ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලාංකික සිනමාව ජාවාරම්කරුවන්ට යටවෙලා ද? නව සිනමාකරුවන් හයදෙනෙකුගේ නිර්මාණ 6ක්
මේ ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳ විවිධ අදහස් හා මතවාද ඉදිරිපත් වන කාලයකි.
කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දැවැන්ත අර්බුදයකට මැදි වී තිබූ ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් සුබවාදී පුවත් කිහිපයක් පසුගිය කාලයේ අසන්නට ලැබිණි.
එමෙන් ම, ඓතිහාසික සිද්ධි අළලා නිර්මාණය කෙරුණු චිත්‍රපට ආදායම් වාර්තා තබමින් අතිශය සාර්ථකව තිරගත වන බවට තොරතුරු ලැබෙමින් පවතියි.
ඒ අතර විදේශීය චිත්‍රපට නැරඹීම සඳහා සිනමාහල් වෙත ඇදී එන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව ද ඉහළගොස් තිබේ.
නමුත් මේ වන විට, "කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ජාවාරම්කරුවන් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙමින් සිටින" බවට ද චෝදනා නැගෙමින් තිබේ.
මේ සියල්ල මධ්‍යයේ සිනමා කර්මාන්තයේ ප්‍රගමනයක් ගැන සිහින දකින සිනමාකරුවෝ පිරිසක් විවිධ දුෂ්කරතා මැද සිනමා නිර්මාණකරණයේ නියැළෙමින් සිටිති.
එවැනි සිනමාකරුවන් කිහිප දෙනෙකුගේ නිර්මාණ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තිරගත කෙරෙන සිනමා උළෙලක් සැප්තැම්බර් දෙක, තුන දෙදින පැවැත්වීමට නියමිත ය.
ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රාගාරයේ දී තිරගත කෙරෙන මෙය චිත්‍රපට හයකින් සමන්විත වේ.
මේ, එම සිනමා නිර්මාණ සම්බන්ධයෙන් ඒවායෙහි නිර්මාණකරුවන් සමග බීබීසී සිංහල සේවය කළ සාකච්ඡා තුළින් සකස් කෙරෙන ලිපියකි.
නව චිත්‍රපට නිර්මාණය කිරීමේ දී සිනමාකරුවන් මුහුණ දෙන අභියෝග, මුදල් විශුද්ධිකරණය සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලදී.
1. මාරියා - අරුණ ජයවර්ධන
චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද 'මාරියා' චිත්‍රපටය සැප්තැම්බර් දෙවන දා පෙරවරු 10.30ට තිරගත කිරීමට නියමිත ය.
"මාරියා චිත්‍රපටයේ කතා තේමාව මට හම්බවුණේ අවුරුදු හතරකට කලින්. ඉන්දුනීසියාවේ ධීවරයින් පිරිසකට මාළු අල්ලමින් ඉන්න අවස්ථාවක සෙක්ස් ඩෝල් කෙනෙක් හම්බවුණා. ඒක ජාත්‍යන්තර වගේ ම ලංකාවේත් ලොකු අවධානයක් යොමුවුණ ප්‍රවෘත්තියක් වුණා. ඒක ඇතුළෙ කෙතරම් දේවල් අපට කතා කරන්න පුළුවන් ද කියන එක තමයි මේ චිත්‍රපටයෙන් උත්සහ කළේ. බාහිරින් එන සියල්ල අපේ කරගන්න යාමෙන්, අපේ මානුෂික සම්බන්ධතාවලට සහ සංස්කෘතික වටිනාකම්වලට මොකද වෙන්නේ කියන එක ගැන තමයි මේ චිත්‍රපටයෙන් පැහැදිලි කරන්න හිතුවේ," අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන පැවසීය.
මෙම චිත්‍රපටය මෙතෙක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ චිත්‍රපටවලට වඩා නව හැඩයකින් යුත් චිත්‍රපටයක් බවත්, එය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වනු ඇති බවත් අරුණ ජයවර්ධන විශ්වාස කරයි.
"මේ සිනමා කර්මාන්තය බිඳ වැටිලා, ආර්ථිකය කඩා වැටිලා කිය කිය ඉන්න හැමදාම අපට බැහැ. ඒ නිසා යම් ඉදිරි පියවරක් තියන්න නිර්මාණකරුවන් උත්සහ කරනවා. ඒ උත්සහයට රජයෙනුත් සහයක් අවශ්‍ය යි."
මේ අතර, වත්මන් ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා නිර්මාණ බිහි කිරීම අභයෝගයක් වී ඇතැ යි ද ඔහු පැවසීය.
