ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹේ

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කර තිබේ.මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 75,589 දෙනා අතුරින් සභිකයින් 8287 දෙනෙකු මෙම ඡන්ද විමසීමෙන් පළාත් පාලන ආයතන සඳහා තෝරා ගැනීමට නියමිත ය.

සාරාංශය

  • 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්විණි.
  • දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13759කදී ඡන්ද විමසීම සාමකාමීව පැවැත්විණි.
  • ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹේ.
  • නිරීක්ෂකයින්ට අනුව අද දහවල් 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පැවතියේ 20% - 30%ත් අතර ය.
  • පළාත් පාලන ආයතන ඡන්ද සටනට අපේක්ෂකයින් 75,589ක් ඉදිරිපත්ව සිටිති.

සජීවී වාර්තාකරණය

ඉෂාරා ධනසේකර - සංස්කාරක , සම්පත් දිසානායක - ඩිජිටල් වාර්තාකරු/ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, කුමුදු ජයවර්ධන - මාධ්‍යවේදී , තාරක සම්මාන් - මාධ්‍යවේදී

  1. පළාත් පාලන ආයතනයක 50%කට වැඩි බලයක් යම් පක්ෂයකට නොලැබුණහොත් සිදුවන්නේ කුමක් ද?

    සභික සංඛ්‍යාව 50%ට අඩු වුණොත් සිදුවන්නේ කුමක්ද?

    ඡායාරූප මූලාශ්‍රය, PMD

    ඡායාරූප ශීර්ෂ වැකිය, සභික සංඛ්‍යාව 50%ට අඩු වුණොත් සිදුවන්නේ කුමක්ද?

    පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵල මේවන නිකුත් වෙමින් පවතී.ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමේදී පෙනීයන කාරණයක් වන්නේ, ඇතැම් පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් ලබා ඇති ආසන ගණනට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් සෙසු පක්ෂ එකතුව ලබා ගෙන ඇති බවයි.

    ඒ අනුව, යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක බහුතර බලය ලබා ගත්ත ද, විපක්ෂයේ පිරිස් ඊට වඩා බලයක් ලබා ගතහොත් සිදුවන්නේ කුමක් දැයි සමාජ මාධ්‍ය ජාලාවල කතා බහක් ඇතිව තිබේ.

    එලෙස, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ගැටලුකාරි තත්ත්වයක් ඇති වුවහොත් සිදුවන්නේ කුමක් දැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් බීබීසී සිංහල විමසා බැලීය.

  2. ඡන්ද ගණන් කිරීම ඇරඹේ

    2025 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේවන විට ආරම්භ වී තිබෙනවා.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ, ඡන්ද ගණන් කිරීමේ කටයුතු බොහෝ විට අදාළ ඡන්ද මධ්‍යස්ථානයේදී ම සිදුවන බවයි.

    ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව එම ස්ථානයේදී ම ප්‍රතිඵල නිකුත් කෙරෙනවා. අදාළ පළාත් පාලන ආයතනයේ ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව මගින් අනතුරුව නිකුත් කිරීම සිදු කරනවා.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ, රාත්‍රී 11 පමණ වන විට පළමු ප්‍රතිඵලය නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

  3. පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රි 11.00ට පෙර

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බැවින් පළාත් පාලන ආයතන කොට්ඨාස කිහිපයකට බෙදී ඇති බැවින් එම ඡන්ද මධ්‍යස්ථානයේ දුර සහ පිහිටීම අනුව ඡන්ද ගණනය කිරීම සඳහා පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පළමු ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රි 11.00ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

    ඔබ දැනුවත් සහ අවබෝධ කරගත යුතු ඉතා වැදගත් කාරණාව වන්නේ ඡන්ද ගණනය කරන ක්‍රමවේදය.

    මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව - 5783ක්.

    පළමු ක්‍රමය යටතේ කොට්ඨාසයක් තුළ පවතින්නේ, එක් ඡන්ද මධ්‍යස්ථානයක් නම් අනිවාර්යයෙන් ම ඒ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණනය කිරීම සිදුකරනවා. ප්‍රතිඵලය ඒ ස්ථානයේදී ම ප්‍රකාශයට පත් කෙරෙනවා.

