තලන්ගම ජයසිංහ: කාටූන් කලාව වෙනුවෙන් වසර 60ක් කැප කළ දැවැන්තයෙකුගේ නික්ම යාම

වසර 60කට අධික කාලයක් පුරා චිත්‍රකතා නිර්මාණකරුවෙකු, කාටුන් ශිල්පියෙකු, කවියෙකු, ග්‍රන්ථ කතුවරයෙකු ලෙස ජනාදරයට පත් ප්‍රවීණ මාධ්‍යවේදී තලන්ගම ජයසිංහගේ අභාවය සමගින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ තවත් දැවැන්තයෙකුගේ සමුගැනීම සනිටුහන් විය.

පෙබරවාරි 07 වන දා ඔහු දිවි සැරිය නිම කරන විට 88 වන වියේ පසු විය.

ඔහු ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ, පුවත්පත් කාටූන් ශිල්පියෙකු සහ චිත්‍රකතා නිර්මාණ ශිල්පියෙකු ලෙස ය.

තලන්ගේ සැබෑ නම

තලන්ගම ජයසිංහ උපත ලැබුවේ, තලංගමදී ය. 1936 ජූලි 5 වන දා උපන් ඔහුගේ උප්පැන්න සහතිකයේ සඳහන් නම වන්නේ, ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ යනුවෙනි.

නිදහස ලැබීමට පෙර එනම් ඉංග්‍රීසි යටත් විජිත සමයේ උපන් ඔහුට සිය පියා තැබූ නාමය ඉංග්‍රීසි ඌරුවක් ගත්තේ ය.

තලන්ගම ජයසිංහ සමීපව ආශ්‍රය කළ සමකාලීනයින් පවසන්නේ, පියා තැබූ ඉංග්‍රීසි නමට ඔහු කැමැත්තක් නොදැක්වීම හේතුවෙන් සිය නම වෙනස් කර ගැනීමට ඔහුට අවශ්‍යතාවක් පැවති බව ය.

කෙසේ වෙතත්, පියා තැබූ නාමය පියා ජීවත්ව සිටින තුරු වෙනස් කිරීමට ඔහු කැමැත්තක් නොදැක්වූ අතර, 1955 වසරේ පියාගේ අභාවයෙන් පසු සිය නාමය 'තලන්ගම ජයසිංහ' යනුවෙන් භාවිත කිරීමට පටන් ගත්තේ ය.

විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකුගේ ආරම්භය

තලංගම, විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ඉගෙනුම ලැබූ ඔහු, එකල පැවති ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය සමත් වීමෙන් පසු රජයේ කලායතනයකට බැඳී වසර පහක චිත්‍ර කලා පාඨමාලාවක් හැදෑරී ය.

ජයසිංහ පාසල් සමයේ සිට ම කවි රචනා කිරීමට දක්ෂතා දැක්වූ අතර, පාසල් සමයේදී ම ළමා සඟරාවලට, පුවත්පත්වල ළමා පිටුවලට කවි නිර්මාණ යවා ඇත්තේ, ඊට ගැලපෙන සිතුවමක් ද සමගිනි.

එකල එම නිර්මාණ පළ කර තිබුණේ, 'තලන්ගම තිලක ජයසිංහ' යන නමිනි.

පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසු, 1951 වසරේදී ඔහු හේවුඩ් ආයතනයට බැඳී චිත්‍ර කලාව පිළිබඳ පස් අවුරුදු පාඨමාලාවකට ලියාපදිංචි විය.

කෙසේ වෙතත්, ඔහු චිත්‍ර කලාවේ විශිෂ්ට දක්ෂතා දැක්වීම හේතුවෙන් දෙවරක් ම 'ඩබල් ප්‍රොමෝෂන්' ලැබුණු හෙයින් ඉතා කෙටි කලක් තුළ එම පාඨමාලාව නිම කිරීමට සමත් විය.

ඔහු එහිදී සිතුවම් කලාවට අමතරව, මූර්ති, මැටි හා ලාක්ෂා කර්මාන්තයට අයත් නිර්මාණ පිළිබඳව හැදෑරූ අතර නිවාස සැලසුම් ශිල්පය ද අධ්‍යයනය කළේ ය. ඒ අතරතුර, ඔහු මරදානේ 'ටෙක්නිකල් කොලීජීයෙන්' චිත්‍ර කලාවේ තාක්ෂණික ශිල්ප ක්‍රම ඉගෙන ගත්තේ ය.

