ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැලිමඩ ධම්මදින්නා භික්ෂුණිය: 'දැන් මට අවු. 15ක් තිස්සේ දැකපු දඹදිව යන හීනය සැබෑ කර ගන්න පුළුවන්'
- Author, බීබීසී සිංහල
රට තුළ තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් ඇති වැදගත් ම ලියවිල්ල වන ජාතික හැඳුනුම්පතක් නොමැති වීම හේතුවෙන් ඇයට සිය අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පෙළ විභාගයෙන් අවසන් කිරීමට සිදු විය.
ඇය ප්‍රකාශ කළේ, ජාතික හැඳුනුම්පත නොමැති වීම නිසා අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාව තමන්ට අහිමි වූ බව ය.
ඇය නමින් වැලිමඩ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ ය.
රන්ගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක වන වැලිමඩ ධම්මදින්නා නම් භික්ෂුණිය 2013 වසරේ මැයි මස 31 වන දා "භික්‍ෂුණී පදනම" යටතේ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළ ද එම අයැදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කර තිබිණි.
තමන්ට 'භික්ෂුණී පදනම' යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා ය.
ඇය ඉන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුණී සාසනයට සුවිශේෂී වැදගත් මෙහෙයක් ඉටු කළා ය.
මෙම පෙත්සමේ ප්‍රධාන පෙත්සම්කරු ලෙස ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වීම පිළිබඳව ධම්මදින්නා භික්ෂුණිය සඳහන් කළේ, "මම උපසම්පදාවට ගිහිල්ල ඉන්න වෙලාවක නායක හාමුදුරුවො (රන්ගිරි දඹුල්ල සංඝ සභාවේ මහ නායක පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමි) අපේ භික්ෂුණී වහන්සේගෙන් අහල තිබුණා, නඩුවට ඉදිරිපත් වෙන්න පුළුවන් ද? කියලා," බව ය.
"නායක හාමුදුරුවන්ට තිබුණ ගරුත්වය නිසාත්, තමන් ඇතුළු භික්ෂුණීන් අත්විඳි අපහසුතා නිසාත්" එම කර්තව්‍යයට දායක වූ බව ඇය ප්‍රකාශ කළා ය.
මේ ඇය බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයක සටහනකි.
'උසස් පෙළ කර ගන්නත් බැරි වුණා'
වැලිමඩ ධම්මදින්නා භික්ෂුණිය බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ජාතික හැඳුනුම්පතක් නොමැති වීම නිසා තමන් විවිධ අපහසුතාවන්ට මුහුණ පෑ බව ය.
එමෙන් ම, ඒ හේතුවෙන් තමන්ට අවස්ථා රැසක් අහිමි වූ බව ද ඇය පැවසුවා ය.
"ඇත්තට ම ලොකු අපහසුතා ගොඩකට මුහුණ පෑවා. මට උසස් පෙළත් කර ගන්න බැරි වුණා. බොහොම අමාරුවෙන් තැපැල් හැඳුනුම්පත හදාගෙන තමයි, අධ්‍යාපන කටයුතු කර ගත්තෙ. මම බොහොම අපහසුතාවන්ට පත්වුණා. අඩු ගාණෙ සිල් මාතා කියලවත් හැඳුනුම්පත හදාගන්න බැරි වුණා."
'රටේ මෙහෙණින් වහන්සේලා ගොඩක් අසරණ වුණා'
ජාතික හැඳුනුම්පතක් නොමැති වීම හේතුවෙන් 'රටට සේවයක් කිරීමට සිටි භික්ෂුණීන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වූ බව ධම්මදින්නා භික්ෂුණිය සඳහන් කළා ය.
"ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව ගැන ගොඩක් සතුටු යි. ඔය හැඳුනුම්පත නැති නිසා මමත් ඇතුළු මේ රටේ භික්ෂුණීන් වහන්සේලා ගොඩක් අසරණ වුණා. ජාතික හැඳුනුම්පත නැති නිසා ගොඩක් භික්ෂුණීන් වහන්සේලා උසස් පෙළ විභාගය කර ගන්න බැරුව එතනින් අධ්‍යාපනය නතර කළා. ඒ නිසා මේ රට වෙනුවෙන් ලොකු සේවයක් කරන්න තිබුණ භික්ෂුණීන් වහන්සේලාට ඉදිරියට යන්න බැරි වුණා," ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අහිමි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එම අයිතිය දිනා ගැනීමට මුල් වූ වැලිමඩ ධම්මදින්නා භික්ෂුණිය බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
අවුරුදු 15ක් තිස්සේ සැබෑ කර ගැනීමට නොහැකි වූ සිහිනය
වැලිමඩ ධම්මදින්නා භික්ෂුණිය පැවසූ පරිදි ඇයට අවුරුදු 15ක් පමණ කාලයක් තිස්සේ සැබෑ කර ගැනීමට නොහැකි වූ සිහිනයක් තිබේ.
