ඇමෙරිකාවේ යුද්ධ රහස් එළියට විසිවුණු 'සිග්නල්' සමූහ සංවාදයේ ඇතුළත් වැදගත් කරුණු 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images / The Atlantic
යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාරයක් සඳහා වන සැලසුම් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක නිලධාරීන් සාකච්ඡා කළ සමූහ සංවාදයකට (group chat) මාධ්‍යවේදියෙකු අහම්බෙන් එකතු කොට (added) ඇති බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ නම සඳහන් ගිණුම් ඇතුළත්ව තිබූ 'සිග්නල්' කෙටි පණිවිඩ හුවමාරු යෙදුම තුළ නිර්මාණය කර තිබුණු සමූහ සංවාදයකට තමන් එකතු කර තිබුණු බව 'ද ඇට්ලාන්ටික්' සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් පසුගිය සඳුදා වාර්තා කළේ ය.
"මේ අවස්ථාව වෙනකොට, වාර්තා වූ ගෲප් චැට් එක සැබෑ එකක් ලෙස පේනවා, අදාළ සමූහයට අනවශ්‍ය අංකයක් එකතු වුණේ කොහොම ද කියලා තොරතුරු සොයා බලමින් ඉන්නවා," ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක බ්‍රයන් හියුස් බීබීසී වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.
සිදුවූයේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, The Atlantic
මාර්තු 15 වන දින, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යේමනයේ හූතිවරුන්ට එරෙහිව "තීරණාත්මක හා බලගතු" ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරන ලදී.
ප්‍රහාරය එල්ල කිරීමට දින හතරකට පෙර, එනම් මාර්තු 11 වන දින, ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස්ගේ යැයි කියනු ලබන 'සිග්නල්' ගිණුම හරහා තමන්ව කණ්ඩායම් සංවාදයක් සඳහා ඇතුළත් කර ගැනීමට ඉල්ලීමක් (connection request) ලැබුණු බව ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් සඳහන් කළේ ය.
සිග්නල් පණිවුඩ හුවමාරු යෙදුම මාධ්‍යවේදීන් සහ වොෂින්ටන් බලධාරීන් විසින් භාවිත කරනු ලබන්නේ, එහි පවතින සන්නිවේදනයේ ආරක්ෂිත ස්වභාවය, අන්වර්ථ නාම නිර්මාණය කිරීමේ හැකියාව සහ මකා දැමිය හැකි පණිවිඩ යැවීමට ඇති හැකියාව හේතුවෙනි.
ඉන් දින දෙකකට පසු, "Houthi PC small group" යන නමින් වූ සිග්නල් සමූහයකට තමන්ව එකතු කළ බව ගෝල්ඩ්බර්ග් පැවසුවේ ය.
කැබිනට් සාමාජිකයින් සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් රැසකට අයත් බව පෙනෙන ගිණුම් ගණනාවක් එම කණ්ඩායම් සංවාදයට ඇතුළත් කර තිබූ බව ද ගෝල්ඩ්බර්ග් වාර්තා කළේ ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපතිගේ නම වන "JD Vance" ලෙස නම් කර ඇති ගිණුමක්, ආරක්ෂක ලේකම් "Pete Hegseth" ලෙස නම් කර ඇති ගිණුමක් සහ මධ්‍යම බුද්ධි ඒජන්සියේ අධ්‍යක්ෂ "John Ratcliffe" ලෙස නම් කර ඇති ගිණුමක් ඇතුළු ගිණුම් රැසක් මෙම කණ්ඩායම් සංවාදය තුළ විය. විවිධ ආයතනවල ඉහළ ම ජාතික ආරක්ෂක නිලධාරීන් ද ඊට එක්වී ඇති බව පෙනෙන්නට තිබුණු බව ඔහු පවසයි.
හමුදා ප්‍රහාර සඳහා ඉලක්ක සහ වේලාවන් පිළිබඳව මෙම කණ්ඩායම් කතාබහ තුළ සාකච්ඡා කරන ආකාරය තමා නිරීක්ෂණය කළ බව ත්, පසුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යේමනයේ හූතිවරුන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කළ විට එහි වූ සැලසුම් නිවැරදි බව පෙනෙන්නට තිබූ අතර එය 'ගෘප් චැට්හි' ඇතුළත් වූ තොරතුරු සමග සමපාත වූ බවත් ගෝල්ඩ්බර්ග් පවසයි.
