කන්දකාඩු: දිගින් දිගට ම රැඳවියන් පලා යන්නේ පුනරුත්ථාපන ක්‍රමවේදය අසාර්ථක නිසා ද?

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථකව සිදුවනවා ද යන්න සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

ඒ, එවැනි පිරිස් පුනරුත්ථාපනය සඳහා "වැඩි වශයෙන්" යොමු කෙරෙන පොලොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ගෙවුණු වසර කිහිපයේදී වාර්තා වුණු සිදුවීම් හේතුවෙනි.

එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ, ඉකුත් ජනවාරි 12 වන දින ය. එදින ආහාර ගැටලුවක් මුල් කරගනිමින් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් හමුවේ එම මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් අතුරින් 20කට අධික සංඛ්‍යාවක් පලා ගොස් තිබිණි.

ඉකුත් වසරේ, එනම් 2023 වසරේ දෙසැම්බර් 12 වන දා ද එවැනි ම ආකාරයේ සිදුවීමක් වාර්තා වුණු අතර එහිදී මධ්‍යස්ථානයෙන් රැඳවියන් 100කට අධික ගණනක් පලා ගියහ.

2022 වසරේ ඇති වූ සිදුවීමකින් කන්දකාඩු කඳවුරේ රඳවා සිටි රැඳවියෙකු මියගොස් තිබුණු අතර ඒ සම්බන්ධයෙන් එහි සහය උපදේශකවරුන් ලෙස කටයුතු කළ ගුවන් හමුදා සැරයන්වරුන් දෙදෙනෙකු, යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු හා යුද්ධ හමුදා සැරයන්වරයෙකු රක්ෂිත බන්ධනාරගත කෙරිණි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, මෙවැනි ගැටලුකාරී තත්ත්ව වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව බව ය.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මධ්‍යස්ථාන මෙන් ම, පෞද්ගලික අංශය මගින් පවත්වාගෙන යන පෞද්ගලික මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ද පවතී.

කෙසේ වෙතත්, ඒ අතරින් කන්දකාඩු වැනි ඇතැම් මධ්‍යස්ථාන හමුදා පරිපාලනයක් යටතේ ක්‍රියාත්මක වීම පිළිබඳවත්, එය කොතෙක් දුරට සාර්ථක ද යන්න පිළිබඳවත්, කන්දකාඩු සිදුවීම් හා සැසඳීමේදී පුනරුත්ථාපන විෂය පිළිබඳ පුළුල් දැනුමක් ඇති පිරිස් සහ සමාජය ප්‍රශ්න කරති.

ඒ අනුව, බීබීසී සිංහල මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් කළේ ය.

දිගින් දිගට ම රැඳවියන් පලා යන්නේ පවතින ක්‍රමයේ ඇති අසාර්ථකත්වය නිසා ද?

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භයේ සිට ම ඒ තුළ හමුදාවේ මැදිහත්වීම ඉහළ ලෙස පැවති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය උපදේශක සුචින්තන දසුන් පවසයි. නමුත්, එහි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රමිතිගත ප්‍රතිකාරයක් නොලැබෙන්නේ යැයි ඔහු බීබීසී සිංහල හා පැවසීය.

සුචින්තන දසුන් මානසික සෞඛ්‍ය හා ඇබ්බැහිවීම් පිළිබඳ උපදේශකවරයෙකු මෙන් ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන සමග කටයුතු කරන Colombo Plan Drug Advisory Programහි මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වන, මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්ෂේත්‍රය තුළ වසර 10ක පළපුරුද්දක් ඇති මනෝවිද්‍යාව පිළිබඳව උපාධිධාරියෙකි.

"මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනෙකුට අවශ්‍ය කරන, අපි පිළිගන්න ප්‍රමිතිගත ප්‍රතිකාරය එතනින් ඇත්තට ම සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මත්ද්‍රව්‍ය ගැටලු කියලා උසාවිවලට ආවට පස්සේ, ඒ මිනිස්සුන්ව ඊළඟට පුනරුත්ථාපනයට දාන්න ඕනේ නේ. නිකම් සිරගත කළාට ඒ මනුස්සයාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ නැහැනේ," ඔහු පැවසීය.

සුචින්තන පෙන්වා දුන්නේ, හොඳින් දත්ත විශ්ලේෂණය කර බලන්නේ නම්, මේ අවස්ථාව වන විට ද වැඩිවශයෙන් සිරගත වන්නේ, මත්ද්‍රව්‍ය වැරදි හා සම්බන්ධ පුද්ගලයින් බව ය.

එලෙස විශාල ගණනක් පුනරුත්ථාපනය කිරීම සඳහා පහසුකම් සැලසීමට කන්දකාඩු වැනි මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

"එතන ඉන්න උපදේශකවරු පුහුණු වෙනවා. හැබැයි මේ මොහොතේ ඉල්ලුම වැඩියි. ප්‍රතිකාරයක් කියන එක එහෙම ගාල් කරලා කරන්න බැහැ. නමුත් ඒ වගේ පහසුකම් හැදෙන්නේ නැහැ, සල්ලි නැති නිසා හරි මොනවා හරි ප්‍රශ්නයක් නිසා. ගොඩක් වෙලාවට, ඒ අයට කරන්න පුළුවන් දෙයක් කරනවා. ඒ අය දවස ගාණේ වැඩසටහන් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, ඒකෙන් අපි කියන, ප්‍රතිකාරයට අවශ්‍ය කරන හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපහසුයි ඒ වගේ තත්ත්වයක් යටතේ."

ඉකුත් වසරේ දෙසැම්බර් මස මෙන් ම, මෙම වසරේ පලා ගිය කන්දකාඩු රැඳවියන් යළි බලධාරීන් භාරයට ගත් අවස්ථාවේ දර්ශන විවිධ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරිණි.

එම දර්ශනවල ඇතැම් රැඳවියන් තමන් මධ්‍යස්ථානය තුළදී අත්විඳි කටුක අත්දැකීම් පිළිබඳව ප්‍රකාශ කරන අයුරු සටහන් වී තිබිණි.

"හෑන්ඩ්කෆ් දාලා තියෙනවා සතියක් විතර ගස්වලට දාලා, පොඩි පොඩි ප්‍රශ්නවලට," එක් රැඳවියෙක් පැවසීය. පලා ගිය රැඳවියන් නැවත භාරයට ගැනීමට පොලිස් නිලධාරීන්ට මෙන් ම යුද්ධ හමුදා නිලධාරීන්ට ද දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

'හමුදාවේ මැදිහත්වීමෙන්' සිදුවන පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථක ද?

කන්දකාඩු කඳවුර වැනි මධ්‍යස්ථාන වෙත පුහුණුව ලත් මිලිටරි නොවන උපදේශකවරු බඳවා ගත්ත ද පරිපාලනය සහ ආරක්ෂාව සැපයීම වැනි කාරණාවලදී හමුදා මැදිහත්වීමක් සිදුවීම හේතුවෙන් එහි කටයුතු හමුදාමය ස්වරූපයකින් බැහැරව සිදු නොවන්නේ යැයි පැවසිය නොහැකි බව සුචින්තන සඳහන් කළේ ය.

"මම දන්නවා උපදේශකවරු ඉන්නවා. මේ මෑතකත් බඳවා ගත්තා. මිලිටරි නොවන. හැබැයි පරිපාලනය සහ ආරක්ෂාව කියන කාරණාව ඇතුළේ, පරිපාලනය මෙතනින් වෙනවා කියන්නේ ම, අපි දන්නවා ස්වරූපයක් යෙදෙනවා කියන එක."

ඔහු පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී එම ක්‍රියාවලිය සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිදු විය යුතු බව ය. එය ලොව පිළිගත් සම්මතය බව ඔහු පෙන්වා දුන්නේ ය.