"වත්මන් ප්‍රේක්ෂකයෝ සමහර වෙලාවට නිර්මාණකරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් ලෝකය පුරා හැදෙන විශිෂ්ට සිනමා කෘති නරඹනවා. ඔවුන් අපේ නිර්මාණවලිනුත් ඒ විශිෂ්ටත්වය අපේක්ෂා කරනවා. ඒ නිසා අපි ඒ ගැනත් හිතලා නිර්මාණකරණයේ නියැළෙන්න වෙනවා."
"කළු සල්ලි සුදු කර ගන්න චිත්‍රපට කරනවා කියන මතයක් තියෙනවා. එතනදී මම දකින්නේ, ඒක නිර්මාණකරුගේ ප්‍රශ්නයක් හැටියට නෙවෙයි. නිර්මාණකරුවෙකු කරන්නේ තමන්ගේ නිර්මාණය වෙනුවෙන් වෙහෙසෙන එක. එතන දී කර්මාන්තයේ දියුණුවට මුදල් අවශ්‍ය වෙනවා. ඒ නිසා නිර්මාණකරුවාට ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක් නෑ."
2. සන් කරමි - ශ්‍යාම් ප්‍රනාන්දු
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු මෙන් ම හඬ නළුවෙකු ලෙස ද අනන්‍යතාවක් ගොඩ නගාගෙන සිටින ශ්‍යාම් ප්‍රනාන්දුගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන 'සන් කරමි' චිත්‍රපටය සැප්තැම්බර් දෙවැනි දා පස්වරු 2.30ට තිරගත වේ.
දරුවන් පාසලට ඇතුළත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා හේතුවෙන් දෙමාපියන් මුහුණ දෙන ගැටලු මුල්කර ගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
ඔහුගේ දරුවා පාසලට ඇතුළත් කිරීමට නොහැකිවීම මත අනාගතයේ දරුවන්ට වන අසාධාරණකම් නතර කිරීමේ අරමුණින් ඊට ප්‍රතිචාර දක්වන පියෙකුගේ කතාවක් මෙහි අන්තර්ගත වේ.
අමාත්‍යවරයාගේ දියණිය පැහැර ගැනීම හරහා මෙම පණිවුඩය දීමට ප්‍රධාන භූමිකාව මෙහෙයවා තිබේ.
"ඇත්තට ම ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයෝ ලෝක සිනමාව ගැන ලොකු අවබෝධයක් තියෙන පිරිසක්. ඔවුන්ට දැනෙන සිනමා කෘතියක් අවම වියදමකින් කරන එක සිනමාකරුවෙකු මුහුණදෙන ලොකු අභියෝගයක්. ඒත්, මලයාලම් සිනමාව ගත්තහම ලොකු පිරිවැයක් නැතුව විශිෂ්ට කතා පුවත් හරහා ලෝක සිනමාව ජයගත් සිනමා කර්මාන්තයක්. මම අනුගමනය කරන්න උත්සහ කරන්නේ ඒ ක්‍රමය. මෙතෙක් මගේ චිත්‍රපටය නරඹපු අයගෙන් ලැබුණු ප්‍රතිචාරවලින් මට දැනෙන්නේ මගේ උත්සහය යම් ප්‍රමාණයකින් සාර්ථක වෙලා තියෙන බව යි," ශ්‍යාම් ප්‍රනාන්දු පැවසීය.
සිනමා කර්මාන්තය හරහා මුදල් විශුද්ධිකරණය සිදුවනවාදැයි ඇසූකල ඔහු පැවසුවේ මෙවැන්නකි: "මට දැනිලා තියෙනවා යම් යම් අවස්ථාවල එවැනි තත්ත්වයක් තියෙනවා කියලා. මම පෞද්ගලිකවත් ඒක අත්දැක්කා. හැබැයි මගේ අදහස තමයි මුදල් විශුද්ධිකරණය සඳහා නිර්මාණකරුවෙකු සහය නොදැක්විය යුතු බව. ඒ නිසා මම මගේ නිර්මාණයට කළු සල්ලි නොවන පැහැදිලි ලෙස උපයාගත් මුදල් යෙදවිය හැකි මගේ මිතුරෙකු සම නිෂ්පාදක ලෙස සම්බන්ධකර ගත්තා. විශුද්ධිකරණය විතරක් නෙවෙයි, විවිධ ජාවාරම් කෙරෙනවා මේ ක්ෂේත්‍රයේ. උදාහරණයක් විදිහට අපෙන් යම් මුදලකට අපේ නිර්මාණය මිල දී අරන්, ඒක ඊට වඩා විශාල මුදලකට අලෙවි කරන ජාවාරමුත් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල අතරින් නිෂ්පාදකයෙක් හොයාගෙන සාර්ථක නිර්මාණයක් කරන එකත් ලොකු අභියෝගයක්."
