ගතවු වසර 15 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති රාජ්‍ය නායකයින් කවුද?

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැය 02ක කෙටි සංචාරයක් සඳහා අද (ජූලි 28 වැනිදා) රාත්‍රියේ දිවයිනට පැමිණෙයි.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව ලෙස මෙම ඓතිහාසික සංචාරය වැදගත් වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන්නේ දකුණු පැසිෆික් රාජ්‍යයන් කිහිපයක දින 05ක සංචාරය නිමා කිරීමෙන් අනතුරුවය.

ප්‍රංශ ජනපතිගේ පැසිෆික් සංචාරය

එම පැසිෆික් සංචාරයේදී ඔහු නව කැලිඩෝනියාව, වනුවාටු, පැපුවා නිව්ගිනියාව යන රටවල සංචාරය කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු පැසිෆික් කලාපයේ පිහිටි ප්‍රංශයට අයත් භූමිවල පමණක් නොව කලාපයේ ස්වාධීන රටවල සංචාරය කළ පළමු අවස්ථාව ද මෙය ලෙස සැලකෙයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මේ සංචාරයේදී පැසිෆික් සාගරයේ "නව අධිරාජ්‍යවාදයට" එරෙහිව අනතුරු ඇඟවීය.

"ඉන්දු-පැසිෆික් කලාපයේ, විශේෂයෙන් ඕෂනියාවේ, නව අධිරාජ්‍යවාදයක් මතුවෙමින් පවතිනවා. බොහෝ රාජ්‍යවල ස්වෛරීත්වයට තර්ජනයක් වන බල තරගයක් තියෙනවා," මැක්‍රොන් කිසිදු රටක් නම් නොකරමින් මේ සංචාරයේදී පැවසීය.

ඔහු කියා සිටියේ "නූතන ලෝකය ඉන්දු-පැසිෆික් කලාපයේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය දෙදරවමින් සිටිනවා. පළමුව, මහා බලවතුන්ගේ කොල්ලකෑම නිසා. දැන් විදේශීය නැව් මෙහෙ නීති විරෝධීව මසුන් අල්ලනවා. අසාධාරණ කොන්දේසි සහිත බොහෝ ණය කලාපයේ, සංවර්ධනයේ ගෙල සිර කරනවා." හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

දකුණූ පැසිෆික් රාජ්‍යයන්ට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනය විශාල වශයෙන් ණය පහසුකම් ලබා දී තිබේ.

ප්‍රංශ ජනපති ලංකාවට එන්නේ ඇයි?

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව රාජ්‍ය නායකයින් දෙදෙනා අතර නිල සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇත.

ගෝලීය, ආර්ථික සහ දේශපාලන කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ යුරෝපය සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍ය කැතරින් කොලොනා සහ ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් ද සහභාගි වනු ඇත.

ගතවු වසර 15 තුළ ශ්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය නායකයින් කවුද?

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා

මැතකදීම ශ්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය නායකයා වුයේ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසාය.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් 2022 නොවැම්බර් 17 වැනිදා පැවැත්වුනේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදීය.

ඉන්දුනිසියාවේ පැවතී ජී20 සමුළුවට සහභාගී වී නැවත සිය රට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මෙලෙස දිවයිනට පැමිණියේය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්

දෙදින නිල සංචාරයක් සඳහා එවකට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2021 පෙබරවාරි 23 වැනිදා දිවයිනට පැමිණියේය.

මෙම සංචාරයේදී ඔහු එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි

සිය පාලන සමය තුළ තුන්වරක් ශ්‍රී ලංකාවට පැමිණි එකම රාජ්‍ය නායකයා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි 2019 ජුනි 09 වැනිදා නිල සංචාරයක් සඳහා අවසන්වරට දිවයිනට පැමිණියේය.

මාලදිවයින් රාජ්‍ය සංචාරය නිමාකරමින් ඔහු දිවයිනට පැමිණියේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුවය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු රාජ්‍ය නායකයා වුයේ ඉන්දීය අග්‍රාමාතවරයාය.

