දුරස්ථව වැඩ කිරීමේ දී ඕපාදූප කීමේ වාසි සහ අවදානම

ඇතැමුන් සේවා ස්ථානයේ දී ඕපාදූප කියැවීම විසකුරු කාර්යාල සංස්කෘතියත් සමග සම්බන්ධ කරනු ඇති වූව ද, බොහෝ අධ්‍යයනයන් එහි ප්‍රතිලාභ පෙන්වයි: කාර්යාල සඟයන් පිළිබඳ විශ්වාසය තැබීම, එකිනෙකා අතර විශ්වාසය ගැඹුරු කිරීමට සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමට හේතුවිය හැකි ය. සේවකයන් තවදුරටත් කාර්යාලයයක හිඳ වැඩ නොකරන විට දී නරක කළමනාකරුවෙකු ගැන ඉක්මන් කෙඳිරීමක් සිදුකිරීම දුෂ්කර විය හැකි නමුත්, අනෙක් අයගේ තොරතුරු සෙවීම සහ හුවමාරු කරගැනීමට අපට ඇති සහජ අවශ්‍යතාව දෙමුහුන් වැඩ සහිත යුගයේ දී ද නොනැසී පවතියි. සැබැවින් ම, නිවසේ සිට වැඩ කිරීමට තාක්ෂණය උපයෝගී කරගන්නා සැකසුමක සිටින බොහෝ සේවකයන්ට එකිනෙකා හා සම්බන්ධ වීමට කාර්යාල ඕපාදූප තීරණාත්මක ක්‍රමයක් බවට පත් ව ඇත.

"අපි අනුන්ගේ දෙයට අත පොවන අයගෙන් පැවතගෙන එන්නන්," එක්සත් ජනපදයේ ඉලිනොඒහි නොක්ස් කොලීජියේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ෆ්‍රෑන්ක් මැක්ඇන්ඩෘ පවසයි. "ඒක, තමන් සමාජයීය වශයෙන් සාර්ථක වෙන්න නම් අනිත් හැමෝම කරන දේවල් මොනවාද කියලා දැනගන්න අපේ මුතුන්මිත්තන් තුළ තිබ්බ උනන්දුව - එයාල විශ්වාස කරන්න ඕන අය සහ නොකරන්න ඕන අය හොයාගන්න යි ඒ."

කෙසේ වුවත් දෙමුහුන් වැඩවල වර්තමාන යථාර්ථය විසින්, සේවා ස්ථානයේ දී කෑම කාමරයේ දී හෝ එහා පැත්තේ අසුන්ගෙන සිටින සගයා සමග සිදුකරන්නාක් වැනි සාමාන්‍ය මාර්ගයන් හරහා කාර්යාල ඕපාදූප පැවසීම වඩාත් දුෂ්කර කර තිබේ. සේවා ස්ථාන ආවේක්ෂණයේ සහ ඩිජිටල් සන්නිවේදනයේ මේ නව යුගයේ දී, ආයතන ප්‍රධානියා සහ අනෙක් සේවා සගයන් ගැන ප්‍රබල හැඟීම් ප්‍රකාශ කිරීමේ අවදානම වැඩිකර තිබේ. අන් කවරදාටත් වඩා වැඩියෙන්, සැකසහිත ආයතන ප්‍රධානීන් විසින් ඔවුන්ගේ පැමිණිලි ආවේක්ෂණය කිරීමේ අවදානමකට සේවකයෝ මුහුණ පා සිටිති. සේවකයින් සේවයෙන් පහ කිරීමේ වර්ධනය මධ්‍යයේ, මෙය බොහෝදෙනා මඟහරින්නට කැමති දෙයකි.

"තාක්ෂණය මැදිහත්වීමත් සමග ඕපාදූප කීමේ අවදානම විශාල ලෙස වැඩිවුණා," මැක්ඇන්ඩෘ පවසයි. "ගොඩක් නරක දේවල් ගොඩක් ඉක්මනින් වෙන්න පුළුවන්."

ඇත්ත වශයෙන් ම මෙම අවදානම මධ්‍යයේ වුවත්, බොහෝ සේවකයන් ඔවුන්ගේ සේවා සඟයන් සමග සමාජශීලී වීම සහ කාර්යාලයේ සිදුවන දේ ගැන යාවත්කාලීන වීම සඳහා තොරතුරු හා අදහස් බෙදාහදාගැනීම දිගට ම කරගෙන යනු ඇත.

