ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'දෑවැද්ද නිසා පිරිමි දුසිම් ගාණක් මාව ප්‍රතික්ෂේප කළා'
1961 වසරේ සිට ඉන්දියාව තුළ දෑවැදි ලබා දීම හෝ පිළිගැනීම නීතිවිරෝධී වන නමුත්, තවමත් මනාලයාගේ පවුල වෙත මුදල්, ඇඳුම් පැළඳුම් සහ ස්වර්ණාභරණ තෑගි කරනු ලැබෙතැ යි මනාලියගේ පවුලෙන් අපේක්ෂා කෙරෙයි.
කෙසේ වෙතත්, මධ්‍යම ඉන්දියාවේ පිහිටි භෝපාල් නගරයේ 27 හැවිරිදි ගුරුවරියක මෙම "සමාජ නපුරට" තිත තැබීම සඳහා, විවාහ උත්සව සිදුවන ස්ථානවලට නිලධාරීන් යොදවන ලෙසත්, වැටලීම් සිදුකරන ලෙසත් පොලිසියෙන් ඉල්ලමින් පෙත්සමක් ගොනු කර ඇත.
ගුන්ජන් තිවාරි (ඇගේ සැබෑ නම නොවේ) බීබීසීයට පවසන්නේ, දෑවැද්ද හේතුවෙන් දුසිම් ගණනක් පිරිමින් අතින් ප්‍රතික්ෂේපවීම්වලට ලක්වූ ඇගේ ම අත්දැකීම් මෙම පෙත්සම ගොනු කිරීම සඳහා පාදක වූ බව ය.
ඊට ආසන්නතම සිදුවීම වන්නේ, පෙබරවාරි මාසයේ දී ඇගේ පියා ඇයට ගැලපෙන සහකරුවෙකු සොයා ගැනීමේ අපේක්ෂාවෙන් තරුණයෙකුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ නිවසට ආරාධනා කළ අවස්ථාව යි.
දෙමාපියන් විසින් අමුත්තන් සුහදව පිළිගෙන ආචාර සමාචාර පැවැත්වීමෙන් පසු, ඔවුන්ට පිළිගැන්වීම සඳහා උණු උණු තේ සහ සහ කෑම සහිත බන්දේසියක් රැගත් ගුන්ජන් ආලින්දයට පැමිණියා ය.
ඇය එහෙම මොහොත විස්තර කළේ, "ධෛර්යය අහිමිවී ගිය" අවස්ථාවක් ලෙස ය.
"හැමෝම ඔයා දිහා කන්න වගෙ බලාගෙන ඉන්නේ, එයාලා ඔයාගෙ තරාතිරම මැනගන්නවා," ඇය දුරකතනයෙන් පැවසුවා ය.
ගුන්ජන් අමුත්තන් ඉදිරියේ පෙනී සිටින්නේ කවදා ද, කෙසේ ද යන්න සම්බන්ධයෙන් බොහෝ සූක්ෂම සැලසුම් සකස් කෙරිණි. තම දියණියට විශේෂ ආකර්ෂණයක් එක් කරනු ඇතැ යි සිතූ කොළ පැහැති ඇඳුමක් ඇගේ මව ඇය වෙනුවෙන් තෝරාගෙන තිබුණි. අපිළිවෙලට පිහිටා ඇති ඇගේ දත් කෙරෙහි අවධානය යොමුවනු ඇතැ යි සිතා, සිනාසීමෙන් වැළකී සිටින ලෙස ද ඇය ගුන්ජන්ට උපදෙස් දුන්නා ය.
වසර ගණනක් මුළුල්ලේ හය වතාවක් මෙයට මුහුණදුන් ගුන්ජන්ට එය හුරුපුරුදු ක්‍රියා සමුදායක් විය. ඇගේ අධ්‍යාපනය, රැකියාව ගැන සහ ඇයට ඉවුම්පිහුම් කළ හැකි ද වැනි, ඔවුන් ඇගෙන් අසන ප්‍රශ්න ද ඇයට හුරුපුරුදු ය.