    දෙවන ක්‍රමය යටතේ, එක් කොට්ඨාසයක් තුළ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් පවතී නම් සමහර ස්ථානවල ඡන්ද පොළේදී ම ඡන්ද ගණන් කරනවා. ඡන්ද ගණනය අවසන් කොට ප්‍රතිඵල ලේඛනය පමණක් එම අදාළ කොට්ඨාසයේ පවතින ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයට ඉදිරිපත් කරනවා.

    තෙවන ක්‍රමය යටතේ, කොට්ඨාසය තුළ පවතින සියලු ම ඡන්ද පෙට්ටි පස්වරු 4න් පසුව ප්‍රතිඵල නිකුත් කරන අවසන් මධ්‍යස්ථානයට රැගෙන යාම. එසේ රැගෙනවිත් වෙන වෙන ම ගණනය කොට ඒ මධ්‍යස්ථානයේදී කොට්ඨාසයේ ප්‍රතිඵලය සකස් කෙරෙනවා.

    කොට්ඨාසයේ තියෙන ප්‍රතිඵල නිකුත් කරන මධ්‍යස්ථානයේදී ම එම කොට්ඨාසයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරනවා. එතැනදි සිදු වන්නේ ඒ ඒ කොට්ඨාසයේ වැඩිපුර ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම නම් කිරීමය. එය සිදු කරනේ එම ඡන්ද මධ්‍යස්ථානයේදී ම යි.

    එයින් අනතුරුව එම ස්ථානයේදී ම සියලු දෙනාගේ දැන ගැනීම සඳහා එහි එක් පිටපතක් ප්‍රදර්ශනය කරනවා. ඉන් අනතුරුව එහි මුල් පිටපත කලාපය භාර තේරීම් භාර නිලධාරිවරයා විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙතට ඉදිරිපත් කරනු ලබනවා.

    එක් එක් පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයක ම පිහිටුවා තියෙනවා.

    එහිදී සියලු ම ප්‍රතිඵල එක් කොට පළාත් පාලන ආයතන වල මුළු ප්‍රතිඵලය සකස් කරනවා.

    මේ අවස්ථාවේදී එක් එක් දේශපාලන පක්ෂය ලබා ගත් ආසන සංඛ්‍යාව තීරණය වෙනවා. ඒ වගේ ම සමානුපාතික නියෝජනය යටතේ එක් එක් දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ලැබිය යුතු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය කරනු ලබනවා.

  4. ​​ඡන්ද විමසීම අවසන්

    2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (මැයි 6) පෙරවරු 7ට ආරම්භ වූ අතර පස්වරු 4 ට අවසන් වුණා.

    දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13759කදී ඡන්ද විමසීම සාමකාමීව පැවැත් වුණා.

    මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 75,589 දෙනා අතුරින් සභිකයින් 8287 දෙනෙකු මෙම ඡන්ද විමසීමෙන් පළාත් පාලන ආයතන සඳහා තෝරා ගැනීමට නියමිත යි.

  5. ​​ඡන්දය ප්‍රකාශ කිරීමට ඉතිරිව ඇත්තේ තවත් පැය 2කි

    පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉතිරිව ඇත්තේ තවත් පැය 2ක කාලයක් පමණි.

    අද පෙරවරු 7ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වනවා. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීට අනුව ඡන්ද විමසීම සාමකාමීව සිදුවනවා.

    එහෙත් ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට සාපේක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින්ගේ ඇති උනන්දුවේ යම් අඩුවීමක් දක්නට ලැබෙනවා.

    නිරීක්ෂකයින්ට අනුව අද දහවල් 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පැවතියේ 20% - 30%ත් අතර.

  6. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 15-20% අතර

    LG Polls

    උදෑසන 10:00 වන විට දිවයින පුරා ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 15-20% අතර පැවති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.

    ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මේ බව පැවසුවා.

