ජනගහන ගැටලුවට ශ්‍රී ලංකාවෙන් "අවිවාහක කතුන් ආනයනය කිරීමට යෝජනා කළ" දකුණු කොරියානු දේශපාලනඥයා ධූරයෙන් නෙරපයි

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
දකුණු කොරියාවේ උපත් අනුපාතය පහත වැටීමේ අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් එරටට "අවිවාහක කතුන්" ආනනයනය කළ යුතු බවට මතභේදාත්මක යෝජනාවක් කළ බව කියන ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානියා එම ධූරයෙන් ඉවත් කර තිබේ.
පාලක කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් පෙබරවාරි 9 වන දා කිම් හී සූ නෙරපා හැරීමට තීන්දු කළ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත.
කිම් නෙරපා හැරීමට කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළ බව පක්ෂ ප්‍රකාශකයෙක් සඳුදා වාර්තාකරුවන්ට පැවසීය.
ඉකුත් සතියේ ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර එම කාන්තාවන් "ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන තරුණයින්ට" විවාහ කර දිය හැකි බව ප්‍රකාශ කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් වන්නේ, දකුණු කොරියාව ලොව අඩු ම උපත් අනුපාතික ඇති රටක් ලෙස වාර්තා වන පසුබිමක ය. ඒ හේතුවෙන් රටේ මිලියන 50ක් වන ජනගහනය වසර 60ක් තුළ අඩකින් පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.
රූපවාහිනිය ඔස්සේ විකාශය කර ඇති මෙම ප්‍රකාශයට එතරම් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඊට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විරෝධයක් එල්ල වුණු අතර මහජන කෝපයට ද හේතු විය.
ග්‍රාමීය ප්‍රදේශවල පවතින ජනගහන ගැටලුව ඉස්මතු කිරීම තම ප්‍රකාශයේ අරමුණ බව කිම් පැවසූ නමුත් ඔහු භාවිත කළ වචන "නුසුදුසු" බව පිළිගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, KBS / YouTube
ජින්ඩෝ ප්‍රාන්ත ආණ්ඩුකාරයා වූ කිම් හී සූ එරට පැවති පරිපාලන සංසදයකදී ජනගහන ගැටලු විසඳීම සඳහා, "අපි ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් අවිවාහක කතුන් ආනයනය කළ යුතුයි, ග්‍රාමීය තනිකඩ තරුණයන් සඳහා විවාහ සංවිධානය කළ යුතුයි, ඒ වගේ ම වෙනත් විශේෂ පියවර සකස් කළ යුතුයි," යැයි ඔහු යෝජනා කළ බව එම වාර්තාවල දැක්වේ.
කිම්ගේ ප්‍රකාශ හෙළා දැක ඇති සෝල්හි පිහිටි වියට්නාම තානාපති කාර්යාලය, ඔහුගේ වචන "හුදෙක් ප්‍රකාශයක් නොව සංක්‍රමණික කාන්තාවන් සහ සුළුතර කණ්ඩායම් කෙරෙහි වටිනාකම් සහ ආකල්ප පිළිබඳ කාරණයක්" බව ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කළේ ය.
එසේ වුව ද ආණ්ඩුකාරවරයා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දකුණු කොරියානු පළාත් බලධාරීන් වියට්නාමය වෙත කණගාටුව පළ කර සමාව අයැද ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇති නමුත් එම වාර්තාවල ශ්‍රී ලංකාවෙන් සමාව අයැදීමක් හෝ කණාගාටුව ප්‍රකාශ කිරීමක් මේ දක්වා සඳහන් වී නොමැත.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල ප්‍රතිචාරය?
දකුණු කොරියාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැන ගැනීමට බීබීසී සිංහල විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සම්බන්ධ කර ගත්තේ ය.
එහිදී නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, ඒ සම්බන්ධව නිල ප්‍රකාශයක් නිකුත් කරන බව ය.
මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත පැවසුවේ, ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය එරට රජයේ නිල ස්ථාවරය නොවන බවයි.
එම ප්‍රකාශය කළ ආණ්ඩුකාරවරයා ධූරයෙන් ඉවත් කිරීමෙන් එම ප්‍රකාශය එරට රජය බැහැර කර ඇති ආකාරය පෙනී යන බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දත්තවලට අනුව 2024 වසර වන විට 7,114 දෙනෙකු දකුණු කොරියාවේ සේවයේ නිරත වන අතර ඉන් 127 දෙනෙක් කාන්තාවෝ වෙති.
මේ අතර, කිම්ගේ ප්‍රකාශයට එරෙහිව අඟහරුවාදා ජින්ඩෝ ප්‍රාන්ත කාර්යාලය ඉදිරිපිට රැළියක් පැවැත්වීමට කාන්තා සහ සංක්‍රමණික අයිතිවාසිකම් සඳහා වන ක්‍රියාකාරීන් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

