ආලින්දයට පැමිණීමට පෙර, තම දෙමාපියන් අනාගත මනාලයාගේ පියාගෙන් දෑවැද්ද කොපමණ අවශ්‍යදැ යි අසනු ඇයට ඇසී තිබුණි. "එයාලට [ඉන්දියන්] රුපියල් මිලියන පහත් හයත් අතර ගාණක් (ලංකා මුදලින් රු. මිලියන 18.6ක් පමණ) ඕනයි කියලා අපට අහන්න ලැබිලා තිබුණෙ. මගේ තාත්තා එයාගෙන් ඒ ගැන ඇහුවට පස්සේ එයා විහිළුවෙන් වගෙ කිව්ව, 'ඔයාගේ දුව ලස්සනයි නම් අපි ඔයාට ඩිස්කවුන්ට් එකක් දෙන්නම්,' කියලා," ඇය පවසයි.
සංවාදය ඉදිරියට යත් ම, එම වට්ටම තමාට නොලැබෙන වග වැටහුණු බව ගුන්ජන් පවසයි. එපමණක් නොව, අපිළිවෙලට පිහිටා ඇති ඇගේ දත් පිළිබඳව මෙන් ම ඇගේ නළලේ ඇති ඉන්නෙකු පිළිබඳව ද අමුත්තන් ඇගෙන් විමසා තිබේ.
තේ පානයෙන් පසු, අනාගත මනාලයා සමග පෞද්ගලිකව කතා කිරීමට මිනිත්තු කිහිපයක් ලද අවස්ථාවේ දී, දෑවැද්දක් ලබා දී තමා විවාහ නොවන බව ගුන්ජන් ඔහුට පැවසුවා ය.
"ඒක 'සමාජ නපුරක්' කියලා ඔහු පිළිගත්තා," ඇය මා සමග පැවසූ අතර, එය තමාට මෙතෙක් හමුවූ අනෙක් අයට වඩා ඔහු වෙනස්යැ යි සිතීමට හේතු වූ කරුණක් බව ඇය පැවසුවා ය.
නමුත් ගුන්ජන් ප්‍රතික්ෂේප වී ඇති බව අවබෝධ කර ගැනීමට තිවාරි පවුලට වැඩි කලක් ගත නොවිණි.
"ඒකට හේතුව දෑවැද්දට විරුද්ධ මගේ ස්ථාවරය කියලා අම්මා මට දොස් කිව්වා. එයා මාත් එක්ක හරිම තරහෙන් හිටියෙ. සති දෙකකටත් වැඩි කාලයක් මාත් එක්ක කතා කළෙ ත් නෑ," ඇය පවසයි.
ගුන්ජන් පවසන්නේ, පසුගිය වසර හය තුළ ඇගේ පියා "සුදුසුකම් ඇති අවිවාහක තරුණයින් 100-150 අතර පිරිසකගේ පවුල්" සම්බන්ධ කර ගත් බව ත්, ඔවුන්ගෙන් 24කට වැඩි පිරිසක් හමු වූ බව ත් ය. ඔවුන් හය දෙනෙකු ඉදිරියේ ගුන්ජන් පෙනී සිට ඇත. ඒ සියල්ල ම පාහේ අසාර්ථක වූයේ දෑවැද්ද හේතුවෙන් බව ඇය පවසයි.
"මේ ප්‍රතික්ෂේප වීම නිසා මට මගේ ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන් ම නැති වෙලා," ගණිතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ඇති, මාර්ගගත පන්ති පවත්වන ගුරුවරියක වන ගුන්ජන් පවසයි.
"තාර්කිකව හිතලා බලද්දී, මම දන්නවා ප්‍රශ්නෙ තියෙන්නේ මගෙ නෙවෙයි, ප්‍රශ්නෙ තියෙන්නේ දෑවැද්ද ඉල්ලන මිනිස්සුන්ගේ කියලා. ඒත් මට නිතර ම හිතෙනවා මම මගේ අම්මලට බරක් වෙලා කියලා."
මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, දෑවැදි දීම සහ පිළිගැනීම යන දෙක ම වසර 60කට වැඩි කාලයක් පුරා නීති විරෝධී වුව ද, ඉන්දියානු විවාහවලින් 90%ක ම ඒවා දක්නට ලැබේ. 1950 සහ 1999 වසර අතර කාලයේ ඒ වෙනුවෙන් වැය කෙරුණු මුදල ඩොලර් ට්‍රිලියන කාලක් පමණ වෙයි.
ජාතික අපරාධ වාර්තා කාර්යාංශයට අනුව, 2017 සිට 2022 දක්වා ඉන්දියාවේ මනාලියන් 35,493 දෙනෙකු - දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 20 දෙනෙකු - ප්‍රමාණවත් දෑවැද්දක් ලබානොදීම නිසා ඝාතනයට ලක් වී ඇත.
ක්‍රියාකාරීන් පවසන්නේ, දෑවැද්ද යනු ඉන්දියාවේ අසමතුලිත ස්ත්‍රී පුරුෂ අනුපාතය පිටුපස ඇති එක් හේතුවක් බව ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තුගත කරන්නේ, දියණියන්ට දෑවැදි ලබාදීමට වැය වන මුදල ගැන කණස්සල්ලට පත්ව සිටින පවුල් විසින් ප්‍රසූතියට පෙර කළලයේ ලිංගය පරීක්ෂාකොට, සෑම වසරක ම ගැහැණු කළල 400,000කට ආසන්න සංඛ්‍යාවක් ගබ්සා කරනු ලබන බව ය.
ඊට ඇති එක ම විසඳුම මංගල උත්සව වටලා දෑවැද්ද දෙන හෝ ලබා ගන්නා අය අත්අඩංගුවට ගැනීම බව, භෝපාල්හි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වන හරිනාරායන් චාරි මිෂ්රා වෙත යොමු කළ ඇගේ පෙත්සමෙන් ගුන්ජන් පවසයි. "දඬුවමට ඇති බිය විසින් මෙම කුරිරු ක්‍රියාව නැවැත්වීමට" උපකාරී වනු ඇතැ යි ඇය තවදුරට ත් පවසයි. පසුගිය සතියේ ඇය මිෂ්රා මුණගැසුණේ ඇගේ සටන වෙනුවෙන් උදව් අපේක්ෂාවෙනි.
"දෑවැද්ද කියන්නේ සමාජ නපුරක්. අපි ඒක නැති කරලා දාන්නා කැප වෙලා ඉන්නේ. තමන් වෙත පැමිණෙන ඕනෑ ම කාන්තාවකට නිසි උපකාර ලබා දෙන්න කියලා මම සියලු ම පොලිස් ස්ථාන වෙත උපදෙස් දීල තියෙන්නේ," ප්‍රධාන පොලිස් පරීක්ෂක මිෂ්රා මට පැවසීය.
එහෙත්, "පොලිසියටත් සීමා තියෙනවා. පොලිසියට [එවැනි] හැම තැනකටම එන්න විදියක් නැහැ. [මිනිස්සුන්ගේ] ඔළු වෙනස් කරන්න නම් අපි මේ සම්බන්ධයෙන් දැනුවත්කිරීම් සිද්ධ කරන්න ඕන," ඔහු පැවසීය.
කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන කවිතා ශ්‍රීවාස්තව් පවසන්නේ, පොලිසියට අනිවාර්යයෙන් ම උපකාර කළ හැකි නමුදු දෑවැද්දට එරෙහිව කටයුතු කිරීම සංකීර්ණ ගැටලුවක් බව ය.
"ඉන්දියාව කියන්නේ පොලිස් රාජ්‍යයක් නෙවෙයි. නමුත් දෑවැද්ද තහනම් කිරීමේ පනතක් තියෙනවා නේ. අපට අවශ්‍ය වෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන එක."
