හිටපු ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් 'ආක්‍රමණශීලී' පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බව හෙළි වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, නඩීන් යූසුෆ්
- Role, බීබීසී
82 හැවිරිදි හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අස්ථි දක්වා පැතිර ගිය පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බව ඔහුගේ කාර්යාලය ඉරිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම වසරේ ජනවාරි මාසයේ ජනාධිපති ධූරයෙන් ඉවත් වූ ඔහු පසුගිය සතියේදී වෛද්‍යවරයෙකු හමුවී ඇත්තේ, මුත්‍රා පිටකිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙනි. අදාළ රෝගී තත්ත්වය සනාථ වී ඇත්තේ සිකුරාදා දිනයේදී ය.
මෙම පිළිකාව වඩාත් ආක්‍රමණශීලි ආකාරයක් ගන්නා අතර, පිළිකාවක දරුණු තත්ත්වය මනින ග්ලීසන් ලකුණු (Gleason score) 10න් 9ක බරපතළ තත්ත්වයක් ඇති පිළිකාවකි. එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය පවසන්නේ, බයිඩ්න්ගේ රෝගී තත්ත්වය "ඉහළ මට්ටමක" පවතින බවත්, පිළිකා සෛල පැතිර යාම වඩාත් ඉක්මනින් සිදුවිය හැකි බවත් ය.
ප්‍රතිකාර සම්බන්ධයෙන් පවතින විකල්ප පිළිබඳව බයිඩ්න් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මේ වන විට සලකා බලමින් සිටින බව වාර්තා වේ. මෙම පිළිකාව හෝමෝනවලට සංවේදී බවට ඔහුගේ කාර්යාලය කර ඇති ප්‍රකාශයකින් අදහස් වන්නේ, එය පාලනය කර ගත හැකි බවකි.
ඉරිදා නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ, "මුත්‍රා පිටකිරීම සම්බන්ධයෙන් වර්ධනය වූ රෝග ලක්ෂණවලින් පසුව ජනාධිපති ජෝ බයිඩ්න් පසුගිය සතියේදී පුරස්ථි ග්‍රන්ථියේ ගැටිත්තක් ඇතැයි අනාවරණය විය," යනුවෙනි.
"අස්ථිවල රෝගීභාවයක් ද සහිතව ග්ලීසන් ලකුණු 9 (ශ්‍රේණි කාණ්ඩ 5) මට්ටමක පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඔහුට වැළඳී ඇති බවට සිකුරාදා දිනයේදී රෝග විනිශ්චය විය."
"වඩාත් ආක්‍රමණශීලී ස්වරූපයේ රෝගී තත්ත්වයක් ඉන් පෙන්නුම් කෙරෙන අතර, මෙම පිළිකාව හෝමෝනවලට සංවේදී බවට පෙනී යෑමෙන් කියැවෙන්නේ එය ඵලදායී ලෙස පාලනය කර ගත හැකි බව ය."
හිටපු ජනාධිපතිවරයාගේ රෝගී විනිශ්චය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව පක්ෂ හා විපක්ෂ දෙපාර්ශවයෙන් ම ඔහුට සහය පළවී ඇත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය යාන්ත්‍රණය ඔස්සේ කියා සිටියේ, තමන් සහ තම ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් "ජෝ බයිඩ්න්ගේ රෝග විනිශ්චය ඇසීමෙන් කම්පාවට පත්වූ," බව ය.
"ජිල් සහ පවුලේ අන් අයට අපේ උණුසුම් ප්‍රාර්ථනා එක් කරනවා," යැයි ඔහු හිටපු ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් පිළිබඳව ද සඳහන් කරමින් සටහනක් තබා තිබේ. "ජෝ හට වේගවත් හා සාර්ථක සුවයක් අත් වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා."
බයිඩ්න් යටතේ උපජනාධිපතිවරිය ලෙසින් කටයුතු කළ කමලා හැරිස් ද X සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් කළ නිවේදනයකින් පවසා ඇත්තේ, තමන් හා තම ස්වාමි පුරුෂයා වන ඩග් එම්හොෆ් දෙදෙනා ම බයිඩ්න් පවුල වෙනුවෙන් යාච්ඤා කරන බව ය.
