්ල තැපැල් ජන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වෙතැයි තේරීම්භාර නිලධාරිනි දමයන්ති පරණගම පැවසුවාය.

    තැපැල් ජන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඇය කියා සිටියාය.

    බදුල්ල දිස්ත්‍රික්කයේ කොට්ඨාස 523ක ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සාමකාමිව සිදු වූ බව පැවසූ ඇය මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන බදුල්ල මහා විද්‍යාලයට ලැබී තිබෙන බව ද කීවාය.

  6. වවුනියාවේ ඡන්ද පෙට්ටි රැගෙන එන අයුරු

    වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඡන්ද පෙට්ටි රැගෙන ආ අයුරු.

  7. ආදිවාසී නායකයා ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ගමන

    ආදිවාසී නායකයා ඡන්දය ප්‍රකාශ කිරීමට යන අවස්ථාව.

  8. ජනපති මෛත්‍රිගෙන් පොරොන්දුවක්

    "ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩ නැගීම සඳහා" ජනතාව සමඟ එක්වන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය.

    ජාතිය ඇමතූ ජනාධිපතිවරයා සිය කතාව අවසන් කළේ මෙලෙසිනි.

    “මගේ උතුම් මව්බිම වෙනුවෙන්, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ අනන්‍යතාවයෙන් මා විසින් කළ යුතු සියලු කැපවීම් හෙට දවසෙත් ඉටු කිරීමට මා අදිටන් කරගෙන සිටිනවා.

    යුක්තිය ශක්තිය විය යුතුයි. සමාජ සාධාරණත්වය පැහැදිලි ලෙසම ඉටුවිය යුතුයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතුයි.

    මාධ්‍ය නිදහස, මානව හිමිකම් ජනතාවගේ මුලික අයිතිවාසිකම් සියල්ල ශක්තිමත් විය යුතුයි.

    ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සමෘද්ධිමත් ආර්ථිකයකින් ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භුමිය ඉදිරියට ගෙන යාම සඳහා ලෝකයේ විශිෂ්ට ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැගීම සඳහා ඔබ සමඟ මා හෙට දවසේත් එක් වෙනවා.”

  9. ඡන්ද නීති උල්ලංඝනය කිරීම් 196ක් - CMEV

    ඡන්දය ප්‍රකාශ කළ කාලසීමාව තුළ (උදෑසන 7 සිට සවස 5 දක්වා) ඡන්ද නීති උල්ලංඝනය කිරීම් 196ක් වාර්තා වී ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි.

    ඉන් සිදුවීම් 67ක් ම නීතිවිරෝධී ප්‍රවර්ධන බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

  10. ගාල්ල ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට

    ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරිම ගාල්ල කාර්මික විද්‍යාලයේ සහ ඇලෝෂියස් විද්‍යාලයේ පිහිටුවා ඇති මධ්‍යස්ථානවල සිදු කරනු ලබන අතර තැපැල් ඡන්ද ගණන් කිරිම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී සිදු කෙරේ.

    ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම දුරකින් පිහිටා ඇති ලංකාගම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි රාත්‍රි 8.30 වනවිට ගණන් කිරිමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට හැකි වෙතැයි විශ්වාස කරන බවය.

  11. 'දෙවෙනි ගමනට' පෙර මනාපය

    ඇහැලියගොඩ ප්‍රදේශයේ විවාහක යුවළක් සිය 'දෙවෙනි ගමනට' යන අතරතුර ඡන්දය ප්‍රකාශ කළ අයුරු:

  12. රත්නපුර, ගාල්ල 80% ඉක්මවයි

    රත්නපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 84.12% ක් ඡන්දය භාවිත කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනි මාලනී ලොකුපෝතාගම පැවසීය.

    මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 80% ඉක්මවා ඡන්දය භාවිත කර තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ පවසයි.

    මේ වන විට ගාල්ල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වන ගාල්ල කාර්මික විද්‍යාලය සහ ඇලෝසියස් විද්‍යාලය වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරෙන බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා පැවසීය.

    අද දින ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් කටයුතු ඉතා සාමකාමීව පැවැත්වුණ බව ඔහු තවදුරටත් පැවසීය.

  13. අනුරාධපුරයේ පළමු ඡන්ද පෙට්ටිය

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව පළමු ඡන්ද පෙට්ටිය ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වෙත ගෙනෙනු ලැබිණි.

    සවස 5.50 පමණ එසේ ගෙනෙනු ලැබුවේ අංක 90 - බටහිර අනුරාධපුර ඡන්ද බල ප්‍රදේශයට අයත් මහාබෝධි විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටියයි.

  14. සජිත් ප්‍රේමදාස ඡන්ද පොළට පැමිණි අයුරු

    නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලුණුගම්වෙහෙර හතේ කොලනිය සුරනිමල විද්‍යාලයේදී සිය ඡන්දය භාවිත කළේය.

  15. ඡන්ද විමසීම අවසන්

    2019 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද සවස 05:00 න් නිමාවට පත්විය.

    ඒ සමඟ තැපැල් ඡන්ද ගණනය කිරීම ආරම්භවීමට නියමිත අතර, සියලු ඡන්ද පෙට්ටි ලැබුණු වහාම ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බව මැතිවරණ බලධාරීහු පවසති.

  16. ගෝඨාභය රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අයුරු

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නුගේගොඩ පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළේය.

  17. අනුර කුමාර දිසානායක ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු

    ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක කොළඹ මාලිගාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

  18. කුරුණෑගල: 70% පමණ ඡන්දය භාවිත කරයි

    අද දින සවස 4.00 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 70% ක් පමණ ඡන්දය දී තිබූ බව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ගාමිණි ඉලංගරත්න පවසයි.

    තැපැල් ඡන්ද ගණනය කිරීම පස්වරු 5.15 ට පමණ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, මීට ස්වල්ප වෙලාවකට පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තිබූ තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන ගිය බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා පැවසුවේය.

    පස්වරු 8.00 ට පමණ සියලුම ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

  19. "ඡන්දය නොදමන ලෙස තර්ජනය කරලා"

    නාගොඩ පොලිස් වසමට අයත් උඩුගම කාබිල් වත්තේ පදිංචි දෙමළ වැසියන්ට ඡන්දය දිම සඳහා නොයන ලෙස නාගොඩ ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ සභිකයෙකු තර්ජනය කර බිය වද්දා ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ නාගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

    වැඩිදුර පරික්ෂණ පවත්වන බව නාගොඩ පොලිසිය පවසයි.

  20. ආදිවාසී නායකයාගේ ඡන්දය ප්‍රකාශ කරයි

    ආදිවාසී නායක ඌරු වරිගේ වන්නියලැත්තෝ සිය බිරිඳ සහ ජ්‍යෙෂ්ඨ පුත් ගුණබන්ඩියා ද සමඟ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද පොළට පැමිණි අවස්ථාව.