ඇය පවසන පරිදි, දෑවැද්ද යනු බොහෝවිට එක් වරක් ගෙවා අවසන් කළ හැකි මුදලක් නොවේ. "ඒක ලේසි සල්ලියක්. ඉක්මණට පොහොසත් වෙන්න ක්‍රමයක්" නිසා මනාලයන්ගේ 'කෑදර' පවුල් විසින් විවාහයෙන් පසු ද නැවත නැවතත් වැඩි වැඩියෙන් මුදල් ඉල්ලා සිටිනබව ඇය කියයි.
නිරන්තර ඉල්ලීම් ඉටු නොකිරීම නිසා ජීවිත කාලය පුරාවට ම ගෘහස්ථ හිංසනයට මුහුණදෙන, වෛවාහක ගෘහයෙන් පවා නෙරපා හරින ලද කාන්තාවන් පිළිබඳ උදාහරණ ශ්‍රීවාස්තව් උපුටා දක්වයි.
දෑවැද්ද නමැති වසංගතයට එරෙහිව සටන් කළ හැක්කේ, තරුණ තරුණියන් දෑවැදි දීම හෝ පිළිගැනීම ප්‍රතික්ෂේප කළහොත් පමණක් බව ඇය පවසයි.
"ජීවිතය දිග යි, මට ඒක තනියෙන් ගෙවලා දාන්න බැහැ"යි පවසන ගුන්ජන්, ඇය විවාහවීමට කැමති බව පවසන නමුත් දෑවැද්දක් නොදෙන බවට දැඩි ස්ථාවරයක පසුවෙයි.
නමුත් කාලය ගෙවී යත් ම, ඇයට ගැලපෙන සහකරුවෙකු සොයා ගැනීමේ පවුලේ අභිප්‍රාය ද වර්ධනය වෙමින් පවතියි.
"අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තෙ එටාවා දිස්ත්‍රික්කෙ මගේ පාරම්පරික ගමේ මගේ නෑදෑයො අතරෙ, විවාහ වෙළඳපොළේ දී අවුරුදු 25ක කාන්තාවක් වයසක ගෑණියෙක් විදියට තමයි සැළකෙන්නේ."
එබැවින් ඇගේ පියා නිතිපතා පුවත්පත්වල විවාහ දැන්වීම් තීරු පිරික්සමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් හිඳ සුදුසුස්සෙකු දුටුවහොත් ඔහුට දන්වන්නැ යි ඥාතීන්ට ද දන්වා ඇත. ඔහු තම කුලයේ සාමාජිකයින් 2,000කට වැඩි පිරිසක් සිටින වට්ස්ඇප් සමූහයකට සම්බන්ධ වී ඇති අතර එහි ඔවුන් වැනි පවුල් තම දරුවන්ගේ ජීව දත්ත පත්‍රිකා හුවමාරු කර ගැනීම සිදු කරයි.
"ගොඩ දෙනෙකුට ඕන, රුපියල් මිලියන පහක් හෝ ඊට වැඩි මුදලක් වියදම් වෙන ලොකු මඟුලක් ගන්න. මගේ තාත්තාට වියදම් කරන්න පුළුවන් ඒකෙන් බාගයක් විතරයි," ඇය පවසන්නේ, දෑවැද්දක් නොදී විවාහ වන බවට වන ඇගේ ස්ථාවරය දෙමාපියන්ගේ ජීවිතය වඩා ත් දුෂ්කර කර ඇති බව ද සඳහන් කරමිනි.
"තාත්තා කියන්නේ, මට මනමාලයෙක් හොයන්න පටන් අරගෙන තාම වෙන්නේ අවුරුදු හයක් විතරයි කියලා. එයා කියන්නේ, දෑවැද්ද නැතිව අවුරුදු 60ක් හෙව්වත් මට ගැලපෙන කෙනෙක් නම් හොයාගන්න ලැබෙන්නේ නෑ කියලා."