ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ ළමා මරණ සහ කැස්ස සිරප්: 'දරුවන් වැඩි ගණනක් මිය ගිහින් තියෙන්නේ වකුගඩුවලට සිද්ධ වෙලා තිබුණු හානි නිසා'
- Author, විශ්ණුකාන්ත් තිවාරි
- Role, බීබීසී වාර්තාකරු භෝපාල් සිට
මධ්‍ය ප්‍රදේශ්හි චින්ද්වාරා ප්‍රදේශයේ දරුවන් 11 දෙනෙකු සහ රාජස්ථාන්හි දරුවන් තිදෙනෙකු පසුගිය මාසය තුළ මිය යාමෙන් අනතුරුව, ප්‍රාන්ත දෙක තුළ ම ළමා සෞඛ්‍ය පිළිබඳව ප්‍රශ්න මතු වෙමින් තිබේ.
මෙම දරුවන්ගේ පවුල්වල සාමාජිකයින් පවසන්නේ, කැස්ස සඳහා ලබාදෙන පැණියක් පානය කිරීමෙන් පසු දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය වේගයෙන් පිරිහී ගිය බවත් සහ ඔවුන්ගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ බවත් ය.
මධ්‍ය ප්‍රදේශ් ඖෂධ පාලක දෙපාර්තමේන්තුව පසුගිය දා තමිල් නාඩු ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් (Coldrif) කැස්ස පැණිය තහනම් කිරීමට පියවර ගත්තේ ය. මෙම කැස්ස පැණිය නිෂ්පාදනය කළ සමාගම වන 'ශ්‍රීසන් ෆාමසියුටිකල්ස්හි' මෙහෙයුම්කරුවන්ට සහ රජයේ වෛද්‍ය ප්‍රවීන් සෝනිට එරෙහිව පොලිසිය ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ පැමිණිල්ලක් සටහන් කර ගත්තේ ය.
මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබුණේ ඔක්තෝබර් 5 වන දින පරාසියාහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය අන්කිත් සහ්ලාම් කළ පැමිණිල්ලක් මත ය.
දිස්ත්‍රික් පරිපාලන නිලධාරීන්ට අනුව මියගිය දරුවන් 11 දෙනාගෙන් 10 දෙනෙකු ම ප්‍රවීන් සෝනි රජයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ පරාසියා කලාපයේ පදිංචිකරුවෝ වූහ.
මෙම මරණවලින් අනතුරුව මධ්‍ය ප්‍රදේශ් රජය ඔක්තෝබර් 1 වන දා අදාළ ඖෂධ නිෂ්පාදකයාට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් තමිල් නාඩු රජය වෙත ලිපියක් යොමු කර තිබිණි.
ඉන් අනතුරුව තමිල් නාඩු ඖෂධ පාලන දෙපාර්තමේන්තුව සිය විමර්ශනය මගින් තහවුරු කර තිබුණේ, ශ්‍රීසන් ඖෂධ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් යනු "අපද්‍රව්‍ය මිශ්‍රිත" කැස්ස පැණියක් බව ය.
තමිල් නාඩු ඖෂධ පාලන දෙපාර්තමේන්තුවේ ඔක්තෝබර් 2 දිනැතිව පළ කළ වාර්තාවට අනුව, මෙම කෝල්ඩ්රිෆ් පැණියේ SR-13 කාණ්ඩය "අපද්‍රව්‍ය මිශ්‍රිත" බවට ප්‍රකාශයට පත් කෙරිණි.
වාර්තාවට අනුව, මෙම පැණියේ සෞඛ්‍යයට අහිතකර විය හැකි විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් වන ඩයිඑතිලීන් ග්ලයිකෝල් 48.6%ක් අඩංගු විය. මෙම කැස්ස පැණිය නිෂ්පාදනය කර තිබුණේ තමිල් නාඩු ප්‍රාන්තය පදනම් කර ගත් ශ්‍රීසන් ඖෂධ සමාගම මගිනි.