  7. ඡන්දදායකයින්ට මැතිවරණ කොමිසමෙන් උපදෙසක්

    වීඩියෝ ශීර්ෂ වැකිය, ඡන්දදායකයින්ට මැතිවරණ කොමිසමෙන් උපදෙසක්

    කලින්ම පැමිණ සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළා.

  8. ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නොකළ යුතු දේ

    LG Polls
    • ජංගම දුරකතන භාවිත කිරීම
    • ඡායාරූප ගැනීම
    • වීඩියෝ කිරීම
    • අවි ආයුධ සන්තකයේ තබා ගැනීම
    • දුම්පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීම
    • මත්පැන් පානය කර හෝ මත්ද්‍රව්‍ය භාවිත කර පැමිණීම
  9. ඡන්ද පොළේදී අනන්‍යතාව තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකි ලේඛන මෙන්න

    වීඩියෝ ශීර්ෂ වැකිය, අනන්‍යතාව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන

    පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි අනන්‍යතා ලේඛන පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැහැදිලි කළා.

  10. වවුනියාව ප්‍රදේශයේ ඡන්ද විමසීමේ කටයුතු සිදුවන ආකාරය...

    LG Polls
    LG Polls
    LG Polls
  11. ගාල්ලේ ඡන්ද විමසීම සිදුවන අයුරු

    2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලදී සිදු වෙනවා.

    ගාල්ල නගරයේ, මාගාල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ, ඡන්ද විමසීම ආරම්භයේදී ජනතාව "උනන්දුවෙන්" ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි අතර මේ වන විට තරමක් "මන්දගාමී" ස්වරූපයක් ගන්නා බව ය.

    මේ, ගාල්ල ප්‍රදේශයේ ජනතාව අද උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටි අයුරු...

    LG Polls
    LG Polls
    LG Polls
  12. පළාත් පාලන ආයතන ඡන්ද සටනට අපේක්ෂකයින් 75,589ක්

    Sri Lanka polling

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    අද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589 දෙනෙක් තරග වදිනවා.

    ඡන්ද විමසීම සඳහා නාමයෝජනා ලබා දී ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව 49ක් වන අතර ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 257ක්.

    පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 75,589 දෙනා අතරින් සභිකයින් 8287 දෙනෙකු අද පැවැත්වෙන ඡන්ද විමසීමෙන් තෝරා ගැනීමට නියමිතයි.

    2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,156,338ක්.

    ඡන්ද විමසීම පැවැත්වෙන පළාත් පාලන ආයතන සංඛ්‍යාව - 339

    මහ නගර සභා - 28

    නගර සභා - 36

    ප්‍රාදේශීය සභා - 275

    (කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) සෙසු පළාත් පාලන ආයතන සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා අද ඡන්ද විමසීම පැවැත්වෙනවා.

  13. නිවැරදිව ඡන්දය භාවිත කරන්නේ කොහොම ද?

    වීඩියෝ ශීර්ෂ වැකිය, නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන ආකාරය

    2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත ආකාරය පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැහැදිලි කළා.

  14. ඡන්ද විමසීම ඇරඹේ

    2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (මැයි 6) පෙරවරු 7ට ආරම්භ වුණා. ඡන්ද විමසීම පස්වරු 4 දක්වා පැවැත්වේ.

    මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන පළාත් පාලන ආයතන කොට්ඨාස සංඛ්‍යාව 4877ක්.

    ඡන්ද මධ්‍යස්ථාන 13759කදී ඡන්ද විමසීම පැවැත්වේ.

  15. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආරම්භ කිරීමට සියල්ල සූදානම්

    ආයුබෝවන්. සුබ උදෑසනක්!

    2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආරම්භ කිරීමට මේ වන විට සියල්ල සූදානම්.

    අද පෙරවරු 7ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 4 දක්වා පැවැත්වෙනවා.

    2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ සුවිශේෂී තොරතුරු මෙම සජීව විකාශය මගින් බලාපොරොත්තු වන්න.