බොරැල්ලේ මාරක රිය අනතුර: දොඹකරය පාරට දැම්මේ වැරදි වෙලාවක ද?

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී ජූලි 28 වන දා උදෑසන සිදුවූ මාරක රිය අනතුරින් එක් අයෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදුවිය.

රාජගිරියේ සිට බොරැල්ල කනත්ත මාර්ගය ඔස්සේ, කනත්ත වටරවුම දෙසට පැමිණෙන දොඹකරයක් මාර්ග සංඥාවල නවතා තිබූ රථ වාහන යට කරගෙන ඉදිරියට ඇදෙන අයුරු මෙම අනතුරින් පසුව මාධ්‍ය මගින් විකාශනය කළ CCTV දර්ශනවලින් දැක ගත හැක විය.

රෝහල්ගත කළ පිරිස අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද වන අතර ඉන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇත.

අනතුරින් බොරැල්ල සුසාන භූමියේ තාප්පයකට හානි වී ඇති අතර දොඹකරයේ ගැටී යතුරුපැදි 6කට සහ මෝටර් රථ 3කට ද හානි සිදුව තිබේ.

රියැදුරුගේ වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වූයේ මොනවා ද?

රියැදුරුගේ නොසැලකිලිමත්කම සහ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බව පොලිසිය පවසා තිබිණි.

එමෙන් ම, රථයේ රියැදුරු සම්බන්ධයෙන් ජූනි 28 සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඔහු "ගංජා" භාවිත කර සිට ඇතැයි අනාවරණය වූ බව ද පොලිසිය පැවසීය.

'කාල වේලාවක් සහ වේග සීමාවක් තියෙනවා'

මෙම අනතුරු සිදු වූයේ මාර්ග තදබදය තරමක් අධික වේලාවකදී ය. එවැනි කාලයක බර වාහන ධාවනය සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් බීබීසි සිංහල විමසීමක් කළේ ය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ අධි පැය රාජකාරි කාල සීමාවලදී මෙවැනි වාහනවලට නාගරාසන්නයට පැමිණිය නොහැකි බව ය.

"අධි පැය රාජකාරිවලදී අපි මහ ජනතාවගෙන් සහ විශේෂයෙන් පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඔවුන්ට කාල වේලාවක් තියෙනවා. ඒ වගේ ම ඔවුන්ට වේග සීමාවක් තියෙනවා. ඉඩම් වාහන හැටියට තමයි දොඹකරයත් ගන්නේ."

අධිකරණයේදී අනාවරණය වූ කරුණු

රිය අනතුර සම්බන්ධයෙන් දොඹකාරය පැදවූ රියැදුරු සහ එහි හිමිකරු යන දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් අද (ජූලි 29) කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකුට මෙම රථයේ රියැදුරු ලෙස කටුයුතු කිරීමට පැවරීමේ චෝදනාව යටතේ දොඹකර රථයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව බීබීසී සිංහල කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව, රියැදුරු අගෝස්තු 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත් දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් අධිකරණය නියම කළේ ය.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ දොඹකරයේ එන්ජිම පණ ගන්වන ස්විචය පමණක් ක්‍රියාත්මකව පැවැති බව ත් එය අක්‍රීය කරන ස්විචය ක්‍රියාත්මක නොවූ බව ත් ය.

අධික ලෙස රත්වීම නිසා තිරිංග ක්‍රියා විරහිත තත්ත්වයට පත්වන බව දැන දැන ම මෙම රියැදුරු අදාළ රථය මාර්ගයේ ධාවනය කර ඇති බව ත් මීටර් දෙසීයක පමණ දුරක් තිරිංග ක්‍රියාකාරිත්වයකින් තොරව ධාවනය වී ඇති බව ත් අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.

මෙම රථය රජයේ මෝටර් රථ පරීක්ෂකාවරයා විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබ ඇති අතර එහිදී අත් තිරිංග අක්‍රිය තත්ත්වයක පවතින බවට හෙළි වී තිබේ.