"කෝල්ඩ්රිෆ් සිරප් නිසා චින්ද්වාරාහි ළමුන් මිය යාම අතිශයින් ම කනගාටුදායක සිදුවීමක්. මෙම සිරප් විකිණීම මුළු මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය තුළ ම තහනම් කර තිබෙනවා. සිරප් නිෂ්පාදනය කරන සමාගමේ අනෙකුත් නිෂ්පාදන අලෙවි කිරීම ත් තහනම්," මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය මොහාන් යාදව් ට්විටර්හි (X) ලිවීය.
පවන් නන්දුර්කාර් යනු චින්ද්වාරා දිස්ත්‍රික් රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි.
"දරුවන් වැඩි ගණනක් මිය ගිහින් තියෙන්නේ වකුගඩුවලට සිද්ධ වෙලා තිබුණු හානි නිසා. මේ දරුවන් මරණයට පත් වුණාට පස්සේ වගුකඩු සම්බන්ධයන් කළ බයොප්සි පරීක්ෂණයෙන් පස්සේ සොයා ගත්තේ, යම් ආකාරයක විෂ ද්‍රව්‍යයක් හේතුවෙන් වකුගඩුවලට හානි වෙලා, ඒවා අක්‍රිය වෙලා කියලා. ඒ වගේ ම මේ දරුවන්ගේ වෛද්‍ය ඉතිහාසය බලද්දී අනාවරණය වුණේ, මේ අයට කැස්ස පැණිය දීලා කියලා," ඔහු වර්තාකරුන්ට පැවසීය.
චින්ද්වාරා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන යසින් ඛාන්ගේ සිව් හැවිරිදි වියේ පසුවූ පුත්‍රයා වන උසයිද් ද මිය ගිය පිරිස අතර සිටියි.
"දවස පුරා ම කල්පනා කළත් මට තාම හිතා ගන්න බැහැ. එයාට ඉස්සෙල්ලා ම යාන්තමට වගේ හෙම්බිරිස්සාව, කැස්ස තිබුණා, උණ හැදුණේ අගෝස්තු 25 වෙනි දා. සැප්තැම්බර් 13 වෙනි දා උසයිද් වකුගඩු වැඩකරන්නේ නැතුව මිය ගියා. මගේ ඇස්දෙක වගේ බලා ගත්ත දරුවා මට නැති වුණා," බීබීසීයට දුරකතනය ඔස්සේ අදහස් දක්වමින් යසින් පැවසුවේ ය.
මේ බව පවසමින් යසින් හඬා වැටෙන්නට විය.
සත්‍ය වශයෙන් ම, මධ්‍ය ප්‍රදේශ්හි චින්ද්වාරා දිස්ත්‍රික්කයේ සැප්තැම්බර් 7 සිට ඔක්තෝබර් 2 දක්වා කාලය තුළ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් ළමුන් 11 දෙනෙකු මිය ගොස් තිබිණි. අවම වශයෙන් ළමුන් පස් දෙනෙකු තවමත් රෝහල්ගතව පසුවන අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් බරපතළ තත්ත්වයේ පසුවෙති
රාජස්ථාන් ප්‍රාන්තයෙන් ද වාර්තා වුණු සිදුවීම්
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට යාබද රාජස්ථාන්හි රජයේ රෝහලකින් ලබා දුන් කැස්ස පැණියක් පානය කිරීමෙන් අනතුරුව භාරත්පූර් සහ ජුන්ජුනූ ප්‍රදේශවල දරුවන් දෙදෙනෙකු මිය ගිය බවට පැවසිණි. සෙනසුරාදා චුරූ ප්‍රදේශයේ තවත් දරුවෙක් මිය ගියේය. මියගිය දරුවන්ගේ පවුල් විසින් මෙම චෝදනාව එල්ල කරනු ලැබ තිබිණි.
