ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දශකයක් පැරණි තායිලන්ත සහල්වල ගමනාන්තය කුමක් වනු ඇති ද?
- Author, ඔනුර් එරම්
- Role, බීබීසී ලෝක සේවය
තායිලන්ත රජය පසුගිය දා දශකයක් පමණ පැරණි සහල් ටොන් 15,000ක් වෙන්දේසි කිරීමට පියවර ගත්තේ ය.
මෙය එදිනෙදා සිදුවන දෙයක් නම් නොවෙයි. එසේ නම්, ඔවුන් එවැනි පියවරක් ගත්තේ මන්ද? ආන්දෝලනාත්මක යෝජනා ක්‍රමයක් යටතේ රජය විසින් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට ගොවීන්ගෙන් මිල දී ගනු ලැබීමෙන් පසු අවම වශයෙන් වසර 10ක කාලයක් පුරා තායිලන්තය මෙම සහල් ගබඩා කර තිබිණි.
2011දී හිටපු අගමැතිනි යින්ග්ලක් ෂිනවත් විසින් හඳුන්වා දෙන ලද මෙම යෝජනා ක්‍රමය යටතේ, ඇයගේ දේශපාලන පදනම ලෙස සලකුණු ගොවීන්ගෙන් සහල් ටොන් 54කට වැඩි ප්‍රමාණයක් මිල දී ගනු ලැබිණි.
ඒ සඳහා රජය වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලක් ගොවීන්ට ගෙවීමට බාත් බිලියන 900කට අධික මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 24කට ආසන්න මුදලක්), වැය කළේ ය. මෙම මුදල්වලින් වැඩි කොටසක් ණයට ගත් ඒවා ය.
නමුත් මෙම යෝජනා ක්‍රමය මූල්‍යමය වශයෙන් අසාර්ථක විය. රජයට සහල් වැඩි මිලට විකිණීමට නොහැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සහල් විශාල ප්‍රමාණයක් රජය සන්තකයේ තබා ගැනීමට සිදුවිය.
පසුගිය මාසයේදී තායිලන්ත වාණිජ අමාත්‍ය පුම්තම් විචියාචායි පැවසුවේ, සහල් අලෙවිය අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පිහිටුවන බව ය.
ජූනි 17 වන දින, V8 Intertrading Co Ltd නම් තායි සමාගමක් මෙම වෙන්දේසිය දිනුවේ, සහල් සඳහා බාත් මිලියන 286ක ලංසුවක් තබමිනි.
එසේ නම්, දශකයක කාලයක් ගබඩා කර තැබූ විට සහල්වලට සිදුවන්නේ කුමක් ද සහ තායිලන්තයේ මෙම සහල්වල ගමනාන්තය කුමක් වනු ඇති දැයි අපි විමසා බලමු.
සහල් යෝජනා ක්‍රමයෙන් පසු සිදුවූයේ කුමක් ද?
ලෝකයේ විශාලතම සහල් අපනයනකරුවෙකු වුව ද, තායි රජයට මෙම සහල් මුලින් ගෙවූ මිලට වඩා වැඩි මිලකට විකුණා ගැනීමට නොහැකි විය. තායි මුදල් අමාත්‍යංශය පැවසුවේ, මෙම යෝජනා ක්‍රමයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15කට අධික අලාභයක් සිදු වූ බව ය.
2014 වසරේ මාස ගණනක් පුරා පැවති විරෝධතාවලින් පසුව, අගමැතිනි යින්ග්ලක් ෂිනවත් හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරිණි. අනතුරුව ඇයට මෙම යෝජනා ක්‍රමයෙන් සිදු වූ පාඩුව සඳහා 2017 වසරේදී නඩු විභාගයකට මුහුණ දීමට සිදුවූ අතර ඇයගේ සහභාගීත්වයෙන් තොරව ම අධිකරණය නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් ඇය වරදකාරිය බව තීරණය කළේ ය.
තායි සහල්වල ගුණාත්මක බව කෙසේ ද?
පසුගිය මාසයේ, පුම්තම් මාධ්‍ය ඉදිරියේ එම සහල්වලින් සාදන ලද බත් අනුභව කළේ, ඒවායේ ආරක්‍ෂිත බව සහ ගුණාත්මක බව ඔප්පු කිරීමේ උත්සහයක් වශයෙනි.
