ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජාංගණයේ සද්ධාරතන සංඝභාවයෙන් නෙරපා හැරිය බව රාමාඤ්ඤ නිකාය අධිකරණයට දන්වයි
- Author, බීබීසී සිංහල
'රාජාංගණේ හාමුදුරුවෝ' නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වූ රාජාංගණයේ සද්ධාරතන භික්ෂුව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබේ.
එම භික්ෂුව සංඝභාවයෙන් නෙරපා හැර ඇති බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ ඇතුළු නීතිඥ මඩුල්ලක් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බදාදා (අප්‍රේල් 02) දැනුම් දෙන ලදී.
සංඝභාවයෙන් නෙරපා හැරීමට හේතුව
යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණයේදී ඒ හිමියන් වැරදිකරු බව අනාවරණය වී ඇතැයි අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරිණි.
'රාජාංගණේ හාමුදුරුවෝ' නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් ඒ හිමියන් පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහා සංඝයා වහන්සේ සිව් නමක් ඉදිරියේ ඉකුත් පෙබරවාරි මස 21 වන දා විනය කමිටුවට ඉදිරිපත් කර ඉන් වැරදිකරු කර භික්ෂුභාවයෙන් නෙරපා හැර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ අධිකරණයට දන්වා සිටියේ ය.
බුද්ධශාසන අමාත්‍යංශයේ ප්‍රතිචාරය
රාජාංගණයේ සද්ධාරතන භික්ෂුව සංඝභාවයෙන් නෙරපා හැරීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රුවන් ලියනාරච්චි පැවසුවේ, රාමඤ්ඤ නිකායේ මහනායක හිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ ඒ බව තහවුරු කළ බව ය.
"රාමඤ්ඤ නිකායේ මහනායක හිමියන් ඒක තහවුරු කළා, අපිට තව ම ලිඛිතව දැනුම් දීමක් මේ වෙනකම් සිදුකරලා නැහැ," මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රාජාංගණේ සද්ධාරත්න හිමි කවුද?
සමාජ මාධ්‍ය හරහා දේශපාලන, ආගමික සහ රටේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කිරීම හේතුවෙන් රාජාංගණයේ සද්ධාරතන හිමියන් පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ආරම්භ විය.
2023 වසරේ මැයි මස 28 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගණේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගනු ලැබුවේ, ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළේ යැයි සඳහන් කරමින් ලද පැමිණිල්ලකට අනුව ය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජාංගණයේ සද්ධාරතන හිමියන් 2023 වසරේ ජූලි මස 12 වන දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලෙස නියෝග කරන ලදී.
එහිදී, රාජාංගණයේ සද්ධාරතන හිමියන් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළ අතර අසභ්‍ය වචන භාවිතය තහනම් කරමින් සැකකාර හිමියන්ට එහිදී තරයේ අවවාද කර තිබිණි.
සද්ධාරතන හිමියන් විසින් පවත්වාගෙන යනු ලබන සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කරන ලද වීඩියෝවලින් ජාතීන් හා ආගම් අතර නොසන්සුන්තාවක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත්, ඇතැම් පුද්ගලයින්ට තර්ජනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උන්වහන්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දක්වා තිබිණි.
සැකකාර හිමියන් පිටුපස විශාල පිරිසක් සිටිමින් පෙළඹවීම් සිදුකරන බවට සැකයක් මතු වී තිබෙන අතර විශාල වශයෙන් මුදල් හුවමාරු වීම් සිදුවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා තිබේ.
එමෙන් ම, විවිධ භික්ෂුන් වහන්සේලා මෙන් ම සිවිල් ක්‍රියාකාරීන් සද්ධාරතන හිමියන්ට එරෙහිව විවිධ අවස්ථාවලදී චෝදනා එල්ල කළේ, උන්වහන්සේ ජාතීන් අතර භේදයක් ඇති කිරීමට උත්සහ කරන බව පවසමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට රාජාංගණයේ සද්ධාරතන හිමියන් දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය අවස්ථා කිහිපයකදී උත්සහ කළ ද එය සාර්ථක නොවී ය.