ජයිපූර්හි ජේකේ ලෝන් රෝහලේදී චුරූ ප්‍රදේශයෙන් පැමිණි හය හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය. ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ දරුවාට දින හතරකට පෙර කැස්ස පැණියක් ලබා දුන් බවත් සහ ඔහුගේ තත්ත්වය නරක අතට හැරීමෙන් පසු ජයිපූර් වෙත රැගෙන ආ බවත් ය.
භාරත්පූර්හි අවුරුදු දෙකක දරුවෙකු ජයිපූර් වෙත ගෙන එන ලද අතර, ඉන් දින තුනකට පසු ඔහු මිය ගියේ ය. ජුන්ජුනූ ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවෙකු ප්‍රතිකාර සඳහා සිකාර් වෙත යොමු කර තිබූ අතර එහි ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත් විය.
"අපි මධ්‍යම ඖෂධ පරීක්ෂණ ඒජන්සිය සමග නිරන්තරයෙන් සන්නිවේදනය සිදු කරනවා. අපි සාම්පල 12ක් එකතු කළා. ඒ වගේ ම මධ්‍යම ඖෂධ පරීක්ෂණ ඒජන්සිය සාම්පල හයක් එකතු කළා. අපේ සාම්පල තුනක සහ මධ්‍යම ඖෂධ පරීක්ෂණ රසායනාගාරය ලබා ගත් සාම්පල හයේ ම ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් තිබෙන බවට මේ දක්වා තහවුරු වී නැහැ. අපේ ඉතිරි සාම්පල පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කෙරෙනවා," යනුවෙන් මධ්‍ය ප්‍රදේශ් ඖෂධ පාලක දිනේෂ් කුමාර් මෞර්යා බීබීසී හින්දි වෙත පැවසුවේ ය.
දරුවන්ගේ මරණවලින් පසු මතු වූ ගැටලු මධ්‍යයේ, මධ්‍ය ප්‍රදේශ් සෞඛ්‍ය අමාත්‍ය රාජේන්ද්‍ර ශුක්ලා සිකුරාදා පස්වරුවේ පැවසුවේ, "මේ වන විට සිරප් වර්ග 12ක් පරීක්ෂණ සඳහා රජයේ ඖෂධ පරීක්ෂණාගාරයට යොමු කරලා තියෙන්නේ. මේවායින් තුනක වාර්තා ලැබිලා තිබෙනවා. දරුවන්ගේ මරණයට හේතුව පැහැදිලි කළ හැකි මූලද්‍රව්‍යයක් ඒවායෙන් කිසිවකින් සොයාගෙන නැහැ," යනුවෙනි.
"අපි ඖෂධය පරීක්ෂා කළා, ඒවායේ මාරාන්තික දෙයක් තිබෙන බවට සොයාගෙන නැහැ. මෙම ඖෂධය නිසා කිසි ම මරණයක් සිදුවෙලා නැහැ. මේ ප්‍රශ්නය ගැන විමර්ශනය කරන්න අපි කමිටුවක් පිහිටුවලා තියෙනවා," කැස්ස පැණි නිසා සිදුවන මරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජස්ථාන් සෞඛ්‍ය අමාත්‍ය ගජේන්ද්‍ර සිං කීව්සර් පැවසුවේය.
මේ අතර, මධ්‍ය ප්‍රදේශ් සහ රාජස්ථාන්හි සිදු වූ මරණවලින් අනතුරුව මධ්‍යම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රාන්ත සහ පරිපාලන ප්‍රදේශ වෙත දරුවන්ට කැස්ස පැණි ලබාදිය යුතු වන්නේ "ප්‍රවේශමෙන් සහ සලකා බැලීමෙන්" පමණක් බව සඳහන් කරමින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
සිව් හැවිරිදි වියේ පසුවූ විකාස් යදුවන්ෂිගේ පියා වන ප්‍රභූදයාල් යදුවන්ෂිට තම පුතා අහිමි වී ඇති අතර ඔහු දැන් යුක්තිය ඉටුවන තුරු බලා සිටියි.