"මේ හාල් ඇට තාම ලස්සනට තියෙනවා. පාට ටිකක් කහ පාටයි වගේ තමයි. අවුරුදු 10ක් පරණ හාල්වල පෙනුම මේ වගේ තමයි," යැයි ඔහු පැවසුවේ ඕනෑ ම සහල් මල්ලක් සිදුරු කර ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කරන ලෙස මාධ්‍යයට අභියෝග කිරීමට පෙර ය.
තායිලන්ත වාණිජ අමාත්‍යංශය, මහජන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන රසායනාගාරයකදී මෙම සහල් පරීක්ෂා කර එහි ප්‍රතිඵල පසුව මාධ්‍ය සමග බෙදා ගත්තේ ය.
තම පරීක්‍ෂණයේදී ඇෆ්ලටොක්සින්, ඩිඔක්සිනිවැලෙනෝල්, බ්‍රෝමයිඩ් අයන, එතිලීන් ඔක්සයිඩ් හෝ වෙනත් විෂ සහිත රසායනික ද්‍රව්‍ය හමු නොවූ බව ඔවුහු පැවසූහ.
තව ද එහිදී සහල්වල පෝෂණ ගුණය ද පරීක්ෂා කළ අතර, එය දැනට වෙළෙඳපොළේ අලෙවි වන සහල්වලට වඩා වෙනස් නොවන බව පැවසිණි.
තායි රූපවාහිනී නාලිකාවක් වන Channel 3 විසින් ස්වාධීන රසායනාගාරයක තවත් පරීක්ෂණයක් කරන ලද අතර ඔවුන් ද එම සහල් ආහාරයට ගැනීමට සුදුසුයි යන නිගමනයට එළඹිණි.
බීබීසීය මෙම පරීක්ෂණ ප්‍රතිඵල සත්‍යාපනය කර හෝ සහල් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර නැත.
සහල් නරක් වනවා ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) අනුව, නිශ්චිත තත්ත්ව යටතේ සහල් ගබඩා කර තැබිය හැකි ය. උදාහරණයක් ලෙස දීර්ඝ කාලයක් තබා ගැනීමට නම්, ඒවා වාතය රහිත බහාලුමක බහා, වියළි සහ සිසිල් ස්ථානයක ගබඩා කර තැබිය යුතු ය.
ඒ හා සමානව, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහල් සම්මේලනය පවසන්නේ, කොටන ලද සහල් නිසි ලෙස ගබඩා කළහොත් "දින නියමයක් නොමැතිව" පවතිනු ඇති බව ය.
සහල්වල පෝෂණ ගුණය නැති වනවා ද? සහ කෘමිනාශක ගැන කුමක් කිව හැකි ද?
දශකයක් පුරා කෘමිනාශක භාවිත කිරීමෙන් අවදානමක් ඇති විය හැකිදැයි බීබීසීය ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් විමසූ අතර, ඔවුන් අපට පැවසුවේ, සියලු මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ නම්, සෞඛ්‍ය අවදානමක් ඇතිවිය නොහැකි බව ය.
දශකයකට පසු සහල්වල පෝෂණ ගුණය නැති වේ ද යන්නත් අපි ඔවුන්ගෙන් විමසුවෙමු.
සහල්වල කුඩා ප්‍රමාණවලින් පවතින විටමින් වැනි ක්ෂුද්‍ර පෝෂක ක්ෂය විය හැකි නමුත් සහල් එම ක්ෂුද්‍ර පෝෂකවල ප්‍රධාන ප්‍රභවයක් නොවන බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවසීය.
‘සහල් පරිභෝජනයෙන් ලැබෙන ප්‍රධාන පෝෂණ ප්‍රතිලාභවලින් එකක් තමයි, එහි වැඩි වශයෙන් තියෙන පිෂ්ඨය පරිවර්තනය කර ශරීරයට ශක්තිය ලබාගත හැකි වීම,’ එම සංවිධානය පැවසීය.
