තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක්: ඊශ්‍රායල් ජාතිකයින්ගේ මෙරට චාබාඩ් මධ්‍යස්ථානවලට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව

    • Author, බීබීසී සිංහල

තර්ජනයක් පිළිබඳ ලද බුද්ධි තොරතුරක් හේතුවෙන්, ඊශ්‍රායල් ජාතිකයින් සිය ආගමික කටයුතු සඳහා භාවිත කරන ශ්‍රී ලංකාවේ ඇති චබාඩ් මධ්‍යස්ථාන සඳහා පැය 24 ම ආවරණය වන පරිදි ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පැවසුවේ, පොලිස්වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර ඇති චබාඩ් මධ්‍යස්ථානවලට පවතින තර්ජනයන්ට සාපේක්ෂව අදාළ පොලිස් ස්ථාන මගින් එලෙස ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන ඇති බව ය.

මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයෝ තම ආගමික කටයුතු, විවේකී කටයුතු මෙන්ම ආහාර පාන ලබා ගැනීම සඳහා මෙම මධ්‍යස්ථාන භාවිත කරන බව පොලිසිය පවසයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසුවේ, "ඒ ස්ථානවලට තර්ජනයක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබිච්ච නිසා ශ්‍රී ලංකා පොලිසිය ඒ අවශ්‍ය ආරක්ෂාව සලසා දී තිබෙන" බවයි.

බුද්ධි තොරතුරු ආශ්‍රයෙන් ලැබුණු සංවේදී තොරතුරක් නිසා මෙම තර්ජනය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිකළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

තවද දිවයිනේ රැඳී සිටින කවර හෝ විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් තක්සේරු කර අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පොලිසිය කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

විදේශීය ජාතිකයින්ට මෙරට තුළ ආගමික ස්ථාන පවත්වාගෙන යෑමට අවසර තිබේද?

ආගමික ස්ථානයක් ලෙස චබාඩ් මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට රජයෙන් නිසි අවසරයක් ලබා ගෙන තිබේ ද යන්න පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආගමික) එච්.එන්. කුමාරිගෙන් බීබීසී සිංහල සේවය මීට පෙර පසුගිය වසරේදී කළ විමසීමකදී ඇය පැවසුවේ ක්‍රිස්තියානි නොවන ආගමික ස්ථාන ලියාපදිංචි කිරීම සඳහා මේ වන විට ඉල්ලුම් පත්‍රයක් සකස් කර ඇති බවයි.

"යුදෙව් පැත්තට වෙන්න කිසිම ආයතනයක්, ලියාපදිංචියක් අපි කරලා නැහැ මේ වෙනකම්. ක්‍රිස්තියානි කටයුතු ආගමික අංශයෙන් තමයි ගොඩක් ක්‍රිස්තියානි පැත්ත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ක්‍රිස්තියානි ආගමටත් කෙලින්ම සම්බන්ධ නැති ඒවා ලියාපදිංචි කරන්න දැන් තමයි අපි කටයුතු කරමින් යන්නේ. නමුත් තවම ඒ ගැන කටයුතු කරලා නැහැ.''

''වෙනත් රටවල් වලින් ඇවිල්ලා එක එක යාච්ඤා මධ්‍යස්ථාන වගේ ඒවා පටන් ගන්නවා. ඒවා ලියාපදිංචි කරන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න පුළුවන් නිසා අපි ලියාපදිංචි කරන්න ඉල්ලුම් පත්‍රයක් හදලා තියෙන්නේ.''

''සමහර වෙලාවට වීසා ලබාදීම් සිදුකරනවා. කාලයක් තිස්සේ යන එන අයව බලලා තමයි විසා ලබාදීම් පවා කරන්නේ ගොඩක් කරුණු හොයලා බලලා. ක්‍රිස්තියානි කටයුතු අංශයෙන් ලබාදෙන නිර්දේශ හොයලා බලලා තමයි අපි ඒ කටයුතු කරන්නේ." ඇය පැවසුවාය.

මේ අතර, බීබීසී සිංහල අද (ජුනි 11 වැනිදා) කළ විමසීමකදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආගමික) එච්.එන්. කුමාරි පැවසුවේ, දැනට මෙවැනි ස්ථාන දෙකක් ඇල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට වාර්තා වී ඇති බවයි.

එම මධ්‍යස්ථාන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර පවත්වාගෙන යන ඒවා බව ද ඇය කියා සිටියාය.

"අනිත් ඒවගේ එහෙම ලියාපදිංචියක් ගැන දැන ගන්න නැහැ" ඇය කියා සිටියාය.

"ලියාපදිංචිය අනිවාර්ය නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනම කෙනෙකුට ඕනම ආගමක් අදහන්න අයිතිය තියෙනවා. රෙජිස්ටර් කරන්න කියලා කොහෙවත් නැහැ."

ශ්‍රී ලංකාව තුළ විදේශීය ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පනතක් නොමැති බව ද ඇය කියා සිටියාය.

"අපි ඔය ආයතන ගැන දන්නෙත් නැහැ. ජීවිත ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ඉල්ලලා තියෙනවද කියලා අපි දන්නෙත් නැහැ." බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.