දේශපාලන වේදිකාව උණුසුම් කර ඇති 'යෞවන සමාජ' ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද?

Sri Lanka Youth New and Old Logo

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Youth

    • Author, බීබීසී සිංහල

දිනෙන් දින දේශපාලන වේදිකාව උණුසුම් කරන මාතෘකාවක් බවට 'යෞවන සමාජ' පත්ව තිබේ.

ඒ, ජාතික ජන බලවේග රජය යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණය කරන බවට එල්ල වන චෝදනා සහ ඊට එරෙහිව නැගෙන ප්‍රතිචාර හේතුවෙනි.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පරිලිමෙන්තුවේදී ප්‍රකාශ කළේ, යෞවන සමාජ ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් බවත් ජන වරම ලැබුණේ එම කාර්යය ඉටු කිරීම සඳහා බවත් ය.

"ජාතික තරුණ සේවා සභාව සහ එහි ශාඛා, ජාතික යොවුන් සේනාංකය, යෞවන සමාජ ව්‍යාපාරය වැනි රජයේ ආයතන දැනුම, නිපුණතාව, විනය සහිත ක්‍රියාශීලී නවීන තරුණ නායක නායිකාවන් ගොඩනැගීම අරමුණු කොට ප්‍රතිසංවිධානය කිරීම," යනුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ත ප්‍රකාශයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත්, ග්‍රාමීය මට්ටමින් යෞවන සමාජ නියෝජනය කර ජාතික මණ්ඩලය දක්වා පැමිණි බොහෝ තරුණ තරුණයින් විශාල පිරිසක් වත්මන් රජයේ මෙම පියවර විවේචනය කරති.

ඊට එරෙහිව අගෝස්තු 6 වන දින කොළඹදී යෞවන සමාජ ක්‍රියාකාරීන්ගේ එකතුවෙන් විරෝධතාවක් ද සංවිධානය කර තිබිණි.

මේ, බීබීසී සිංහල විසින් සිදු කෙරෙන යෞවන සමාජ සම්මේලනය පිළිබඳ විමසා බැලීමකි.

යෞවන සමාජ සම්මේලනය පිහිටුවීමට හේතුව සහ ආරම්භය

ජාතික තරුණ සේවා සභාව ආරම්භ කිරීමෙන් පසු ඒ යටතේ ක්‍රියාත්මක වන සංවිධාන ජාලයක් ලෙස ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය නිර්මාණය විය.

Sri Lanka Youth වෙබ් අඩවියේ සඳහන් පරිදි ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා තරුණයින්ට තම අදහස් ස්වාධීනව සහ නිදහස් ලෙස රජය සහ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමේ මාර්ගයක් සැකසීමේ අරමුණින් එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මග පෙන්වීම අනුව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය පිහිටුවා තිබේ.

1979 වසරේ ජූනි 3 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැඩිගම මැතිවරණ කොට්ඨාසයේ, අල්ගම ග්‍රාම නිලධාරී වසමට අයත් 'නිවහල්' නමැති යෞවන සමාජය මෙරට ප්‍රථම යෞවන සමාජය ලෙස නිර්මාණය විය.

ශ්‍රී ලංකාවේ යෞවන සමාජ සම්මේලනයේ නිල ආරම්භය සනිටුහන් වන්නේ, 1983 මැයි 23 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

ඉන් වසර 16කට පසු එම දිනය පදනම් කර ගෙන මැයි 23 වන දා ජාතික තරුණ දිනය ලෙස ප්‍රකශයට පත් කෙරිණි.

තැඹිලි පැහැති පසුබිමක, යෞවන සමාජවල ලාංඡනය එනම්, වී පොකුරක් සහ ගිනි සිළුවක් අතැති තරුණයෙකු හා තරුණියක දැක්වෙන ධජයක් යෞවන සමාජ සම්මේලනය සතු වේ. එහි පහළ සිංහල බසින් 'යෞවන සමාජ' යනුවෙන් ද සඳහන් කර ඇත.

සංවිධාන ව්‍යුහය

යෞවන සමාජ සම්මේලනය අදියර හතරකින් ක්‍රියාත්මක වේ.