‘ගබඩා කර තැබීමේදී ඒවායේ අඩංගු පිෂ්ඨයේ සැලකිය යුතු ලෙස වෙනසක් වේවි කියලා හිතන්න බැහැ. ඒ නිසා ඒවාට ප්‍රධාන ශක්ති ප්‍රභවයක් ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව නැති වෙන්නේ නැහැ.’
මෙම සහල්වල රසයේ වෙනසක් තිබේ ද?
ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ, සාමාන්‍යයෙන් කාලයත් සමග සහල්වල රසය නැති වී යන නමුත් මෙය සිදුවීමට කොපමණ කාලයක් ගතවේ ද යන්න ඒවා ගබඩා කර ඇති තත්ත්වයන් මත රඳා පවතින බව ය.
තායිලන්ත රූපවාහිනී නිවේදක සුරායූත් සූතාසනචින්දා වසර දහයක් පැරණි මෙම සහල් තොගයෙන් ජස්මින් සහල් සාම්පලයක් ගෙන රස බැලූ අතර, එහි රස සුදු සහල්වල රසයට බොහෝ සෙයින් සමාන බව පැවසුවේ, ජස්මින් සහල්වලින් බලාපොරොත්තු වන තරම් ඇලෙන සුළු, මෘදු සහ සුවඳක් එහි නොවන බව ද පවසමිනි.
හිටපු මැතිවරණ කමිටු සාමාජිකයෙකු වන සොම්චායි ශ්‍රීසුතියාකෝන් ද පැරණි සහල් සාම්පලයක් අත්හදා බැලීය. ඔහු පැවසුවේ, එහි එතරම් හොඳ සුවඳක් නොමැති බව ත්, ඒවා කැඩී බිඳී ගොස් ඇති බව ත්, දිරාපත් වී සහ බොල් වී ඇති බව ත් ය.
මෙම සහල්වල ගමනාන්තය කුමක් විය හැකි ද?
තායි සහල් අපනයනකරුවන්ගේ සංගමයට අනුව, පසුගිය වසරේ විශාලතම තායි සහල් ගැනුම්කරුවන් වූයේ, ඉන්දුනීසියාව සහ දකුණු අප්‍රිකාවයි.
තායිලන්තයේ මහා පරිමාණ සහල් නිෂ්පාදන සමාගමක සේවය කරන පෙයරොට් වැන්ඩී බීබීසී වෙත මෙසේ පැවසීය: "පරණ සහල් ආහාරයට ගන්නා බොහෝ දෙනෙක් ඉන්නේ සාපේක්ෂව දුප්පත් රටවල්වල."
දකුණු අප්‍රිකාවට අමතරව තවත් අප්‍රිකානු රටවල් රැසකට තායිලන්තය සහල් අලෙවි කර ඇත.
සාමාන්‍යයෙන් තායි සහල් සඳහා අප්‍රිකාවෙන් ඉල්ලුමක් පවතින බව ද පුම්තම් පැවසීය.
තායි රජය මෙම සහල් අලෙවි කරන බවට ප්‍රකාශයට පත් කළ දා සිට, අප්‍රිකාවේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ඔවුන්ගේ කනස්සල්ල ප්‍රකාශ කළේ මෙවැනි අදහස් පළ කරමිනි: ‘සුපුරුදු පරිදි, අප්‍රිකාව තමයි කසළ බැහැර කරන්න හොඳට ම ගැළපෙන තැන," සහ "ලෝකයෙන් ප්‍රතික්ෂේප වන දේවල්වල නිවහන තමයි අප්‍රිකාව.’
කෙන්යානු රජය ද පවසා ඇත්තේ, එරට ප්‍රමිතීන්ට අනුකූල (සහ විද්‍යාගාරයකදී පරීක්ෂාවට ලක් කර ඇති) සහල්වලට පමණක් රට තුළට ඇතුළු වීමට අවසර දෙන බව ය.
වෙන්දේසිය දිනූ සමාගම වන V8 Intertrading සඳහා මෙම මිල දී ගැනීම සම්පූර්ණ කිරීමට ගිවිසුමකට එළඹීමට දින 30ක කාලයක් පවතී.
කෙසේ වෙතත්, එම සහල් විකිණීමට අදහස් කරන්නේ කුමන රටවලට ද යන්න ඔවුන් පවසා නැත.