මෙම ගැටලුව ගැන අවධානයට ලක් වූයේ කවදා ද?
චින්ද්වාරා ප්‍රදේශයේ පරිපාලන නිලධාරීන්ට අනුව පළමු සිදුවීම අගෝස්තු 24 වන දින වාර්තා වූ අතර පළමු මරණය සැප්තැම්බර් 7 වන දින සිදු විය.
යසින් පවසන්නේ ඔහුගේ සිව් හැවිරිදි පුත්‍රයා උසයිද් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගත් බව ය.
"අගෝස්තු 25 වෙනි දා එයාගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරුණා, අපි එයාව පෞද්ගලික රෝහලකට අරන් ආවා. 31 වෙනි දා වෙනකම් එයාගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් වර්ධනයක් තිබුණා, ඒත් හදිසියේ ම එයාගේ මුත්‍රා පිටවෙන එක නතර වුණා. ඒක දවස් දෙකක් විතර තිබුණා. පස්සේ අපි එයාව චින්ද්වාරා දිස්ත්‍රික් රෝහලට අරන් ගියා. චින්ද්වාරා ඉඳලා, අපි නාග්පූර් අරන් ගියා. එහේ එයා දවස් 10ක් විතර ඉස්පිරිතාලේ හිටියා, ඉට පස්සේ මගේ පුතා මැරුණා කියලා කිව්වා," ඔහු පැවසුවේ ය.
යසින් ටැක්සි රියදුරෙකු වන අතර ඔහුට පුතුන් දෙදෙනෙක් සිටිති. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන උසායිඩ්ගේ ප්‍රතිකාර සඳහා ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් වැය කළේ ය. මෙම කාලය තුළ ඔහුගේ එක ම ජීවනෝපාය වූ ඔහුගේ ටැක්සිය විකිණීමට පවා ඔහුට සිදු විය.
"සල්ලිවලින් ඇති ප්‍රයෝජනය මොකක් ද? දරුවාගේ ජීවිතේ බේරුණා නම්, සියල්ල සාර්ථක වෙනවනේ. මම ආයෙත් ටැක්සියක් ගන්නවා. කිසි ම තාත්තෙකුට මේ වගේ වේදනාවක් විඳින්න සිද්ධ වෙන්න එපා.
චින්ද්වාරාවලින් වාර්තා වූ සියලු සිදුවීම්
මධ්‍ය ප්‍රදේශ්හි මියගිය දරුවන් 11 දෙනා ම චින්ද්වාරාහි පරාසියා කලාපයේ පදිංචිකරුවෝ වූහ.
පරාසියා සංවර්ධන කලාපයේ උපකොට්ඨාශ මහේස්ත්‍රාත් ශුභම් කුමාර් යාදව් පැවසුවේ, පුද්ගලයින් ලක්ෂ 2.8 දෙනෙකු පමණ පරාසියා කලාපයේ ජීවත් වන බව සහ ඉන් 25,000 දෙනෙකු පමණ වයස අවුරුදු පහට අඩු දරුවන් බව ය.
"මේ දක්වා, අපි මෙම සිද්ධියට පාදක විය හැකි විවිධ හේතු පිළිබඳ විමර්ශනය කරලා තියෙන්නේ, ඒ කියන්නේ ප්‍රදේශයෙන් ලබා ගත් ජල සාම්පල, මදුරුවන් සහ මීයන් මගින් බෝ වන ලෙඩ රෝග වගේ දේවල් ගැන. මේවායේ සියලු වාර්තා සාමාන්‍යය යි," ඔහු පැවසුවේය.
"සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරලා මියගිය දරුවන්ගේ රෝග ඉතිහාසය අධ්‍යයනය කළා, එතකොට තමයි කැස්ස සිරප් පාවිච්චි කළා කියන සිද්ධිය අනාවරණ වුණේ," උපකොට්ඨාශ මහේස්ත්‍රාත්වරයා තවදුරටත් පැවසීය.