ඒ අනුව, ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රධානතම ස්ථානයේ සිදුව ඇති රහස්‍ය තොරතුරු හෙළිදරව් වීමේ සිදුවීම අවබෝධ කර ගැනීමට එක්සත් ජනපද රජය තවමත් උත්සහ කරමින් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ට්‍රම්ප්ගේ සිතීම් ප්‍රශ්න කරන වෑන්ස්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ගෝල්ඩ්බර්ග් වාර්තා කළේ, හමුදා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 'JD Vance' නම් ගිණුමෙන් "මම හිතන්නේ අපි වැරැද්දක් කරනවා." යනුවෙන් ලියු බව යි.
සූවස් ඇළ හරහා යුරෝපීය වෙළෙඳාම් කටයුතු වැඩි වශයෙන් සිදුවන බැවින්, එහි ගමන් කරන යාත්‍රාවලට පහර දෙන හූති හමුදා ඉලක්ක කර ගැනීම එක්සත් ජනපදයට වඩා යුරෝපීය රටවලට වාසි දායක වන බව උපජනාධිපතිවරයා පැවසීය.
ඇමෙරිකානු ක්‍රියාමාර්ග යුරෝපයට කෙසේ වාසි දායක විය හැකිදැයි ඔහුගේ ප්‍රධානියා නොදැන සිටින්නට ඇති බව වෑන්ස් තවදුරටත් පැවසීය.
"මට විශ්වාස නැහැ ජනාධිපතිවරයා දන්නවා ද කියලා ඔහු දැන් යුරෝපය ගැන කියන දෙයත් එක්ක මේක කොයිතරම් දුරට ගැලපෙනව ද කියලා," වෑන්ස් පැවසීය. "තෙල් මිල මධ්‍යස්ථව ඉඳලා ඉහළ අගයක් දක්වා මිල වැඩි වීමේ අවදානමක් තියෙනවා."
ගෝල්ඩ්බර්ග්ට අනුව, උපජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, ඔහු සම්මුතියට සහය දෙන නමුත් එය මාසයකින් ප්‍රමාද කිරීමට කැමැත්තක් දක්වන බව ය.
ගෝල්ඩ්බර්ග් ඔහුගේ ලිපියේ වාර්තා කළේ, ට්‍රම්ප් සහ වෑන්ස් "මෙම කාරණය සම්බන්ධයෙන් පසුව සංවාද පවත්වා ඇති බ වත්, ඔවුන් සම්පූර්ණයෙන් ම ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව " අවධාරණය කරමින් ජේ.ඩී. වෑන්ස්ගේ ප්‍රකාශකවරයා පසුව ඔහුට ප්‍රකාශයක් එවා ඇති බව ය.
බලයට පත්වීමෙන් පසු, ට්‍රම්ප් ඔහුගේ යුරෝපීය නේටෝ මිත්‍ර රාජ්‍ය දැඩි ලෙස විවේචනය කර තිබේ. එමෙන් ම, ආරක්ෂක වියදම් වැඩි කරන ලෙස ඉල්ලා ඇති අතර සාමාන්‍යයෙන් අවධාරණය කර ඇත්තේ, යුරෝපය තමන්ගේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේ වගකීම භාර ගත යුතු බව ය.
'අනුන්ගේ පානෙන් එළිය බැලීම' ගැන යුරෝපය දෝෂ දර්ශනයට
එක්සත් ජනපදයට හූතිවරුන්ට එරෙහිව මිලිටරි ප්‍රහාරයක් එල්ල කළ හැකි ද සහ එය කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳ තර්ක වෑන්ස්ගේ සිත් දිනා ගත්තේ නැත.
ඔහු ආරක්ෂක ලේකම්වරයාට පැවසුවේ, "අපි ඒක කරන්න ඕනේ කියලා ඔයා හිතනවා නම් අපි ඒක කරමු. ආයෙත් යුරෝපය බේල් අවුට් කරන එක මට පේන්න බැහැ."
හෙග්සෙත් ප්‍රතිචාර දැක්වූයේ:
"යුරෝපය නිකන් යැපෙන එක ගැන ඔයාගේ අප්‍රසාදය ගැන මම මුළුමනින් ම එකඟ වෙනවා. ඒක හරි ම කණගාටුදායකයි."
"SM" ලෙස පමණක් නම ඇති කණ්ඩායමේ සාමාජිකයෙකු යෝජනා කළේ, ප්‍රහාරයෙන් පසු, එක්සත් ජනපදය "ඊජිප්තුවට සහ යුරෝපයට අපි අපේක්ෂා කරන දේ පැහැදිලි කළ යුතු" බව ය.
"යුරෝපය ආපස්සට දෙයක් නොදුන්නොත්, මොකද කරන්නේ," ඔහු ඇසුවේ ය.