"ජෝ කියන්නේ සටන්කාමියෙක් - ඒ වගේ ම මම දන්නවා ඔහු මේ අභියෝගයට හැමදාමත් වගේ ඔහුගේ ජීවිතය හා නායකත්වය පෙන්නුම් කළ ශක්තියෙන්, නම්‍යතාවයෙන් හා සුබවාදී ආකාරයෙන් මුහුණ දෙයි කියලා," යැයි හැරිස් පැවසුවාය.
වසර 2009 සිට 2017 දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කළ හා බයිඩ්න් තම උපජනාධිපතිවරයා ලෙසට තබාගත් බැරක් ඔබාමා ද Xහි සටහනක් තබමින් සඳහන් කළේ, තමන් හා තම බිරිඳ මිෂෙල් "මුළු බයිඩ්න් පවුල ම ගැන අවධානයෙන් පසුවන" බව ය.
"සියලු ම ආකාරයේ පිළිකාවලට ප්‍රතිකාර සොයාගන්න ජෝ තරම් වෙන කිසි කෙනෙක් කටයුතු කළේ නැහැ. ඔහුගේ සලකුණ වෙන 'අධිෂ්ඨානය හා ශිෂ්ටත්වය' එක්ක මේ අභියෝගයට එරෙහිව ඔහු සටන් කරන බව මට විශ්වාස යි. ඉක්මන් හා පූර්ණ සුවයක් වෙනුවෙන් අපි යාඥා කරනවා." පිළිකාව පිටුදැකීම සඳහා වන cancer moonshot නම් වූ පුළුල් රාජ්‍ය අංශ පර්යේෂණ වැඩසටහනක් පැවැත්වීම වසර 2016දී ඔබාමා විසින් බයිඩ්න්හට පවරනු ලැබී ය.
එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් පැවසුවේ, "ජනාධිපති බයිඩ්න්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් තියෙන බව දැන ගැනීමෙන් දැඩි ලෙද කනගාටුවට පත් වුණා. ජෝ, ඔහුගේ බිරිඳ ජිල් සහ ඔවුන්ගේ පවුලට හොඳ ම දේ වෙන්න කියලාත්, ජනාධිපතිවරයාට ඉක්මන් හා සාර්ථක ප්‍රතිකාර ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා," යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මීට වසරකට පමණ පෙර හිටපු ජනාධිපතිවරයාට 2024 ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට සිදු වූයේ, තම සෞඛ්‍ය තත්ත්වය හා වයස්ගතභාවය සම්බන්ධයෙන් පැවති ගැටලු හේතුවෙනි. ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කළ වයස්ගත ම තැනැත්තා ඔහු ය.
නැවත තේරීපත්වීම සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකයා වශයෙන් තරග කළ ඔහු රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ට්‍රම්ප් සමග ජූනි මාසයේදී රූපවාහිනිය ඔස්සේ පැවැත්වූ විවාදයේදී පෙන්නුම් කළ අසාර්ථකත්වය පිළිබඳව දැඩි විවේචන එල්ල විය. උපජනාධිපතිනිය වූ කමලා හැරිස් පසුව ඔහු වෙනුවට ඩිමොක්‍රටික් අපේක්ෂකත්වයට පත් වූවා ය.
සමේ පිළිකාවට පසුව පිරිමින් අතර වැඩියෙන් ම පවතින පිළිකා වර්ගය වන්නේ, පුරස්ථි ග්‍රන්ථි පිළිකාව බව Cleveland Clinic පවසයි. තම ජීවිත කාලයේ ඕනෑ ම අවස්ථාවකදී පුරස්ථි ග්‍රන්ථි පිළිකාව හටගැනීම සෑම පිරිමින් 100 දෙනෙකුගෙන් 13 දෙනෙකුට ම සිදුවිය හැකි බව රෝග පාලන හා වැළැක්වීම පිළිබඳ එක්සත් ජනපද මධ්‍යස්ථානය (US Centres for Disease Control and Prevention - CDC) කියා සිටී.
එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ, වයස්ගත වීමත් සමග අවදානම ඉහළ යන බව ය.