3. රහස් කියන කඳු - ජගත් මනුවර්ණ
ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය සැප්තැම්බර් 2 වන දා පස්වරු 6.30ට තිරගත වේ.
වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස අනන්‍යතාවක් ගොඩනගාගත් ජගත් මනුවර්ණ මේ වන විට ජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරයෙකු බවට පත්ව සිටියි.
2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ අනෙක් ශ්‍රී ලාංකික සිනමාපටය වූයේ, ජගත් මනුවර්ණගේ 'රහස් කියන කඳු' චිත්‍රපටය යි.
එය Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ අතර, NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි.
ඒ අනුව, 'රහස් කියන කඳු' සිනමා පටය සඳහා NETPAC සම්මානය හිමිවිය.
"ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වුණ යම් යම් ඝාතන සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් මගේ හිතේ ඇතිවුණ කම්පනය තමයි මේ සිනමා පටයෙන් ප්‍රතිනිර්මාණය කළේ. ඒ කම්පනය සිනමාවට ගේන්න මං සෑහෙන කාලයක් කල්පනා කරමින් හිටියා. ඒ සිද්ධි සිනමාරූපීව ඉදිරිපත් කිරීමක් තමයි මම කළේ. මේක ප්‍රබන්ධිත කතාවක්," ජගත් මනුවර්ණ පැවසීය.
චිත්‍රපට නිෂ්පාදනය හරහා "කළු සල්ලි සුදු කරන" බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ වෙනස් අදහසකි.
"සල්ලි කළු ද සුදු ද කියලා හොයන්න නිර්මාණකරුවන්ට බැහැ. ඒක අපේ රාජකාරියක් නෙවෙයි. ඒකට තියෙනවා මුදල් විශුද්ධිකරණ පනතක්. ඒ හරහා ඔවුන්ට දඬුවම් දිය යුත්තේ රජය. අපට බැහැ ව්‍යාපාරිකයින්ගේ අක්මුල් හොයන්න. නිර්මාණකරුවා කරන්නේ තමන්ගේ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන එක. ඇඳක් ගන්න ගියා ම අපි හොයන්නෙ නෑනේ ඒක හදලා තියෙන තේක්ක ගහ හොරෙන් කපපු එකක් ද අවසරයක් ඇතිව කපපු එකක් ද කියලා."
4. පාස්පෝර්ට් - ක්‍රිස් ඇන්තනි
ක්‍රිස් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද 'පාස්පෝට්' චිත්‍රපටය සැප්තැම්බර් තෙවන දා පෙරවරු 10.30ට තිරගත කෙරේ.
ඉටුකර ගත නොහැකි බලාපොරොත්තු රැසක් මැද ජීවිතය ජයගැනීමට නොහැකි තරුණයින් දෙදෙනෙකු ජීවිත සාර්ථක කර ගැනීම සඳහා යුරෝපා රටකට සංක්‍රමණය වීමට දරන උත්සහයක් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කෙරේ.
කූට ඒජන්සිකරුවෙකු හරහා ව්‍යාජ ලේඛන සකස්කර යුරෝපයට සංක්‍රමණය වීමට උත්සහ දරනා ඔවුන් මුහුණ දෙන කටුක අත්දැකීම් අළලා මෙම චිත්‍රපටය සකස්කර තිබේ.
රූපවාහිනී දැන්වීම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක් සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති ක්‍රිස් ඇන්තනිගේ කුළුඳුල් සිනමා නිර්මාණය මෙය යි.
"මේ චිත්‍රපටයෙන් කියන්නේ, ලෝකේ කොහේ යන්න හිතුවත් උපන් රට තරම් වටින තැනක් නෑ කියන එකයි. ලංකාවේ ඉඳගෙන ම ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් කියන අදහසත් මේ හරහා දෙන්න උත්සහ කළා," ක්‍රිස් ඇන්තනි පැවසීය.
මුදල් විශුද්ධිකරණය සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස පැහැදිලි කළේ මෙසේ ය.
"මම මගේ නිර්මාණය හරහා වින්දනාත්මක විදිහට සමාජයට පණිවුඩයක් දෙන්නයි උත්සහ කරන්නේ. මේ චිත්‍රපටයෙන් මම කියන්නේ, ජාවාරම්කාරයින්ට අහු වෙන්නෙ නැතුව තරුණයෙක් සාර්ථක වෙන්නෙ කොහොම ද කියන එක. නිෂ්පාදකයා මුදල් උපයා ගත්තේ කොහොම ද කියලා හොයන එක අපට කරන්න අමාරු යි."
5. දූස්රා - චන්න දේශප්‍රිය
චන්න දේශප්‍රියගේ 'දූස්රා' චිත්‍රපටය සැප්තැම්බර් තෙවන දා පස්වරු 2.30ට තිරගත කෙරේ.