තව ද "තිරිංගවල තෙල් පවා නොතිබී ඇති බවට" විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ ය.

අනතුර සිදුවීමට ගිය අවස්ථාවේ වම් පසට හරවා කනත්ත තුළට මෙම රථය රැගෙන ගියා නම් මේ අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකිව තිබූ බව ද පොලිසිය තවදුරටත් පැවසීය.

රථයේ හිමිකරු ද අදාළ වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෝටර් රථ වාහන පනතේ 169 වන වගන්තියට අනුව පැය 8-12 අතර කාලයක් රියැදුරෙකු එවැනි වහනයක් ධාවනයේ කරන්නේ නම් ඊට පෙර පැය දහයක විවේකයක් ලබා දිය යුතු බව සඳහන්ව තිබුණ ද අදාළ රථයේ හිමිකරු රියැදුරුට එවැනි විවේකයක් ලබා දී නොමැති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එමෙන් ම, මෙම රථය ධාවනය කරන අවස්ථාවේදී ඔහු දැඩි තෙහෙට්ටුවකින් හා මානසික අයෝග්‍යතාවකින් පෙළුණු බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මෙම රථයට අංක තහඩුවක් පවා නොතිබූ අතර එහි අංකය කඩදාසියක ලියා සවිකර තිබූ බව ත් ඒ සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකාර රියැදුරු කඩුවෙල දෙස සිට කිලෝමීටර් දහයක් පමණ කිසිදු ආබාධයකින් තොරව මෙම රථය ධාවනය කර තිබෙන බව ය.

හදිසියේ තිරිංග අක්‍රිය වීම ඔහුගේ පාලනයෙන් තොර කටයුත්තක් බවත් ඔහුට මෙවැනි වාහනයක් පැදවීමට අවශ්‍ය කරන යෝග්‍යතා සහතික තිබෙන බව ත් සඳහන් කළ එම නීතිඥවරයා අදාළ ලේඛනය ද අධිකරණයට ඉදිරිපත් කළේ ය.

අදාළ රථය පැදවූ අවස්ථාවේදී සැකකරු ගංජා පානය කර සිටි බවට පොලිසිය ප්‍රකාශ කළ ත් එවැනි ද්‍රව්‍යයක් ඔහු පානය කරනු ලැබ ඇත්තේ දින හතරකට කලින් බවත් නීතිඥවරයා පැවසීය.

මෙම රථයේ හිමිකරුට එම රථයට අදාළව යෝග්‍යතා සහතිකයක් තිබෙන බව ත් එම රථය භාවිත කිරීමට සුදුසු මට්ටමක පවතින බව එම වාර්තාවේ දක්වා තිබෙන බව ත් ඔහු සඳහන් කළේ ය.

මෙය චේතනාන්විතව සිදු කළ අපරාධක ක්‍රියාවක් නොවන බව පැවසූ විත්තියේ නීතිඥවරයා තම සේවා දායකයින් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

තම සේවාදායකයින් මිය ගිය පුද්ගලයා වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ගෙවීමට සූදානම් බවත් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ ය.

රිය අනතුරු වැඩි වීමට හේතුව කුමක් ද?

රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම අනතුරු වැඩි වීමට හේතුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

"වෛද්‍යවරුන් සතුව තියෙනවා, ඒ වගේ ම රජයේ රෝහල් සතුව තියෙනවා මේවා පරික්ෂා කළ හැකි ක්‍රමවේද. අපි විශ්වාස කරනවා දොඹකර වෙන්න පුළුවන්, පොදු ප්‍රවාහන පද්ධතියේ වෙන්න පුළුවන් රියැදුරන් සඳහා යම් කිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි කියලා, මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරවා ද, නැත්නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ප්‍රවාහනය සිදු කරනවා ද කියන කාරණාව සම්බන්ධයෙන් කටයුතු කරන්න," යැයි එම සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මාධ්‍ය වෙත පැවසීය.

මාර්ග අනතුරු හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයටදැඩි බලපෑමක් එල්ල වන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.