විවිධ ස්ථානවලින් ලබාගත් සිරප්වල සාම්පල පරීක්ෂාව සඳහා යොමු කර ඇති බවත්, ඒවා සියල්ලේ වාර්තා ලද සැණින්, දරුවන්ගේ වකුගඩු හානිවීම හෝ අක්‍රීය වීම පිටුපස ඇති සැබෑ හේතුව පරිපාලනයට තේරුම් ගත හැකි වනු ඇති බවත් ඔහු පැවසුවේ ය.
මධ්‍ය ප්‍රදේශ් රජය පසුගිය දින 10 තුළ අසම්පූර්ණ පරීක්ෂණ උපුටා දක්වමින් සිටියදී, තමිල් නාඩු ඖෂධ පාලන දෙපාර්තමේන්තුව දිනක් ඇතුළත කෝල්ඩ්‍රිෆ් කැස්ස සිරප්වල ප්‍රමිතීන් උල්ලංඝනය කරන විෂ සහිත ඩයිඑතිලීන් ග්ලයිකෝල් අඩංගු බව තහවුරු කර ඇත.
චින්ද්වාරාහි තවත් පවුලක සාමාජිකයෙකු චෝදනා කරන්නේ, "විෂ සහිත හෝ හානිකර ඖෂධයක් කොහොම ද වෙළෙඳපොළේ අලෙවි කරන්නේ? මධ්‍ය ප්‍රදේශ් රජයට මේක හොයා ගන්න බැරි වෙන්නේ ඇයි? තමිල් නාඩු රජය දවසෙන් හොයා ගත්තනේ. මධ්‍ය ප්‍රදේශ් රජය ඇත්ත පේනෙන්න තියෙද්දිත් ඖෂධ නමින් දරුවන් මරා ගන්න සිරප් විකුණන්නේ කවුද කියලා විමර්ශනය කරන්නේ නැත්තේ ඇයි?"
පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැරියා ද?
2023 වසරේදී, ඉන්දියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වයස අවුරුදු හතරට අඩු දරුවන්ට ලබා දෙමින් තිබූ ජනප්‍රිය සෙම්ප්‍රතිශ්‍යා ඖෂධයක් නිෂ්පාදනය තහනම් කරනු ලැබිණි.
2015 වසරේදී අනුමත කරන ලද එම නිෂ්පාදනයේ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා සිරප්වල ප්‍රධාන සංඝටක ලෙස බහුලව භාවිත කෙරෙන ක්ලෝර්ෆෙනීරමීන් මාලියේට් (chlorpheniramine maleate) සහ ෆෙනිල්එෆ්‍රීන් (phenylephrine) වැනි ඖෂධ අන්තර්ගත විය.
තහනම පනවනු ලැබුවේ, 2022දී ගැම්බියාවේ සහ උස්බෙකිස්තානයේ ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස පැණිය හේතුවෙන් වාර්තා වූ ළමා මරණ පිළිබඳ සිදුවීම් ජාත්‍යන්තරයේ අවධානයට ලක්වීමෙන් පසුව ය.
කෙසේ වෙතත්, මෙම ඖෂධ නිෂ්පාදකයින් තමන් වරදක් කළ බව ප්‍රතික්ෂේප කර ඇති අතර නියමිත මාත්‍රාව අනුව භාවිත කරන්නේ නම් තම නිෂ්පාදන සම්පූර්ණයෙන් ම ආරක්ෂිත බව පවසා තිබේ.
නිර්නාමිකව සිටීමේ කොන්දේසියක් මත චින්ද්වාරාහි සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ, "මිය ගිය දරුවන්ගෙන් 6 - 7 දෙනෙකු වයස අවුරුදු 4 හෝ ඊට අඩු වයස් සීමාවේ පසවූවන්" බව ය.