ඒ, බුදුන් උපන්, බුදුවූ, පිරිනිවන් පෑ දඹදිව දැක බලා ගැනීම ය.
එහෙත්, ජාතික හැඳුනුම්පතක් නොමැති ඇයට විදෙස් ගමන් බලපත්‍රයක් සකසා ගැනීමට නොහැකි ය.
"අපේ ළඟ ම තැන. බුදුන් වහන්සේ අවසානයට දේශනා කරල තියෙන තැන. අඩු ම ගාණෙ උන් වහන්සේ ඉපදිච්ච, බුදු වෙච්ච, පිරිනිවන් පෑව, පළවෙනි ධර්ම දේශනාව දේශනා කරපු තැන දැක ගන්න, වන්දනා කර ගන්න තියෙනව නම් ඒක ලොකු භාග්‍යයක්. දැන් අවුරුදු දහයක්, පහළොවක් විතර කාලයක් තිස්සෙ තිබුණ හීනයක්, දඹදිව වන්දනා කරන එක."
"ඒ විතරක් නෙවෙයි, ගොඩක් විදේශ ගමන්වලට අවස්ථාව ලැබුණත් ඒවට වැඩම කරන්න බැරි වුණා. මොක ද, පාස්පෝට් නැති නිසා. හැඳුනුම්පතක් නැතුව පාස්පෝට් එකක් හදන්න බෑ නෙ."
'ශ්‍රී ලංකාවේ භික්ෂුණියන්ට පිළිගැනීමක් තිබුණෙ නැහැ'
ධම්මදින්නා භික්ෂුණිය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේලාට නිසි පිළිගැනීමක් හෝ ගෞරවයක් හිමි නොවන බව ය.
වෙනත් රටවල භික්ෂුණීන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කිරීමේදී ඔවුන්ට 'හොඳ පිළිගැනීමක් ලැබෙන' බව ඇය පැවසුවා ය.
ඇය විශ්වාසය පළ කළේ, භික්ෂුණීන්ට 'භික්ෂුභාවය' යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමග ශ්‍රී ලංකාවේ භික්ෂුණීන්ට ද පිළිගැනීමක් හිමි වනු ඇති බව ය.
'දැන් මගේ කාලය ඉවරයි'
තමන් ඉදිරිපත් වී භික්ෂුණී සාසනය වෙනුවෙන් යමක් කිරීමට ලැබීම පිළිබඳව 'අසීමිතව සතුටට පත්වන' බව වැලිමඩ ධම්මදින්නා භික්ෂුණිය ප්‍රකාශ කළා ය.
මෙම ජයග්‍රහණය ඉදිරි පරම්පරාවේ භික්ෂුණියන්ට විශාල සහනයක් වනු ඇතැයි ද ඇය පෙන්වා දුන්නා ය.
"ඇත්තට ම අපේ අනන්‍යතාවයට ඒ වගේ දෙයක් ලැබෙන එක ගැන මට ලොකු සතුටක් දැනෙනව. අපේ කාල සීමාව නම් දැන් ඉවර යි. ඒ වුණත් ඊළඟට අධ්‍යාපනය ලබන තරුණ පිරිසට භික්ෂුණිය කියන නමින් ම කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනව නෙ. ඒක ලොකු සතුටක්. මට කියාගන්න බැරි තරම් සතුටක් ඒක."
දස සිල් මාතාව සහ භික්ෂුණිය අතර වෙනස
ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දුන් තීන්දුවට පෙර ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ සඳහා හැඳුනුම්පත් නිකුත් කෙරුණේ, 'සිල් මාතා පදනම' යටතේ ය.
එය භික්ෂුණීන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.
ඊට හේතුව පැහැදිලි කළ වැලිමඩ ධම්මදින්නා භික්ෂුණිය...
"සිල් මාතාවක් ගත්තොත් ඒ අය අනගාරික ජීවිතයක් ගත කරනව. නමුත් දස සිල් තමයි සමාදන් වෙන්නෙ. එතකොට භික්ෂුණියක් කියල කියන්නෙ එතනින් හාත්පසින් ම වෙනස් කෙනෙක්. උපසම්පදා ශීලයන් රැකගෙන සාමණේර ශීලයන් ආරක්ෂා කරල එතනින් උසස් තැනකට ඇවිල්ල උන් වහන්සේ උපසම්පදා ශීලය ආරක්ෂා කරනවා. මේ දෙන්නා අතරේ ලොකු වෙනසක් තියෙනවා."