"ඒක ආරක්ෂක අමාත්‍යංශය යටතට යන්න බැහැ. මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) සම්මතයන් තමයි, ආරක්ෂක අමාත්‍යංශය යටතට ගන්න බැහැ. ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙනකොට වෙන්නේ වෙන වෙන දේවල්. අරමුණ සාක්ෂාත් වෙන්නේ නැහැ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම කියන එක සෞඛ්‍ය සම්බන්ධ කාරණාවක්. ආරක්ෂක අමාත්‍යංශයට ඕක ගිය ගමන්, එයාලා දේවල් බලන විදිහ අපි දන්නවනේ වෙනස් කියලා. එතකොට මේක අපරාධයක්, දඬුවමක් ලැබෙන්න ඕනේ කියන තැනින් තමයි ගොඩක් වෙලාවට අල්ල ගන්නේ," සුචින්තන පැහැදිලි කළේ ය.

කෙසේ වෙතත්, එම අදහස පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගෙන් බීබීසී සිංහල කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, හමුදා නිලධාරීන් යොදාගෙන පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු නොවන බව ය.

"ආරක්ෂාවට තමයි වැඩි වශයෙන් හමුදාවේ අය ඉන්නේ. පුනරුත්ථාපානය කරන්නේ මානසික වෛද්‍යවරු, මනෝවිද්‍යාව පිළිබඳව ඉගෙන ගත්ත පුනරුත්ථාපනය සඳහා විශේෂ සුදුසුකම් තියෙන අය ලව්වා තමයි කරන්නේ ඒක. හමුදාව කරන්නේ ආරක්ෂාව සහ පරිපාලනය විතරයි."

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රතිචාරය

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලිය මෙන් සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක සිදු නොවන්නේ යැයි තමන් "වගකීමෙන්" ප්‍රකාශ කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසීය.

"මම ඉතාමත් වගකීමෙන් කියනවා මේ කරන ක්‍රියාවලිය ලංකාවේ කිසි ම තැනක මේ තරම් හොඳ, සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියක් කෙරෙන්නේ නැහැ. මේකෙන් අපි ඉතාමත් විනයගරුක, යහපත් පුරවැසියෝ බිහි කරන්න, සමාජයට වැඩදායී පුරවැසියෝ කරන්න, රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න හොඳ පුරවැසියෝ කරන්න පුළුවන් වැඩපිළිවෙළක් මෙතන කරන්නේ."

ඔහු පෙන්වා දුන්නේ, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා සිදුවන්නේ ජාතික අවශ්‍යතාවක් මෙන් ම සමාජ මෙහෙවරක් බව ය.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ප්‍රතිකාර ලබන්නේ, මත්ද්‍රව්‍යවලට දීර්ඝ කාලීනව ඇබ්බැහිව සිට පොලිස් අත්අඩංගුවට පත් වී පසුව අධිකරණ නියෝගයක් මත පුනරුත්ථාපනය සඳහා යොමු වුණු පුද්ගලයින් මිස ස්වේච්ඡාවෙන් ඒ සඳහා යොමු වූ පුද්ගලයින් නොවන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය.

"ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මංකොල්ලකෑම්, විවිධ සමාජ අපචාර ක්‍රියාවලින් 75%කට වඩා සම්බන්ධ වෙලා ඉන්නේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අය. ඒ කොටසක් තමයි මෙතනට ගෙනැල්ලා දාලා තියෙන්නේ. ඒ අය මෙතනට එන්නේ කැමැත්තෙන් නෙමෙයි. මේ අය ආපු දවසේ ඉඳලා මෙතනින් යන්න උත්සහ කරනවා.