මීට පෙරත් මධ්‍ය ප්‍රදේශ්වලින් වාර්තා වුණු මෙවැනි සිදුවීම්
මධ්‍ය ප්‍රදේශ් තුළ ඇති ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මීට පෙර ද බරපතල ගැටලු මතුව වී තිබේ.
ගුණාත්මකභාවය සඳහා සිදු කෙරෙන පරීක්ෂණ අසමත් වූ බැවින් 2024 අගෝස්තු මාසයේදී අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් නවයකට වඩා සැපයීම ප්‍රාන්තය පුරා තහනම් කෙරිණි.
මධ්‍ය ප්‍රදේශ් මහජන සෞඛ්‍ය සේවා සංස්ථාව (MPPHSCL) මෙම ඖෂධ ප්‍රමිතියෙන් තොර ඒවා ලෙස වර්ගීකරණය කර ඇති අතර, රෝගීන්ගේ ආරක්ෂාව සහ ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා පද්ධතිය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.
"සිරප් නිසා අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන් වුණාට මරණයට ඒක හේතුවක් වෙන්න බැහැ. ඒක නිසා, චින්ද්වාරාහි දරුවන්ගේ මරණවලින් පස්සේ, ප්‍රශ්නය මතු කළ යුත්තේ සිරප්වල ගුණාත්මකභාවය පිළිබඳව නෙමෙයි ඒවාට මිශ්‍ර කර ඇත්තේ මොනවා ද යන්න පිළිබඳවයි. ඔවුන් ඒ ගැන විමර්ශනය කරනවා කියලා රජය කියනවා. ප්‍රශ්නෙ තියෙන්නේ, පරීක්ෂණයකට කොපමණ කාලයක් ගතවෙයි ද කියන එක?," මහජන සෞඛ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ මහජන සෞඛ්‍ය විශේෂඥවරියක වන අමුල්‍යා නිධි පැවසුවා ය.
"රජය දරුවන්ගේ සෞඛ්‍යය ගැන බැරෑරුම් විදිහට බලන්නේ නෑ. වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නවා වෙනුවට, ඒවා ප්‍රමාද කරන්න කටයුතු කරමින් ඉන්නවා. තත්ත්වය අතිශයින් භයානකයි. ළදරු මරණ සහ මාතෘ මරණ අනුපාතිකය නරක ම මට්ටමක පවතින්නේ. ඉන්දෝර්වල ළමුන් අතර මීයන් සපා කෑමේ සිද්ධීන් වාර්තා වුණා, දැන් චින්ද්වාරාවල බ්‍රේක් ඔයිල් මිශ්‍ර කළ කැස්ස සිරප් වලින් දරුවන් මිය ගිහින්. වෛද්‍යවරුන් සම්මත ප්‍රතිකාර මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි, ඖෂධ ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය සහ ඖෂධ ගුණාත්මකභාවය පිළිබඳ ස්වාධීන විගණන තියෙන්න ඕනේ," ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව ප්‍රශ්න කරමින් අමුල්‍යා නිධි පැවසුවා ය.
රටේ ඉහළ ම ළදරු මරණ අනුපාතය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ. එහි සෑම අලුත උපන් බිළිඳුන් 1,000කගෙන් 40 දෙනෙක් මිය යති.
මෙම තොරතුරු සෞඛ්‍ය අමාත්‍ය රාජේන්ද්‍ර ශුක්ලා විසින් 2025 ජූලි මාසයේදී ප්‍රාන්ත සභාවට ලිඛිත පිළිතුරක් මගින් ඉදිරිපත් කර තිබේ. නවතම නියැදි ලියාපදිංචි කිරීමේ පද්ධති (2022) දත්ත උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ප්‍රාන්තයේ ළදරු මරණ අනුපාතය රටේ සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක් ගන්නා බව ය.
