කැනඩා ලිබරල් පක්ෂයේ නායකයා ලෙස ටෲඩෝ වෙනුවට පත් වනු ඇත්තේ කවුද?

පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන බවට කළ නිවේදනයත් සමග, ජස්ටින් ටෲඩෝගේ වසර නමයක කැනේඩියානු අගමැති ධූර කාලය අවසන් වෙමින් පවතී.

එයින් අදහස් වන්නේ, මහ මැතිවරණයේදී පරාජයට පත්වනු ඇතැයි සමීක්ෂණවලින් පෙනී ගොස් ඇති ඔහුගේ පක්ෂය, දැන් මහ මැතිවරණය සඳහා නව නායකයෙකු සොයා ගත යුතු ය යන්න ය.

ලිබරල් නායකත්වය උදෙසා තරග වැදෙනු ඇතැයි අපේක්ෂිත පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකු මෙන්න.

හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්

ටොරොන්ටෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය, ඉවත්ව යන නායකයා වෙනුවට, එම තනතුරට තරග වදින්නන්ගෙන් ප්‍රබල ම අයෙකු ලෙස සැලකෙන අතර, ටෲඩෝගේ කණ්ඩායමේ වඩාත් ප්‍රසිද්ධ සාමාජිකාවකි.

දිගු කලක් තිස්සේ ඔහුගේ අභ්‍යන්තර කවයේ විශ්වාසවන්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ ඇය, අගමැති කාර්යාලය සමග ඇති වූ මත ගැටුමක් නිසා පසුගිය දෙසැම්බර් මාසයේදී හදිසියේ ම තනතුරින් ඉල්ලා අස්වූවා ය.

ඇගේ ප්‍රසිද්ධ ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඇය ටෲඩෝ විවේචනය කර තිබූ අතර, එය ඔහුට දැඩි පීඩනයක් එල්ල කරමින් ඔහුගේ ඉවත්වීම නොවැළැක්විය හැකි තැනට පත් කළේ ය.

56 හැවිරිදි ඇය, බටහිර පළාතේ ඇල්බර්ටාහි යුක්රේන මවකට දාව උපත ලබා ඇති අතර, දේශපාලනයට පිවිසීමට පෙර මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළා ය.

ඇය 2013 දී හවුස් ඔෆ් කොමන්ස් වෙත පිවිසි අතර වසර ඉන් වසර දෙකකට පසු ටෲඩෝ බලයට පත්වීමෙන් පසුව වෙළෙඳ අමාත්‍යංශය භාර ගනිමින් කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වූවා ය.

විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කරද්දී ඇය කැනඩාවට ඇමෙරිකාව සහ මෙක්සිකෝව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට කටයුතු කළා ය.

පසුව ඇය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ධූරයට පත් වූයේ, එම තනතුර දැරූ පළමු කාන්තාව බවට පත් වෙමිනි. එමෙන් ම, ඇය කොවිඩ් වසංගතයට එරෙහිව කැනඩාවේ මූල්‍ය හැසිරවීම කළමනාකරණය කළා ය.

පසුගිය මාසයේ ඉල්ලා අස්වූ ඇය, කැනේඩියානු භාණ්ඩ මත ඇමෙරිකාව තීරුබදු අය කරන බවට ඩොනල්ඩ් ට්‍ර්ම්ප් කළ තර්ජනය හමුවේ ටෲඩෝ ශක්තිමත් ලෙස ක්‍රියා නොකළ බවට විවේචනය කළා ය.

2019 දී ග්ලෝබ් සහ මේල් වෙබ් අඩවිය ෆ්‍රීලන්ඩ්ව විස්තර කළේ, ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමන අකාරයේ අයෙකුද යන්න මත පදනම්ව ඇය, ලිබරල් පිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා හොඳ ම බලාපොරොත්තුව හෝ පරමාදර්ශී චරිතයක් ලෙසට ය.