මොක ද දීර්ඝ කාලීනව මත්ද්‍රව්‍ය ගත්ත කෙනෙකුට මෙතනට ආවම මත්ද්‍රව්‍ය නැති වුණා ම ඒ අය ලොකු පීඩනයක ඉන්නේ. ඒක පුද්ගලයාගේ වරදක් නෙමෙයි. පුද්ගලයාගේ ශරීරය අනුගත වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය එක්ක ජීවත් වෙන්න. මත්ද්‍රව්‍ය නැති වුණා ම ඒ අයට ඉන්න අමාරුයි. ඒක නිසා ඒ අය මත්ද්‍රව්‍ය හොයාගෙන එළියට පනින්න බලනවා."

ඔහු පෙන්වා දුන්නේ, වයස අවුරුදු 22ත් 36ත් අතර තරුණ පුද්ගලයින් මෙහි රඳවා සිටින බව ත් ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය "දැඩි සංයමයකින්" යුතුව සිදු කළ යුතු බව ත් ය. එමෙන් ම, එම ක්‍රියාවලිය හා සම්බන්ධ වී සිටින පිරිස් ඉතාමත් අභියෝගාත්මක, සංකීර්ණ සහ සංවේදී වැඩපිළිවෙළකට සම්බන්ධ වී සිටින බවත් ඔහු සඳහන් කළේ ය.

"විශේෂයෙන් ම මම කියන්න ඕනේ, යුද්ධ හමුදාව පරිපාලන කටයුතු කළාට, ආරක්ෂාව දුන්නට කිසි වෙලාවක ඒ අයට අඩත්තේට්ටම්, එක් එක් අවස්ථාවල සිද්ධ වෙලා තිබුණා අතීතයේ, දැන් ඒ වගේ කිසි දෙයක් වෙන්නේ නැහැ."

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කළේ, මෙම මධ්‍යස්ථානය "හිරගෙදර වගේ කූඩුවල දාලා, මාංචු දාලා" දඬුවම් කරන ස්ථානයක් නොවන බව ය.

උදෑසන අවදි වූ අවස්ථාවේදී සිට දවස අවසානය දක්වා විවිධ ක්‍රියාකාරකම් සඳහා එහි සිටින රැඳවියන් සම්බන්ධ කරන බව ඔහු පැවසීය.

"මේ දරුවෝ අසනීප දරුවෝ. කාගේ හරි ස්වාමි පුරුෂයෙක්. කාගේ හරි අයියා කෙනෙක්, මල්ලි කෙනෙක්. රටේ අනාගතය භාර ගන්න ඉන්න තරුණ ජවය මේ වැරදි මාර්ගයට ගිහිල්ලා ඉන්නේ. මේ මිනිස්සුන්ට ගහලා, බැනලා පුනරුත්ථාපනයක් කරන්න බෑ නේ."

මත්ද්‍රව්‍ය යළි භාවිත කිරීමේ උවමනාවෙන් මධ්‍යස්ථානවලින් පැන යන රැඳවියන්ගේ ප්‍රකාශ පමණක් පදනම් කරගෙන "අසත්‍ය චෝදනා" කිරීමෙන් පුනරුත්ථාපන ක්‍රියාවලිය අඩපණ වන බව ඔහු අවධාරණය කළේ ය.

"පැනලා යන අයගෙන්, පැනලා යන්නේ මත්ද්‍රව්‍ය නැතිකමට ඉන්න බැරුව. ඒ මිනිස්සුන්ට කියන්න දාහක් දේවල් තියෙනවා. 500ක් ඉන්න තැනින් 200ක් පැනලා ගියාට 300ක් හැමවෙලේ ම ඇතුළේ ඉන්නවා. පොඩි කොටසක් තමයි එළියට පනින්නේ. ගොඩක් වෙලාවට මාධ්‍ය හරහා ප්‍රචාරය දෙන්නේ ඒ අය කියන දේවල්වලට."