බයිඩ්න්ගේ රෝග නිර්ණය පිළිබඳව හෙළිව ඇති කරුණුවලට අනුව මෙය වඩාත් ආක්‍රමණශීලී ආකාරයේ පිළිකාවක් බව ඇමෙරිකානු පිළිකා සංගමයේ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරී හා පුහුණුව ලත් පුරස්ථි ග්‍රන්ථි පිළිකා වෛද්‍යවරයෙකු වන විලියම් ඩාහුට් බීබීසීය සමග පැවසීය.
"සාමාන්‍යයෙන් පිළිකාවක් අස්ථි දක්වා පැතිරිලා නම් එය සුවකළ හැකි පිළිකාවක් කියලා අපි සලකන්නේ නැහැ," යැයි වෛද්‍ය ඩාහුට් කීය.
නමුත්, බොහෝ රෝගීන් මූලික ප්‍රතිකාරවලට හොඳින් ප්‍රතිචාර දක්වන බව ඔහු පැවසුවේ, "ගොඩක් අයට රෝග තත්ත්වයත් එක්ක අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න හැකි වෙනවා," යනුවෙන් අවධාරණය කරමිනි.
හිටපු ජනාධිපතිවරයාගේ ආකාරයේ රෝග තත්ත්වයක් සහිත අයෙකුට රෝග ලක්ෂණ අඩු කිරීම හා පිළිකා සෛල පැතිරී යාම ප්‍රමාද කිරීම සඳහා හෝමෝන චිකිත්සාව ලබා දීම සිදුවන බව ද ඔහු කීය.
ධවල මන්දිරය හැර යාමෙන් අනතුරුව බයිඩ්න් නිතර ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර, ජනතාව ඉදිරියේ පෙනී සිටියේ ද ඉතා කලාතුරකිනි.
ඔහු පසුගිය අප්‍රේල් මාසයේ චිකාගෝහිදී පැවති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් කටයුතු කරන Advocates, Counselors, and Representatives for the Disabled නමැති සංවිධානයේ සමුළුවක ප්‍රධාන දේශනය පැවැත්වීය.
මැයි මාසයේදී ඔහු බීබීසීය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූයේ, ධවල මන්දිරය හැර යාමෙන් පසුව මාධ්‍යයකට අදහස් දැක්වීමට ලැබුණු පළමු අවස්ථාව ලෙසිනි. 2024 ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමේ තීරණය ඉතා "දුෂ්කර" වූ බව එහිදී ඔහු කියා සිටියේ ය.
සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වන ගැටලුවලට ඔහු පසුගිය මාස කිහිපය පුරාවට ම ප්‍රසිද්ධ වේදිකාවේදී මුහුණ දුන්නේ ය.
ධවල මන්දිරයේ ගත කළ අවසන් වසරේදී තමන් ඥානන හැකියාව පිරිහී යාමේ තත්ත්වයකට මුහුණ දුන් බවට වන වාර්තා මැයි මාසයේදී පැවති The View වැඩසටහනේදී ඔහු ප්‍රතික්ෂේප කර සිටියේ ය. "ඒ වගේ දෙයක් පේන විදියේ කිසි ම හේතුවක් තිබුණේ නැහැ", යැයි හෙතෙම පැවසීය.
හිටපු ජනාධිපතිවරයා වසර ගණනාවක් මුළුල්ලේ පිළිකා රෝගය පිළිබඳ පරීක්ෂණ වෙනුවෙන් පෙනී සිටියේ ය.
වසර 2022 දී ඔහු සහ ඔහුගේ බිරිඳ විසින් cancer moonshot වැඩසටහන යළි ආරම්භ කළේ, 2047 වන විට පිළිකා රෝගයෙන් මිලියන හතරකට අධික මරණ සංඛ්‍යාවක් සිදුවීම වළක්වා ගැනීමේ අරමුණින් සිදු කෙරෙන පර්යේෂණවලට සහය ලබාදීමේ අරමුණෙනි.
බයිඩ්න්ගේ වැඩිමහල් පුත්‍රයා වූ බියු 2015දී මරණයට පත්වූයේ මොළයේ පිළිකාවක් හේතුවෙනි.