එක්සත් ජනපදයේ පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයයේ, ව්‍යාපාර පිළිබඳ ටෙපර් පාසලේ සහකාර ඉගැන්වීමේ මහාචාර්ය රොනල්ඩ් ප්ලැකෝන් පැහැදිලි කරන්නේ "එය කට කතා සන්නිවේදනයේ ඵලයක්" බව යි. "බොහෝ සංවිධානවල, තොරතුරුවලට ඇති ඉල්ලුම සැපයුමට වඩා ගොඩක් වැඩියි: ළඟදීම රැකියාවෙන් ඉවත් කිරීම් සිද්ධවෙනවා කියලා කටකතාවක් තිබුණත් ප්‍රධානීන් නිශ්ශබ්ද නම්, ඒ රික්තය පුරවන්න ඕපාදූප එන එක අපේක්ෂා කරන්න පුළුවන්."

නමුත් බොහෝ සේවකයන් නම්‍යශීලී වැඩ සැකසුමක සිටින නිසා, අවම වශයෙන් සාම්ප්‍රදායික විධියට හෝ ඕපාදූප කියවීම සඳහා ඇති අවස්ථා ඉතා අඩු ය. "මිනිස්සුන්ට භෞතික ව එකට එකතුවෙලා වැඩකරන්න තියෙන්නෙ අඩු ඉඩක් වගේම, ඔබ ඔබේ ලැප්ටොප් එකෙන් දුරස්ථ විදිහට වැඩ කරනකොටත් නිරීක්ෂණය වෙන්නේ අඩුවෙන්," ප්ලැකොන් පවසයි. "ඔෆිස් එකේ වාඩිවෙලා ඉන්නකොට සේවා සගයෙක් අනපේක්ෂිත විදිහට බොස්ගේ කාර්යාලයට යන එක සේවා ස්ථානයේ ඕපාදූපයකට පොළඹවන්න පුළුවන්: 'එයා ඉන්නෙ කරදරේක ද?', 'එයාට ප්‍රමෝශන් එකක් ලැබෙන්න ද යන්නෙ?'. ඕපාදූපවල ඒ මූලාශ්‍රය බොහෝදුරට නැතිවෙලා."

තොරතුරු ගලායාම මැඬලා තිබියදීත්, එකිනෙකා ගැන දැනගෙන සිටීමේ අවශ්‍යතාවය බොහෝ සේවකයන්ට තවමත් දැනෙයි. එසේ කිරීමේ දී, ඔවුන් ඔවුන්ගේ රැකියාව සඳහා ද යොදා ගන්නා උපකරණය වෙත නිතර හැරෙයි. "ඕපාදූප කියවන්න අවස්ථාව ගොඩක් වෙලාවට තියෙන්නෙ සූම් එකේ හෝ ස්ලැක් එකේ," ඇම්ස්ට්‍රඩෑම්හි ව්‍රිජ් විශ්වවිද්‍යාලයයේ සහකාර පර්යේෂිකාවක් වන එලීනා මාර්ටිනස්කියු පවසයි. "මිනිස්සු තවදුරටත් එකම අවකාශවල වැඩ කරන්නෙ නෑ, නමුත් අදහස් හා නිරීක්ෂණ හුවමාරු කරගැනීමට හා තොරතුරු සොයායාමට සහජයෙන් පිහිටි අවශ්‍යතාවය ඔවුන්ට තවමත් තියෙනවා."

නමුත් ඕපාදූප සඳහා සේවකයන් භාවිත කරන සේවා ස්ථාන මෙවලම් සේව්‍යයන්ට නිරීක්ෂණය කළ හැකි ය. බොහෝ ආයතන ප්‍රධානියෝ ද ඒ සඳහා ම සැකසූ මෘදුකාංගවලින් සේවකයන් ආවේක්ෂණය කරති: ගාර්ට්නර් උපදේශන සමාගමට අනුව, ඉදිරි අවුරුදු දෙක තුළ දැවැන්ත එක්සත් ජනපද සේවායෝජකයන්ගෙන් 70%ක් ආවේක්ෂණ උපකරණ භාවිත කරනු ඇත. ඇතැම්විට "Bossware" ලෙස නම්කර ඇති මෙම තාක්ෂණයට යතුරුපුවරුවෙන් ටයිප් කරන දෑ පටිගත කිරීම, ස්ක්‍රීන්ශොට් ගැනීම හෝ සේවකයාගේ වෙබ් කැමරාව රහසින් ක්‍රියාත්මක කරවීම කළ හැකිය.