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අමතරව යුද්ධ හමුදා පරිපාලනය යටතේ ක්‍රියාත්මක තවත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන් එකක් පොලොන්නරු දිස්ත්‍රික්කයේ ම සේනපුර ප්‍රදේශයේ සහ වවුනියාව, පූන්ටෝට්ටම් ප්‍රදේශයේ පිහිටා තිබේ.

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) මොක ද කියන්නේ?

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව සකසා, 2020 වසරේ මාර්තු 31 වන දා ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 'International Standards for the Treatment of Drug Use Disordersහි' මෙසේ සඳහන් වෙයි.

"ඇතැම් රටවල මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන ආබාධ තවමත් මූලික වශයෙන් මහජන ආරක්ෂාව සහ අපරාධ සම්බන්ධ ගැටලුවක් ලෙස සලකනු ලැබේ.

අභ්‍යන්තර කටයුතු, අධිකරණ හෝ ආරක්ෂක අමාත්‍යංශවල අදාළ ආයතන මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන ආබාධ සඳහා සේවා සැපයීම හසුරුවන අතර, ඒවා බොහෝ විට සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් මහජන සෞඛ්‍ය ආයතනවල අධීක්‍ෂණය හෝ මැදිහත්වීමකින් තොරව සිදු වේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග සහ එවැනි ක්‍රම පමණක් භාවිත කිරීම මත්ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන ආබාධ සඳහා ඵලදායී පිළිතුරක් හෝ මහජන මුදල් වියදම් කිරීමේ ලාභදායී ක්‍රමයක් නොවේ.

මත්ද්‍රව්‍ය මත යැපීම බහුවිධ සෞඛ්‍ය ආබාධයක් ලෙස, වෛද්‍ය සහ මනෝ සමාජයීය ප්‍රවේශ භාවිතයෙන් ප්‍රතිකාර කළ හැකි බව පිළිගන්නා, ජෛව මනෝ සමාජයීය ප්‍රතිකාර ක්‍රමෝපායන් මත්ද්‍රව්‍ය ආශ්‍රිත හානි අඩු කිරීමට උපකාර වේ."

පුනරුත්ථාපන ක්‍රියාවලියේදී අවධානය යොමු කළ යුතු පැති

මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර පුහුණුකරුවෙකු වන සුචින්තන දසුන් පෙන්වා දුන්නේ, ඇබ්බැහි වීමක් යනු, දිගු කලක් පවතින, නැවත නැවතත් ඇතිවන මොළය සම්බන්ධ රෝගී තත්ත්වයක් බව ය.

"ඇබ්බැහි වීමක ස්වභාවය, කෙනෙක් හොඳ ම ප්‍රතිකාර අරගෙන ගියත් යම් කිසි කාලයක් යනකොට ආයෙත් මතුවෙන එක. දියවැඩියාව වගේ ම, නිට්ටාවට සුව කරන්න බැහැ. හැබැයි කළමනාකරණය කරලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේ ම තමයි ඇබ්බැහි වීමකුත්."

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ප්‍රතිමිතිගත ප්‍රතිකාරයක් නොලැබීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ අයෙකු පවා නැවත පෙර පැවති තත්ත්වයට පත් විය හැකි බව ඔහු පැවසීය.

සුචින්තන සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීමකින් මිදීමට මූලික අවස්ථාවේදී ඖෂධමය ප්‍රතිකාර අවශ්‍ය බව ය.

"හැබැයි එතනින් එහාට එළියට ගියාට පස්සේ ඒ කෙනාට මේකෙන් මිදෙන්න මනෝවිද්‍යාත්මක සහය අවශ්‍යයි. ඖෂධමය ප්‍රතිකාර අපිට මූලික අවස්ථාවේදී අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මනෝවිද්‍යාත්මක මැදිහත් වීම. ඒ කියන්නේ උපදේශනය, තෙරපි වගේ දේවල්."

ඉන් පසුව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ, 'පවුල' නමැති සංරචකය කෙරෙහි බව ඔහු සඳහන් කළේ ය.