"ඇමෙරිකා එක්සත් ජනපදය විශාල වියදමක් දරලා සාර්ථකව නාවික ගමනාගමන නිදහස ප්‍රතිස්ථාපනය කරනවා නම්, ඒ වෙනුවෙන් තවත් ආර්ථික වාසියක් ලබා ගත යුතුයි," අදාළ පරිශීලකයා තවදුරටත් පැවසීය.
ප්‍රහාරයෙන් පසු: ඉමෝජීස් සහ යාච්ඤා කිරීම්
ගෝල්ඩ්බර්ග්ට අනුව, ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපද ජාතික ආරක්ෂක ප්‍රධානියා ඉමෝජි තුනක් ඒ වෙත යැවීය: "හස්තයක්, ඇමෙරිකානු ධජය සහ ගින්නක්," ඒවා අතර විය.
මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ඉමෝජි පහක් සමග ප්‍රතිචාර දැක්වූ බව ගෝල්ඩ්බර්ග් පැවසීය: "යාච්ඤා කරන අත් දෙකක්, ශක්තිය හඟවන බාහුව සහ ඇමෙරිකානු ධජ දෙකක්".
රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් සහය පළ කරමින් පණිවිඩ නිකුත් කළ බව ඔහු පැවසීය.
"ජයග්‍රහණය වෙනුවෙන් මම යාච්ඥා කරන්නම්," වෑන්ස් පැවසුවේ ප්‍රහාරය පිළිබඳව යාවත්කාලීන කිරීම් ලබා දුන් විට ය.
තවත් සාමාජිකයින් දෙදෙනෙකු යාච්ඥා කරන ආකාරය දැක්වෙන ඉමෝජි පළ කළ බව ගෝල්ඩ්බර්ග් වාර්තා කළේ ය.
පණිවිඩය පාලනය කිරීම: බයිඩන්ට දොස් පැවරීම
මෙම ක්‍රියාව යුරෝපය පිළිබඳ ට්‍රම්ප්ගේ පණිවිඩයට පටහැනි ලෙස දැකිය හැකි බවට වූ වෑන්ස්ගේ කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් එහි මෙසේ ලියා තිබේ.
"වීපී: ඔයාගේ කනස්සල්ල මට තේරෙනවා. මේ ගැන ට්‍රම්ප් එක්ක කතා කරන එකට මම පූර්ණ සහය දෙනවා. සලකා බලන්න ඕනේ වැදගත් දේවල් තියෙනවා. ඒත් ඒවා කොහොම වේවි ද කියලා කියන්න අමාරුයි (ආර්ථිකය, යුක්‍රේන සාමය, ගාසා ආදිය).
"මොකක් වුණත් පණිවිඩය යැවීම දුෂ්කර වේවි කියලා මම හිතනවා. හූතිවරු කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසයි අපි 1) බයිඩන් අසමත් වීම සහ 2) ඉරානයට අරමුදල් සැපයීම ගැන අවධානය යොමු කරන්න ඕනේ."
ඉරානය සමග ඕනෑවට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය ජෝ බයිඩන්ට නිරන්තරයෙන් දොස් පවරා ඇත.
මයිකල් වෝල්ට්ස්
පෙර සඳහන් කළ පරිදි ගෝල්ඩ්බර්ග් මෙම සමූහ සංවාදයට එක්වන්නේ මයිකල් වෝල්ට්ස් නම් ගිණුමකින් ලැබුණු ආරාධනයකිනි.
ජනාධිපතිවරයා මෙම කණ්ඩායමේ කොටසක් නොවූවත්, ට්‍රම්ප්ගේ සමීපතමයින් එහි සිටියහ.
ගෝල්ඩ්බර්ග් මුලින් මෙය ප්‍රෝඩාවක් යැයි සිතුව ද, ඉක්මනින් ම එය සැබෑවක් බව වටහා ගත්තේ ය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හදිසි පරීක්ෂණයක් ඉල්ලා සිටීමත් සමග සමස්ත ගැටලුව ම ජාතික ආරක්ෂක උපදේශකවරයාට පීඩනයක් එල්ල කරමින් තිබේ.
සඳුදා සමස්ත සිද්ධිය ගැන විමසූ විට ට්‍රම්ප් පැවසුවේ, තමා කිසිවක් නොදන්නා බව ය. නමුත් ඔහු වෝල්ට්ස් වෙනුවෙන් පෙනී සිටියේ ය.
ආරක්ෂක ලේකම්වරයා ද පවසා ඇත්තේ, කිසිදු රහසක් හෙළි නොකළ බව ය.
"කිසි කෙනෙක් යුද්ධ සැලසුම් ගැන කෙටි පණිවිඩ යැව්වේ නැහැ," ඔහු මාධ්‍යවේදීන් වෙත පැවසීය.