යුක්තිය අපේක්ෂාවෙන් පසුවන චින්ද්වාරාහි පවුල්
කැස්ස පැණිය පානය කිරීමෙන් හා පසුව වකුගඩු අක්‍රීය වීමෙන් පසු, පස් හැවිරිදි අද්නාන් ඛාන් ද සැප්තැම්බර් 7 වන දින මිය ගියේ ය.
අද්නාන්ගේ පියා අමීන් ඛාන් සිටියේ දුරකතනයෙන් කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක ය.
"අද්නාන්ට කවදාවත් බරපතළ රෝගයක් තිබුණේ නැහැ. මේ වෙලාවේ එයාට තිබුණේ සාමාන්‍ය උණක්. ඊට පස්සේ එයාගේ තත්ත්වය නරක අතට හැරුණා. අපට එයාව බේරගන්න බැරි වුණා," අමීන්ගේ වැඩිමහල් සහෝදරයා වන සජීඩ් ඛාන් බීබීසීය වෙත පැවසුවේ ය.
අද්නාන්ගේ පියා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර මසකට ඉන්දීය රුපියල් 10,000ක් පමණ උපයයි.
සජීඩ් පවසන්නේ දින 15ක් පමණ තුළ රුපියල් ලක්ෂ 7කට වඩා වියදම් කළ ද, අද්නාන් මිය ගිය බව ය.
සිව් හැවිරිදි විකාස් යාදව්වන්ෂිගේ නිවසේ ද ඇත්තේ දැඩි නිහඬතාවකි.
"හෙම්බිරිස්සාව, කැස්ස, උණ වකුගඩු අකර්මණ්‍ය වීම දක්වා දින 10ක් තුළ? අපිට මේ කිසි ම දෙයක් තේරුම් ගන්න බැහැ. මොකක් ද වෙලා තියෙන්නේ කියලා අපි දන්නේ නෑ," දරුවාගේ පියා, ප්‍රභූදයාල් යාදව් පැවසීය.
විකාස්ගේ දෙමව්පියන් ගොවීන් වන අතර තම පුතුගේ අභාවයෙන් පසු ඔවුහු දැන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටිති.
"අපේ දරුවා වෙනුවෙන් අපිට යුක්තිය ඉටුවෙන්නෙ ඕනේ. අපේ දරුවා නිරෝගීව සිටියා. හෙම්බිරිස්සාව හා උණ නිසා එයාගේ වකුගඩු වැඩ කරන්නේ නැතිවුණේ කොහොම ද? මේකට උත්තර දෙන්නේ කවුද සහ කවදා ද කියලා රජය අපට කියන්න ඕනේ?" නිවසේ කෙලවරක වාඩි වී සිටි ප්‍රභුදයාල් ප්‍රශ්න කළේ ය.
මේ අතර, සජීඩ් බීබීසීයට පැවසුවේ, "බෙහෙත් හැදුවත්, විකුණුවත් වැරදිකරුවන් කවුරුන් වුවත්, ඔවුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ. මගේ පුතා ගිහින්, දැන් අඩු ම තරමින් මේ ජරා බෙහෙත් නිසා තවත් කෙනෙකුට ඔවුන්ගේ දරුවා අහිමි නොවිය යුතුයි."
විශේෂඥයින් පවසන්නේ කුමක් ද?
සාමාන්‍ය පුද්ගලයෙකුට ඖෂධය ව්‍යාජ එකක් ද සැබෑ එකක් ද යන්න සොයා ගත හැකි ආකාරය ගැන අපි ළමා රෝග විශේෂඥ වෛද්‍ය අවේෂ් සයිනිගෙන් උගත්තෙමු.