චන්න දේශප්‍රිය මීට පෙර 'යූ-ටර්න්' නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර 'දූස්රා' ඔහුගේ දෙවන චිත්‍රපටය යි.
"ඈත ගමක පෙම්වතුන් යුවළක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. ගමේ ක්‍රියාත්මක කරන විශාල සංවර්ධන ව්‍යාපෘති නිසා ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් අහිමි වෙනවා. එතකොට ඒගොල්ලො අයථා විදිහට සල්ලි හොයන්න පටන් ගන්නවා. පස්සේ ඒක ඔවුන්ට ම පාරා වළල්ලක් වෙලා ඔවුන් මුහුණදෙන ගැටලු ගැන මේකෙ අන්තර්ගත වෙනවා," චිත්‍රපටයේ කතා තේමාව පැහැදිලි කරමින් චන්න දේශප්‍රිය පැවසීය.
රටේ ආර්ථික කඩා වැටීමක් පැවතිය ද සිනමාව කෙරෙහි ප්‍රේක්ෂක අවධානය වර්ධනය වෙමින් පවතින බව ඔහුගේ අදහස යි.
කෙසේ වෙතත්, චන්න දේශප්‍රිය පවසන්නේ මුදල් විශුද්ධිකරණය කිරීමට සිනමාව යොදා ගැනීම හොඳ ප්‍රවණතාවක් බව යි.
"සිනමාව හරහා කළු සල්ලි සුදු කරන එක මේ ආසියානු කලාපයේ ම කෙරෙනවා. ඒ හරහා කළු සල්ලි සුදු වෙනවා නම්, හොඳ සිනමා නිර්මාණ බිහි වෙනවා නම් හොඳයි නේ. කළු සල්ලි සුදු කරන ඒවා හොයන්න රජයේ ආයතන තියෙනවා. අපි කරන්නේ අපේ වෘත්තිය."
6. මනල් - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්
ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' චිත්‍රපටය තිරගත කෙරෙනුයේ සැප්තැම්බර් තෙවන දා පස්වරු 6.30ට ය.
රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය 'මනල්' සිනමා පටයට හිමිවිය.
ආචාර්ය චන්ද්‍රසේකරම්ගේ 'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු ඔහුගේ අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි.
"පශ්චාත් යුද්ධ සමයේ, ඒ කියන්නේ 2009 වසරේ දී, අත්අඩංගුවට පත්වුණ තරුණයෙක් සිරගතව ඉඳලා අවුරුදු පහකට පස්සේ එළියට එනවා. ඒක තමයි මේ නිර්මාණයේ වස්තු බීජය. ඒ තරුණයා එයාගේ නැතිවුණ ආදරවන්තියව හොයනවා. යුද්ධයේ අන්තිම කාලේ කාණ්ඩයක් අත්අඩංගුවට පත්වුණා. කාණ්ඩයක් අතුරුදන් වුණා. තව කාණ්ඩයකට යන එන මං නැති වුණා. තවත් සමහරු අවුරුදු ගාණක් තිස්සේ සරණාගත කඳවුරුවල ඉන්නවා. එහෙම අතරමං වුණ අයව හොයන කාලයක තමයි මේ කතාව දිවෙන්නේ," මනල් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රසේකරම් පැවසීය.
ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් පවසන්නේ, මූල්‍යමය වශයෙන් සාර්ථක නොවන විශිෂ්ට සිනමා නිර්මාණ වෙනුවෙන් රජය යම් දායකත්වයක් දැක්විය යුතු බව ය.
ඓතිහාසික සිද්ධි පාදකකර ගනිමින් නිර්මාණය කෙරෙන චිත්‍රපට හරහා කර්මාන්තයට මුදල් ගලා ඒම ද කර්මාන්තයේ පැවැත්මට අවශ්‍ය බව ඔහුගේ අදහස යි.
මුදල් විශුද්ධිකරණය සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහු පළ කළේ මිශ්‍ර අදහසකි.
"ඒ ක්‍රියාවලිය හරි කියන්න බෑ. කළු සල්ලි සුදු කරන්න හිතාගෙන චිත්‍රපට නිෂ්පාදනය කරන්න දරන උත්සහයන් සාධාරණීකරණය කරන්න බැහැ. ඒත් ඔවුන් ගැන පියවර ගත යුත්තේ, රජය. හැබැයි පෞද්ගලිකව මම නම් මගේ නිර්මාණවලට එවැනි කූට ව්‍යාපාරිකයින් සම්බන්ධකර ගන්නෙ නෑ. මොක ද මම සිනමාකරුවෙක් විදිහට ජාවාරම්කරුවන්ට සහාය දෙන්න කැමති නෑ."