ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අඳුර තුළින් ආලෝකය පැමිණේවි': පිළිකාවෙන් ලත් අත්දැකීම් පැහැදිලි කළ කේට් කුමරියගේ වීඩියෝව
වේල්ස්හි කුමරිය වන කේට් හෙවත් කැතරින්, මේ වන විට කීමෝතෙරපි ප්‍රතිකාර මාලාව සම්පූර්ණ කර ඇති අතර, පිළිකාවෙන් නිදහස් වීම සහ හැකි වූ විට නැවත තම කාර්යයන් ඉටු කෙරෙහි අවධානය යොමු කර සිටින්නී ය.
සඳුදා (සැප්: 09) පස්වරුවේ නිකුත් කළ වීඩියෝ පණිවිඩයක ඇය පවසන්නේ, පසුගිය මාස නවය "පවුලක් ලෙස අපට දරාගත නොහැකි තරම් දුෂ්කර" වූ බව ය.
"විශේෂයෙන් සමීපතම ආදරණීයයන්ට, පිළිකාවක් යනු සංකීර්ණ, බියජනක සහ කල්තබා අනුමාන කළ නොහැක්කක්," බව ඇය පවසයි.
කුමරියගේ කීමෝතෙරපි ප්‍රතිකාරය අවසන් වුව ද, ඇය පැවසුවේ, "සුව වීමේ මාර්ගය සහ පූර්ණ සුවය ලැබීමට දීර්ඝ කාලයක් ගත වන" බව ය. එමෙන් ම, ඇය "සෑම දිනක ම එන විදිහට මුහුණ දෙනු" ඇත.
"අඳුර තුළින් ආලෝකය පැමිණේවි, ඒ ආලෝකයට දීප්තිමත්ව බැබළීමට ඉඩ දෙන්න," ඇය සඳහන් කර තිබේ.
කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවේ සුවිශේෂතා මොනවා ද?
එවැනි පෞද්ගලික වීඩියෝවක් වේල්ස් කුමරියගේ සෞඛ්‍ය තත්ත්වය යාවත්කාලීන කිරීම සඳහා භාවිත කිරීම කැපී පෙනෙන වෙනස් ප්‍රවේශයකි.
කැතරින් තම පවුලේ සාමාජිකයින් සමග ගම්බද ප්‍රදේශවල ඇවිද යන විට එය ඉතා හැඟීම්බර වන අතර එහි අස්වැන්න වර්ණවලින් පිරී තිබේ.
ඇයට සාම්ප්‍රදායික මාධ්‍ය නිවේදනයක් හෝ කැමරාවට ප්‍රකාශයක් ලබා දීමට ඉඩ තිබිණි. එහෙත්, ඒ වෙනුවට මෙම වීඩියෝ පණිවුඩය මෘදු අවධානයක්, සිනමා ස්පර්ශයක් හිමි කරගෙන තිබේ.
ඇයගේ කීමෝතෙරපි ප්‍රතිකාරය අවසන් කිරීම පිළිබඳ සටහනක් තැබීම වෙනුවට, නවමු ආකාරයේ රූගත කිරීම් සහ පුද්ගල කථනයක් සමගින් වීඩියෝවක් නිකුත් කර ඇත.
කුමරියගේ ප්‍රතිකාර අවසන් වූයේ කවදා ද?
ජනවාරි මාසයේ සිදු කරන ලද ශල්‍යකර්මයක් අතරතුරදී ඉවත් කරන ලද පටකවල පිළිකාවක් ඇති බව පරීක්‍ෂණවලින් සොයා ගැනීමෙන් පසුව, පෙබරවාරි මස අගදී කැතරින් පිළිකා වැළැක්වීමේ කීමෝතෙරපි ප්‍රතිකාර ආරම්භ කළා ය.
කීමෝතෙරපි යනු ඉතිරිව ඇති පිළිකා සෛල ඉවත් කිරීම සඳහා සැලසුම් කර ඇති පිළිකා නාශක ඖෂධ මාලාවකි.
එය පිළිකා වර්ධනය වීම සහ නැවත ඇති වීම අඩු කරයි.