"මේකෙන් අපිට ගැලවෙන්න බැහැ පවුලේ සහයෝගය නැත්නම්. අම්මා තාත්තා හරි බිරිඳ විතරක් ම නෙමෙයි. එයා ආශ්‍රය කරන ඕනෙ ම කෙනෙක් වෙන්න පුළුවන්. එයා පවුල කියලා සලකන යාළුවෝ වෙන්න පුළුවන්. ඕනෙ ම කෙනෙක්. සමීපතමයෙක් කියන්නේ. ඒ සහයෝගය නැත්නම් මේකෙන් ගැලවෙනවා කියන එක කොහොමත් ම අමාරුයි.

උදාහරණයක් විදිහට ලෝකේ තියෙන හොඳ ම ප්‍රතිකාරය අරගෙන ගිහින් ආපහු යන්නේ තමන්ගේ කල්ලියට නම්, එයාට ලොකු පීඩනයක් එනවා ආපහු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න. එතකොට එක නතර කර ගන්න එයාට අර කිව්ව පවුලේ සහයෝගය සෑහෙන්න ඕනේ," සුචින්තන අවධාරණය කළේ ය.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් සඳහා පහසුකම් සැලසීමට තරම් ප්‍රමාණවත් පහසුකම් නොමැති බව ය.

දැනට ශ්‍රී ලංකාව තුළ ඇති පුනරුත්ථාපන ක්‍රියාවලිය "ආරක්ෂිතව" සිදුවන්නේ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ක්‍රියාත්මක මධ්‍යස්ථාන තුළ බව තම විශ්වාසය යැයි ඔහු සඳහන් කළේ ය.

එම මධ්‍යස්ථාන තුළ පුද්ගලයින්ට ආරක්ෂාව සැලසීම මෙන් ම, මානුෂීය ලෙස සලකන බව සුචින්තන පැවසීය.

එසේ වුව ද, ලබා දෙන ප්‍රතිකාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩිදියුණු විය යුතු පැති ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, මත්ද්‍රව්‍ය නිවාරණය සහ ප්‍රතිකාරය සම්බන්ධයෙන් මෙරට ඇති කේන්ද්‍රස්ථානය එම ආයතනය බව ය.

පෞද්ගලික අංශය මගින් පවත්වාගෙන යන පෞද්ගලික මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය සහ ඒවා අධීක්ෂණය සම්බන්ධයෙන් ගැටලු පවතින බව සුචින්තන වැඩිදුරටත් පැවසීය.

'ලොකු ප්‍රතිසංස්කරණ ටිකක් හෙට අනිද්දා කරනවා'

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ බීබීසී සිංහල හා පැවසුවේ, නුදුරේදී ම මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළ "විශාල" ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කරන බව ය.

"ලොකු ප්‍රතිසංස්කරණ ටිකක් හෙට අනිද්දා අපි කරනවා," යැයි ඔහු සඳහන් කළේ ය.

මේ දක්වා ගැටලුකාරී තත්ත්ව වාර්තා වේ ඇත්තේ, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පමණක් බව ඔහු පැවසීය.

"ඔතනත් ඉතින් අහඹුවක් මේ වෙලා තියෙන්නේ. මූලික වශයෙන්. අර යුක්තිය මෙහෙයුමෙන් ගෙනිහිල්ලා විශාල තොගයක් දාලා තියෙනවා. ඒ මිනිස්සු ටිකක් ප්‍රචණ්ඩකාරී අය. ඒගොල්ලෝ පුහුණු කරන්න වෙලාවක් වුණේ නැහැ. ආපු ගමන් ඒ මිනිස්සු. මේ කලබලේ ඇති කරලා තියෙන්නේ දෙගොල්ලො අතරේ රණ්ඩුවකින්."

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්. යාපාගේ සභාපතිත්වයෙන් යුක්ත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව ඔහු පැවසීය.

අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් සහ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක යන නිලධාරීන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

කන්දකාඩු මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර තිබිණි.