එය ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ආරම්භ වී ප්‍රාදේශීය මණ්ඩල, දිස්ත්‍රික් මණ්ඩල සහ ජාතික මණ්ඩලය දක්වා විහිද යයි.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසන පරිදි ජූලි මස 31 වන දා වන විට දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,002කින් වසම් 12,727ක යෞවන සමාජ පිහිටුවා අවසන් කර තිබේ.

යෞවන සමාජයක බල ප්‍රදේශය (බලයලත් ප්‍රදේශය) ග්‍රාම නිලධාරී කොට්ඨාසය වන අතර වයස අවුරුදු 15-29 අතර තරුණ තරුණයින්ට යෞවන සමාජවල සාමාජිකත්වය ලබා ගත හැකි වේ. මහා සභා රැස්වීමකදී නිලධාරීන් 9 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් තෝරා ගනු ලබන අතර තරුණ සේවා නිලධාරියා කාර්ය මණ්ඩල ප්‍රධානියා විය යුතු වේ.

නෛතික පිළිගැනීමක් ලබා දෙන පනත්

1979 අංක 69 දරන ජාතික තරුණ සේවා පනතේ 5 (2) ඇ වගන්තියේ සඳහන් තරුණ සංවිධාන පිහිටුවීම සහ ලියාපදිංචි කිරීම යටතේ, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය තරුණ සංවිධානයක් ලෙස ස්ථාපනය කර තිබේ.

එමෙන් ම, 1979.05.30 දිනැති ගැසට් නිවේදනය මගින් සහ 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 31 (9) (අ) වගන්තිය යටතේ සම්මේලනය පිළිගත් පුණ්‍යායතනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි Sri Lanka Youth වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

1980 අංක 137 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනතේ 2 වන වගන්තිය යටතේ, සම්මේලනය ලියාපදිංචි අංක 11/4/1/515/85 යටතේ සමාජ සේවා සංවිධානයක් ලෙස ද ලියාපදිංචි කර තිබේ.

කාර්යයන්

තරුණ පරපුරේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම, ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම, කලා කුසලතා වැඩි දියුණු කිරීම, ජාතික හා ආගමික සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සමාජ ශුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ රටේ තරුණ ගැටලුවලට ඍජු මැදිහත් වීම වැනි කාර්යයන් යෞවන සමාජ හරහා සිදු වේ.

එමෙන් ම, තරුණ තරුණයින් සඳහා නායකත්ව පුහුණුව, දේශීය හා ජාත්‍යන්තර තරුණ හුවමාරු වැඩසටහන් සඳහා අවස්ථාව, යොවුන් පාර්ලිමේන්තුව, පෞරුෂ සංවර්ධනය, රැකියා පුහුණුව සඳහා මග පෙන්වීම NYSCO තරුණ සමුපකාර සමිති හරහා රැකියා අවස්ථා ලබා දීම ද ඒ හරහා සිදු වේ.

අරමුණු

සදාචාරාත්මකව පරිපූර්ණ වූ, පූර්ණ පෞරුෂයකින් හෙබි, මානව සංවර්ධනය සඳහා කැප වූ, දේශප්‍රේමී තරුණ පරපුරක් නිර්මාණය කිරීමට පියවර ගැනීම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ මූලික අරමුණු අතර වේ.

තව ද ජාතිකත්වය, කුල, ආගම් සහ දේශපාලන බෙදීම් වැනි සියලු වෙනස්කම්වලින් තොරව එක ම සංවිධානයක් යටතේ තරුණ තරුණයින් එක්රැස් කිරීමෙන් ඔවුන් තුළ සමගිය, මිත්‍රත්වය සහ සහයෝගීතාවය ගොඩනැගීම ද තවත් අරමුණකි.