කුමරියගේ ප්‍රතිකාර අවසන් වන තුරු එය අනාවරණය කළේ නැත.
"මම දැන් අවධානය දක්වන්නේ පිළිකාවක් නැතුව ජීවත් වෙන්න මට කරන්න පුළුවන් දේවල් කරන එක යි," වීඩියෝවෙහි කැතරින් කියයි.
කුමරියට වැළඳී ඇත්තේ කුමන ආකාරයේ පිළිකාවක් ද?
කැතරින් කුමරියට ප්‍රතිකාර කරන ලද්දේ කුමන ආකාරයේ පිළිකාවකට ද යන්න කෙන්සිංටන් මාලිගය පවසා නැත.
ඇය පිළිකාවෙන් සම්පූර්ණයෙන් මිදී ඇත්දැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව ද එම මාලිගය පවසයි.
බොහෝ අවස්ථාවන්හීදී, රෝගියෙකු සාර්ථක ශල්‍යකර්මයක් කර, පසුව ප්‍රතිකාර අවසන් කරන තෙක් සහ නිරීක්ෂණ කාල සීමාවක් දක්වා පිළිකාවෙන් නිදහස් නොවේ.
පිළිකා රෝගීන් වෙනුවෙන් කුමරිය දුන් පණිවුඩය කුමක් ද?
"පිළිකාවක් සමග ජීවත් වන සියලු ම දෙනාට - මම ඔබ සමග, ඔබගේ අනෙක් පසින්, අත්වැල් බැඳගෙන සිටිනවා," කැතරින් පවසයි.
එමෙන් ම, ඇයට සහ වේල්ස්හි කුමරුට ලැබුණු සහයෝගයට ඇය "බෙහෙවින් කෘතඥ" වෙයි, ඔවුන්ගෙන් "විශාල ශක්තියක්" ලැබිණි.
ඇය ප්‍රතිකාර ලැබුවේ කොහෙන් ද?
කැතරින්ගේ පළමු ශල්‍ය කර්මය සිදු කරන ලද්දේ, ලන්ඩන් ක්ලිනික් නමැති පෞද්ගලික සායනයක ය.
කෙන්සිංටන් මාලිගය පැවසුවේ, තවදුරටත් පෞද්ගලික වෛද්‍ය තොරතුරු ලබා නොදෙන බව ය.
මීට පෙර නිකුත් කළ වීඩියෝ පණිවුඩයක කැතරින් තමන්ට ප්‍රතිකාර කළ "විශිෂ්ට වෛද්‍ය කණ්ඩායමට" ස්තුති කළා ය.
පිළිකාව යනු කුමක්ද?
පිළිකා ඇති වන්නේ ශරීරයේ නිශ්චිත කොටසක සෛල පාලනයකින් තොරව බෙදී යාමෙනි.
ප්‍රතිකාර නොකළහොත්, මෙම සෛල ශරීරයේ ඉන්ද්‍රියයන් ඇතුළුව අනෙකුත් පටකවලට පැතිර යා හැකි ය. එය ද්විතියික හෝ පාරස්ථිතික පිළිකා ලෙස හැඳින්වේ.
ඔබට පිළිකාවක් ඇතැයි සිතන්නේ නම් කුමක් කළ යුතු ද?
ඔබට සාමාන්‍ය නොවන දෙයක් ඔබ දුටුවහොත්, වෛද්‍යවරයෙකු හමුවන්න.
එවැනි සාමාන්‍ය නොවන ලක්ෂණ මෙසේ ය:
- පැහැදිලි කළ නොහැකි ලේ ගැලීම හෝ වේදනාව
- අසාමාන්‍ය ගැටිත්තක් හෝ ඉදිමීමක්
- පැහැදිලි කළ නොහැකි තෙහෙට්ටුව සහ බර අඩු වීම
- නොනවතින පවතින කැස්ස
ඔබ අත්විඳින රෝග ලක්ෂණ පිළිකාවක් නොවිය හැකි නමුත් එය පරීක්ෂා කර ගැනීම වැදගත් වේ.
පිළිකාව කල්තබා සොයා ගැනීම බොහෝ විට ප්‍රතිකාර කිරීම පහසු කරයි.