ඔහු ඉන්දියාවේ අගමැති පදවියට පත්වීමෙන් අනතුරුව 2015 වසරේ මාර්තු 13 වැනිදා පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඉන් අනතුරුව ඔහු දෙවන වතාවට ශ්‍රී ලංකාවට ලඟා වුණේ 2017 වසරේ ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගී වීම සඳහාය.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි 2019 වසරේ පෙබරවාරි 03 වැනිදා දිවයිනට පැමිණියේය.

ඒ,මෙරට පැවති 71 වන ජාතික නිදහස් සැමරුමේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීම සඳහාය.

භූතානයේ අගමැති ෂෙරිං ටොබ්ගේ

භූතානයේ අගමැති ෂෙරිං ටොබ්ගේ 2015 වසරේ අප්‍රේල් 09 වැනිදා දිවයිනට පැමිණියේය.

ඒ, එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආරාධනයකට අනුවය.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ නිල සංචාරයක් සඳහා 2014 සැප්තැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඒ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරාධනයකට අනුවය.

චීන ජනාධිපති ෂී ජින්පින්ග්

චීන ජනාධිපති ෂී ජින්පින්ග් දෙදින නිල සංචාරයක් සඳහා 2014 වසරේ සැප්තැම්බර් 16 වැනිදා දිවයිනට පැමිණියේය.

මෙම සංචාරයේදී චීන ජනාධිපතිවරයා නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ අවසන් අදියරේ මෙහෙයුම් සහ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යෘතියේ ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කිරීමටද එක්විය.

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු

2013 වර්ෂයේදී එවකට බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු දිවයිනට පැමිණියේය.

තෙදින නිල සංචාරයක් සඳහා එවකට චාල්ස් කුමරු ශ්‍රී ලංකාවට පැමිණියේ, බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින් පොදු රද මඩුලු සමුළුවට සහභාගී වීම සඳහාය.

මෑතකාලීනව විදෙස් රාජ්‍යනායකයින් වැඩිම පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි වසර වුයේ 2013 වසරය.

ඒ, කොළඹ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව හේතුවෙනි.

ඊට පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල රාජ්‍ය නායකයින් 27 දෙනෙක් ඒ සඳහා දිවයිනට පැමිණියහ.

ඊට ජනාධිපතිවරු 09 දෙනෙක්, අග්‍රමාත්‍යවරු 16ක්, සුල්තාන්වරයෙක් සහ ආණ්ඩුකාර ජනරාල්වරයෙක් අයත් වූහ.

ඊට බ්‍රිතාන්‍ය , ඔස්ට්‍රේලියා, නවසීලන්ත, අග්‍රාමාත්‍යවරුද අයත්විය.

එහිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මුල් කර ගනිමින් කැනඩා අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සහ ඉන්දී අග්‍රාමාත්‍ය මංමෝහන් සිං ශ්‍රී ලංකා සංචාරය වර්ජනය කළ අතර විදේශ අමාත්‍යවරුන් පමණක් සමුළුවට සහභාගි කරවන ලදි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මංමෝහන් සිං

ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මංමෝහන් සිං 2008 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

ඒ, කොළඹ පැවති 15 වැනි සාක් රාජ්‍යා නායක සමුළුවට සහභාගි වීම සඳහාය.

මීට පෙර දිවයිනට වැඩිම ප්‍රබල රාජ්‍ය නායකයින් පිරිසක් පැමිණ ඇත්තේ 2004 සුනාමි ව්‍යසනයෙන් අනතුරුවය.

සුනාමි ව්‍යසනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වය සහ යලි ගොඩනැංවීමේ කටයුතු සොයා බැලීම සඳහා විදෙස් රාජ්‍ය නායකයින් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ බොහෝ පිරිසක් දිවයිනට පැමිණියහ.

ඒ අතර බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ද අයත් විය.

මීට අමතවරව, හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරුන්වන බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ්ද 2005 වසරේදී මෙරටට පැමිණ ආපදාවට ලක්වු ප්‍රදේශවල සංචාරය කළහ.