"සිරප් එකේ භෞතික පෙනුම කොහොම ද? අපැහැදිලි සහිත බවක් හෝ වර්ණයේ වෙනසක් තිබෙනවා ද? නැත්නම් එහි කුඩා අංශු වැනි දෑ පෙනෙන්නට තිබෙනවා ද? කාණ්ඩ අංකය සඳහන් කර නොමැති නම් හෝ මකා දමා තිබේ නම් එය භාවිතයට සුදුසු නැහැ. ඖෂධ බලපත්‍ර අංකය ඖෂධ ඇසුරුමේ සඳහන් කර තිබීම ද වැදගත්. එය සඳහන් කර නොමැති නම්, ඒක ගන්න හොඳ නැහැ," ඔහු පැවසුවේය.
"අවුරුදු දෙකක දරුවන් සඳහා මාර්ගෝපදේශ අද ඊයේ ආව එකක් නෙවෙයි. ඒවා දැනටමත් තියෙනවා. වයස අවුරුදු දෙකකට අඩු දරුවන් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර නැහැ, ඒ නිසා ඒවා අවුරුදු දෙකට වැඩි දරුවන්ට පමණක් ලබා දෙනවා," වෛද්‍ය සයිනි පවසයි.
කොපමණ මාත්‍රාවක් ලබා දිය යුතු ද යන්න පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසන්නේ, "ඖෂධයේ මාත්‍රාව වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනවා. එය නිර්දේශ කරන්නේ බර මත පදනම් වෙලා නිසා ඖෂධය ලබා දීමට පෙර දරුවන්ගේ බර මනිනවා."
ව්‍යාජ සිරප් වර්ග නිසා ඇති විය හැකි අනෙක් ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසන්නේ, "හුස්ම ගැනීමේ අපහසුතා, උදරයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒක වකුගඩුවලට බලපාන අතර ම ශරීරයේ තියෙන හැම රසායනික ද්‍රව්‍යයක් ම එකතු වෙලා මොළයට බලපෑම් එල්ල කරනවා. ඊට පස්සේ වලිප්පුව ඇති වෙන්න පුළුවන්, ඊට පස්සේ හෘද ස්පන්දනය නතර වෙන්න පුළුවන්."
පසුගිය දශකය පුරා බෝපාල්හි සේවය කරන වෛද්‍ය හර්ෂිතා ෂර්මා බීබීසීයට පැවසුවේ, "ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් ප්‍රධාන වශයෙන් කැස්ස සිරප්වල සිසිලනකාරක ලෙස භාවිත කරනවා. ඒවායේ ආහාරයට ගත හැකි සෝබිටෝල්වලට සමාන මිහිරි සහ සිසිලන රසයක් තිබෙනවා. කෙසේ වෙතත්, සෝබිටෝල් මිල අධිකයි, ඒ නිසා ඖෂධ සමාගම් බොහෝ විට ලාභදායී විකල්පයක් විදිහට ඩයිඑතිලීන් ග්ලයිකෝල් භාවිත කරනවා. මේ අමුද්‍රව්‍ය දෙක ම කසිප්පු වැනි මත්පැන්වල දක්නට ලැබෙන මෙතිල් මධ්‍යසාරයට සමාන කාණ්ඩයකට අයත් වන අතර රසායනික ද්‍රව්‍ය දෙක ම ශරීරයට අතිශයින් විෂ සහිතයි," යනුවෙනි.
"මෙම රසායනික ද්‍රව්‍යවලින් සාදන ලද ඖෂධ විශේෂයෙන් දරුවන්ගේ වකුගඩුවලට විෂසහිතයි (nephrotoxic). ඒ කියන්නේ ඒවා වකුගඩුවලට ඍජු බලපෑමක් ඇති කරනවා. මෙම රසායනික ද්‍රව්‍ය මගින් ශරීරයේ අම්ල ප්‍රමාණය වැඩි කරනවා, අම්ල යාමනය කරන්නේ වකුගඩු මගින්. මේ ඉන්ද්‍රියට බලපෑමක් ඇති වුණා ම විෂ පැතිරීමට පටන් ගෙන මරණය සිදුවනවා," ඔහු පැවසීය.