තරුණයින්ට ඔවුන්ගේ සහජ කුසලතා සහ හැකියාවන් ඉදිරිපත් කිරීමට අවස්ථා නිර්මාණය කිරීම, ජාතික සංවර්ධනයට අදාළ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අවශ්‍යතා පිළිබඳ දැනුම තරුණ තරුණියන්ට ලබා දීම සහ විද්‍යාත්මක චින්තනය සඳහා ඔවුන් පෙළඹවීම, කලා, විනෝදාත්මක, ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු සහ සංරක්ෂණ කටයුතු සංවර්ධනය සඳහා තරුණයින් පෙළඹ වීම ද එම අරමුණු අතර වන බව Sri Lanka Youth වෙබ් අඩවියේ සඳහන් වේ.

'අපි අද යම් කිසි තැනක ඉන්නවා නම් ඒ යෞවන සමාජ ව්‍යාපාරය නිසා'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා යෞවන සමාජ තුළ ක්‍රියාකාරීව කටයුතු කළ බදුල්ල දිස්ත්‍රික් හිටපු ජාතික මණ්ඩල නියෝජිත නුවන් ධනුෂ්ක බීබීසී සිංහල වෙත පැවසුවේ, අද ඔහු සිටින තත්ත්වයට පැමිණීමට එම සමාජය පිටිවහලක් වූ බව ය.

"මම බදුල්ල දිස්ත්‍රක්කයේ, හාලි-ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගොඩ කියන ග්‍රාම නිලධාරී වසමෙන් තමයි තරුණයෙක් විදිහට මම යෞවන සමාජයත් එක්ක එකතු වෙන්නේ," ඔහු පැවසීය.

එතැන් සිට පියවරෙන් පියවර එහි ඉහළ ම තලය වෙත සභාපති ආදී නිලතල දරමින් ජාතික මණ්ඩලයේත් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කිරීමේ තත්ත්වයට පැමිණි බව ඔහු සඳහන් කළේ ය.

"අපි එක පාරට තනතුරුවලට උඩින් පහත් වුණ තරුණයින් නෙවෙයි. එතනින් උඩ මට්ටම තමයි ජාතික මණ්ඩලය. මම ජාතික මණ්ඩලයේත් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළා.

"අපි අද යම් කිසි තැනක ඉන්නවා නම්, අපිට බය නැතුව කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ [ඒ නිසා]. අද මම ප්‍රධාන දේශපාලන පක්ෂයක ආසන සංවිධායකවරයෙක් විදිහට කටයුතු කරනවා," ඔහු තවදුරටත් පැවසීය.

රජය පවසන යෞවන සමාජ සම්මේලන ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් එහි පැරණි සාමාජිකයෙකු ලෙස ඔහු දරන මතය පිළිබඳව බීබීසී සිංහල ඔහුගෙන් විමසීමක් කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ, "අපිට ගැටලුව මේකේ අනන්‍යතාව වෙනස් කිරීම සහ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියාත්මක කිරීම. යෞවන සමාජ තුළ ප්‍රතිව්‍යුහගත කිරීමක් විය යුතුයි, දැනට ස්වේච්ඡාවෙන් වැඩ කරන තරුණ තරුණියන්ට අසාධාරණයක් නොවී. දැනට තියෙන ව්‍යවස්ථාව අනුව."

ග්‍රාමීය තරුණ තරුණයින්ට යෞවන සමාජ මගින් සිදුවන කාර්ය භාරය පිළිබඳව ද ඔහු එහිදී පැවසීය.

"ගම් මට්ටමේ ඉන්න දක්ෂ තරුණ තරුණියන්ට ඉදිරියට එන්න, රටේ තමන්ට සුදුසු තැන තෝරා ගන්න, අඩු ම තරමින් කොළඹ දකින්න, මොක ද මේ වගේ දුෂ්කර පැතිවල ඉන්න තරුණ තරුණියන්, තරුණ සේවා සභාවේ යෞවන සමාජ ව්‍යාපාරය තිබුණේ නැති නම් සමහර විට කොළඹ දකින්නේ නැති වෙන්න පුළුවන්.

"මහරගම තරුණ සේවා සභාව කියන්නේ මොකක් ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ තැන අපට හම්බවුණේ මේ තරුණ සේවා සභාව තුළ තියෙන යෞවන සමාජ ව්‍යාපාරය නිසා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.