තාක්ෂණය යොදාගෙන වැඩ කිරීම තුළ සේවා ස්ථානයේ ඕපාදූප හුවමාරුව වඩාත් සංකීර්ණ වනවා පමණක් නොව අවදානම්සහගත බව ද මෙයින් හැඟවෙයි. "මුහුණට මුහුණ සිදු කරන සංවාදවල දී කටහඬේ ස්වරය සහ වාචික නොවන සංඥා මඟින් හුවමාරු නොකළ යුතු සංවේදී තොරතුරු අවධාරණය කරන්න පුළුවන් වුණත්, ඩිජිටල් සන්නිවේදනයේ එවැනි සියුම් දේවල් තියෙන්නේ අඩුවෙන්," මැක්ඇන්ඩෘ පවසයි. "මැසේජ් එකක් ලේසියෙන් ම ෆෝවඩ් වෙන්න පුළුවන්, [කියවන්නා] වැරදි අනුමානවලට එළැඹෙන්න පුළුවන් වගේම අපේක්ෂා නොකළ ප්‍රේක්ෂක පිරිසක් දකින්න පුළුවන්."

ඔවුන්ගේ සේවායෝජකයා ගැන නරක ලෙස කතා කිරීමෙන් සේවකයා ඔවුන්ගේ රැකියාව අහිමි කර නොගත්ත ද, නින්දාසහගත පණිවුඩ ඉතිහාසය අනාගතයේ දී බරපතල පටලැවිල්ලක් වනු ඇත. "මුහුණට මුහුණ ඕපාදූප කතා කිරීම එක්ක සසඳන විට, සේවායෝජකයාට හසුකරගැන්න පහසු, සේවකයාට ප්‍රතික්ෂේප කරන්න අපහසු, ලිඛිත සාක්ෂියක් තියෙනවා," මැක්ඇන්ඩෘ පවසයි. "සේවයෙන් පහ කිරීමත් සිද්ධවෙන්න පුළුවන් කියලා මම හිතුවට, ඒක බරපතල ම උල්ලංඝනයක් වෙන්න ඕනෑ."

මීට ප්‍රතිචාර ලෙස, Blind සහ Reddit වැනි නිර්නාමික සංවාදතල, සේවා ස්ථාන පිළිබඳ ඕපදූප හුවමාරු කරගැනීමට එක්විය හැකි ඩිජිටල් අවකාශයන් ලෙස වේගයෙන් හා සාර්ථකව වර්ධනය වෙමින් තිබේ. "ඔබට ඉන්න අවකාශයේ ඔබට කරදර කරන බොස් කෙනෙක් නැති වෙන්න පුළුවන් වුණත්, ඔබේ රැකියාව ගැන එකම විදිහෙ කළකිරීම්, කේන්තිය සහ කාංසිය ඔබ තවමත් අත්විඳිනවා වෙන්න පුළුවන්," මාර්ටිනස්කියු පවසයි. "ඔන්ලයින් ගිහින්, ව්‍යාජ නමකින් ඔයාගෙ කරදරය ගැන කියවන එක, රැකියාව ගැන ඕපාදූප කියන්න අලුත් ආකාරයක් වෙන්න පුළුවන්."

වැඩි වශයෙන් දෙමුහුන් වූ හෝ තාක්ෂණය යොදාගෙන නිවසේ සිට වැඩකරන කාර්යාල වටපිටාවක පවා, බොහෝ සේවකයන් ඕපාදූප කීම සඳහා දිගට ම ක්‍රම සොයාගනු ඇත. "තොරතුරු ලබාගන්න අපට නැති නොවෙන, සහජ ආශාවක් තියෙනවා," මැක්ඇන්ඩෘ පවසයි. "සමහර අය ඕපාදූප කීමෙන් වින්දනයක් ලබනවා: සංවේදී තොරතුරු සමග කටයුතු කිරීමේ දී විචක්ෂණශීලී හා වගකීම් සහගත වන අතරතුර, ආයතනයේ වෙන්නෙ මොකක්ද කියලා දැනගෙන සිටීමේ නාමයක් ඔවුන්ට තියෙනවා. ඔවුන් බොහෝවිට ගොඩක් ජනප්‍රිය අය."