ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
SriLankan එයාර්බස් අල්ලස් සිද්ධිය: නාමල්ට ඇප නොලැබුණේ ඇයි? අධිකරණයේදී සිදුවූ සංවාද
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත නොකරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් ඉවත දැමූ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහු දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේ ය.
මෙම නඩුකරය ප්‍රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර සහ රුවන් ධම්මික දිසානායක යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසම ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාර දීම සිදුවිය.
'සැකකරුගේ නිදහස සීමා කරන්න අධිකරණයට කිසිදු හේතුවක් නෑ'
නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී.. මෙම නඩුකරය ඉකුත් 28 වන දා මෙම අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. ඒ අවස්ථාවේදී ඔබතුමන්ලා නියෝගයක් නිකුත් කරල තිබුණා බන්ධනාගාරය මාර්ගයෙන් විත්තිකරු අද දින අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව තමයි මේ විත්තිකරු අද අධිකරණයට රැගෙන විත් තිබෙන්නේ. ඒ අනුව මේ අවස්ථාවේදී මෙම විත්තිකරුට බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ස්වාමීනි, පුද්ගලික නිදහස සහ ජීවත්වීමේ අයිතිය එකට බැඳී තිබෙන අයිතිවාසිකම් දෙකක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තිය, මැග්නාකාටා සම්මුතිය මෙන් ම ඇමෙරිකානු සහ අප්‍රිකානු මානව හිමිකම් සම්මුතින් තුළත් "පුද්ගලික නිදහසේ" වැදගත්කම අවධාරණය කර තිබෙනවා. මේ අවස්ථාවේදී මෙම විත්තිකරුගේ නිදහස සීමා කිරීමට අදාළ වන අගතිදායක නියෝග නිකුත් කරන්න කිසිදු හේතුවක් නෑ. එම නිදහස සීමා කිරීම සඳහා මැදිහත්වීමට අධිකරණයට කිසිදු හේතුවකුත් නැහැ. මෑතකදී දූෂණ විරෝධී පනතට සංශෝධනයක් ඉදිරිපත් වී තිබුණා. එම සංශෝධනය තුළින් ඇප ලබා දීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට තිබෙන බලය ඉවත් කර එය මහාධිකරණයට පැවරීමට යෝජනා කර තිබුණා. එම සංශෝධනය අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා ඇප ලබා දීමේ බලය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීම අනුමත කළ නොහැකි බව. එසේ කරනවා නම් එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබුණා. මේ තුළින් පැහැදිලි වෙනවා අධිකරණ බලය සීමා කළ නොහැකි බව. ඒ වගේ ම පුද්ගල නිදහස සීමා කළ නොහැකි බවත් ඒ තුළින් මනාව පැහැදිලි වෙනවා," යනුවෙන් සඳහන් කළේ ය.
ඇප දීමට සුවිශේෂී කරුණු අවශ්‍ය ද?
ඒ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, "දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තියේ සඳහන් වෙනවා ඇප ලබා දීම සඳහා සුවිශේෂී කරුණු අවශ්‍ය බවට ඒ පිළිබඳව ඔබ සඳහන් කරන්නේ කුමක් ද?" යනුවෙන් ප්‍රශ්න කළේ ය.
ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා මෙසේ පැවසීය.
"ස්වාමීනී... ඒ තත්ත්වය අදාළ වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට යි. නමුත් දැන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම නඩු කටයුත්ත ඉවත් වෙලා මහාධිකරණයට පැමිණ තිබෙනවා. මේ අවස්ථාවේදී මහාධිකරණය කටයුතු කළ යුත්තේ ඇප පනතට අනුකූලව යි. ඒ නිසා දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය මෙම අවස්ථාවේ අදාළ වන්නේ නැහැ."
එහිදී දෙදෙනා අතර ඇති වූ සංවාදය මෙසේ ය.
සභාපති විනිසුරුවරයා: එසේ නම් ඔබගේ ඉල්ලීම සලකා බැලිය යුත්තේ කුමන නීතියක් යටතේ ද?
ජනාධිපති නීතිඥවරයා: ඇප පනත යටතේ, ස්වාමීනි.
සභාපති විනිසුරුවරයා: නමුත් මේ නඩුකරයට පාදක වන්නේ දූෂණ විරෝධී පනත යි. එහි සඳහන් වෙනවා අල්ලස් කොමිසමේ අධ්යක්ෂවරයා සහතිකයක් ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බව සඳහන් කර තිබෙනවා.
ජනාධිපති නීතිඥවරයා: ස්වාමීනි, එම තත්ත්වය අදාළ වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුකරය පවතින අවස්ථාවක පමණ යි. මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගය ගැන තමයි එහි සඳහන් කරලා තිබෙන්නේ.
'රිමාන්ඩ් කිරීම හැර වෙනත් විකල්පයක් නෑ'
ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
"ස්වාමීනි, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 195 (ඇ) වගන්තිය ප්‍රකාරව දැන් විත්තිකරුට අධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා. එවැනි අවස්ථාවක විත්තිකරුට ඇපයක් නියම කළ යුතු යි. එසේත් නැතිනම් රිමාන්ඩ් භාරයට පත් කළ යුතු යි. නමුත් මේ අවස්ථාවේදී මේ විත්තිකරුට ඇප ලබා දීමට හැකියාවක් තිබෙනවා ද කියන ගැටලුව මතු වෙනවා. මෙම විත්තිකරුට චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ දුෂණ විරෝධී පනත යටතේ. දූෂණ විරෝධී පනතේ 149 (2) වගන්තිය ප්‍රකාර ඇප ප්රදානය කිරීමට හැකියාව ලැබෙන්නේ සුවිශේෂී කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක පමණ යි. නමුත් මේ අවස්ථාව වන විට මෙම විත්තිකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් වී නෑ. ඒ නිසා මේ විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීම හැර වෙනත් විකල්පයක් ඔබතුමන්ලාට නෑ."
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, "මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ දූෂණ විරෝධී පනත යටතේ. එම පනතේ 149 (2) වගන්තිය ප්‍රකාරව විත්තිකරුවෙකුට ඇප ප්රදානය කිරීම සඳහා විශේෂ අවස්ථානුගත කරුණු ඉදිරිපත් වී තිබිය යුතු යි. එහෙත් මෙම අවස්ථාවේදී එවැනි කරුණු ඉදිරිපත් වීමක් සිදුවී නැහැ," යනුවෙන් පැවසීය.
ඒ අනුව විත්තිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ ය.
ඒ අනුව විත්තිකාර නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ ය.
ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම අධිකරණය හමුවේ නොමැති විත්තිකරුවන් වන ශමින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්තිය යටතේ සාක්ෂි මෙහෙයවීමට අපේක්ෂා කරන බවත් ඊට අදාළව සාක්ෂි ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළේ ය.
ඒ අනුව එම සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
අදාළ සාක්ෂිකරුවන්ට මීළඟ දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ ය.