වෘත්තීය අධ්‍යාපනය ලබන අතරතුර ඔහු වෙළෙඳ දැන්වීම් ආයතන කිහිපයක සේවය කළේ ය.

තලංගම ජයසිංහගේ පළමු චිත්‍ර කතා නිර්මාණය පළ කෙරුණේ, ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ ය. ඒ, 'චිත්‍රා' නමැති චිත්‍ර කතාව ය. 1954 වසරේදී එය පළ කරන විට ඔහු පසු වූයේ, 18 හැවිරිදි වියේ ය. එම අවස්ථාව ඔහුට හිමිවීම සම්බන්ධයෙන් රසවත් කතාවක් තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී පර්සි ජයමාන්න උපුටා දක්වමින් මව්බිම පුවත්පතේ පළ කළ ලිපියක එම සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේ ය.

'ඔය කාලේ දවසක ඔහු චිත්‍ර කතාවක් ඇඳගෙන තලංගම ජයසිංහ දිනමිණ කන්තෝරුවට ගියා. එවකට දිනමිණ ප්‍රධාන කර්තෘව සිටියේ පියසේන නිශ්ශංක මහතා යි. එතුමා ඔහුව ජයවිලාල් විලේගොඩ මහතාට යොමු කළේ ය. විලේගොඩ මහතා ඔහුගේ නිර්මාණය දෙස බලා, "ෂහ්! මේක නියමයිනේ! පත්තරේ පළ කරමු" කියා භාර ගත්තා.'

වෘත්තීය දිවිය

1957 වසරේදී ඔහු ලේක් හවුස් ආයතනයේ නිත්‍ය සේවයට බැඳී එම ආයතනයේ ප්‍රකාශන රැසකට චිත්‍රකතා සහ කාටූන් නිර්මාණය කළේ ය. ඒවා අතර ඇටසැකිල්ල, මිනිස් දඩයම, පණට පණ, මා ආලය කළ තරුණිය, ව්‍යාඝ්‍රයෝ ආදී චිත්‍රකතා රැසක් විය.

ඉහත කී නිර්මාණ ඇතුළු චිත්‍රකතා 72ක් පමණ නිර්මාණය කර ඇති තලංගම ජයසිංහගේ 'වියරු මුහුද' නමැති චිත්‍ර කතා මාලාව පසු කලෙක එච්. ඩී. ප්‍රේමරත්න සිනමාවේදියා විසින් 'සප්ත කන්‍යා' නමින් සිනමාවට නගන ලදී.

ලේක්හවුස් ප්‍රකාශනයක් වූ 'මධුර' චිත්‍ර කතා පුවත්පතේ කතුවරයා ලෙසින් වසර 18ක් කටයුතු කළ ඔහු, පසුකලෙක විජය පුවත්පත් සමාගමට අයත් ලංකාදීප පුවත්පතේ කාටුන් ශිල්පියෙකු ලෙස සේවය කළේ ය.

තලන්ගම ජයසිංහයන් ලංකාදීපය පුවත්පතට නිර්මාණය කළ 'A - තුමා' සහ 'පලාමල්ල' කාටුන් මෙන් ම 'අනේ ද කියන්නේ' යන සිව් පද කවිය ද පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය විය.

විශේෂයෙන්, දේශපාලනික සවිඥානික භාවයකින් යුතුව ඔහු නිර්මාණය කළ කාටූන් ශ්‍රී ලාංකික පාඨකයින් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබිණි.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය පිරිනැමූ ජීවිතයේ එක්වරක් පමණක් හිමි වන සම්මානයෙන් තලංගම ජයසිංහ පිදුම් ලැබී ය.

අවසන් කටයුතු පැය 24න්

තලන්ගම ජයසිංහයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිකුරාදා (පෙබ: 09) පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ, ඔහුගේ ඉල්ලීමක් අනුව ය.

තමන්ගේ අභාවයෙන් පැය 24ක් තුළ අවසන් කටයුතු කරන ලෙස ඔහු සිය පවුලේ සාමාජිකයින්ට දැනුම් දී තිබිණි.