හාර්වඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද මන්ත්‍රීවරිය යුක්රේනයට දැක්වූ දැඩි සහයෝගය සමහර කවයන් තුළ ප්‍රශංසාවට ලක්වූ නමුත් මෑතකදී ඇයව "විසකුරු අයෙකු" ලෙස හැඳින්වූ ට්‍රම්ප් ඇතුළු ඇතැමුන්ගේ දැඩි විවේචනයට ද ලක් වී තිබේ.

කැනඩාවේ හිටපු මහ බැංකු අධිපති මාර්ක් කාර්නි

දිගු කලක් තිස්සේ මාර්ක් කාර්නිව තම කණ්ඩායමට බඳවා ගැනීමට උත්සහ කළ බව ටෲඩෝ පිළිගන ඇති අතර, එහි වඩාත් ආසන්නතම උත්සහය වූයේ ඔහුව මුදල් ඇමති ලෙස පත් කර ගැනීමට ගත් උත්සාහය යි.

"කැනේඩියානු දේශපාලනය උදෙසා හොඳ මිනිසුන් අවශ්‍ය මොහොතක, ඔහු කැපී පෙනෙන පුද්ගලයෙකු වනු ඇත," යි ඔහු 2024 ජූලි මාසයේ නේටෝ සමුළුවකදී වාර්තාකරුවන්ට පැවසුවේ ය.

මෑත මාස කිහිපයක් තිස්සේ ටෲඩෝගේ විශේෂ උපදේශකයෙකු ලෙස සේවය කළ 59 හැවිරිදි කාර්නි, ඉහළම තනතුර සඳහා සුදුසුකරුවෙකු ලෙස සැලකෙන්නේ දීර්ඝ කාලයක සිට ය.

හාර්වඩ් උපාධිධාරියෙකු වන ඔහු කිසි විටෙකත් රජයේ තනතුරක් දරා නොමැති නමුත්, කැනඩා මහ බැංකුව සහ එංගලන්ත මහ බැංකුව යන දෙකෙහි ම සේවය කර, මූල්‍ය සේවයේ මනා අත්දැකීම් සහිතව පැමිණෙන්නෙකි.

දේශගුණික ක්‍රියාකාරිත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කළ කාලයේ අත්දැකීම් ඇති ඔහු පාරිසරික කරුණු පිළිබඳ විශේෂඥ දැනුම ද සමඟ ගෙන එයි. පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය සමබර කර ශුන්‍ය බවට පත් කිරීම, 'අපේ කාලයේ විශාලතම වාණිජ වාසිය' ලෙසට මෑතකදී ඔහු පවසා තිබුණි.

ෆෙඩරල් කාබන් බද්ද වැනි කොන්සර්වේටිව්වරුන් අතර ජනප්‍රිය නොවන සමහර ලිබරල් ප්‍රතිපත්තිවලට සහය දැක්වීම සම්බන්ධයෙන් කාර්නි ප්‍රසිද්ධ ය. මෙම දේශගුණික ප්‍රතිපත්තිය කැනේඩියානුවන් මත පැටවූ මූල්‍යමය බරක් ලෙසට විවේචනයට ලක් වන්නකි.

කැනඩාවේ කොන්සර්වේටිව් පක්ෂයේ නායක පියරේ පොයිලියෙව්රේ දැනටමත් ඔහුගේ විවේචනයට ලක්වී ඇති අතර, රටේ අනාගතය පිළිබඳ ඔහුගේ දැක්ම "සැලැස්මක් නොමැති හුදු සටන් පාඨ" බවට ඔහු පවසා තිබේ.

"මම තමයි සැබෑ ව්‍යාපාරික අත්දැකීම් සහිතව සංවාදයේ සිටින්නේ. දැනට ව්‍යාපාරවල යෙදී සිටින අතරේ තීරණ ගන්නේ මම යි," ඔහු පවසයි.

අනීතා ආනන්ද්, ප්‍රවාහන අමාත්‍ය

ආනන්ද් හැඳින්වෙන්නේ ලිබරල් කණ්ඩායමේ වඩාත් අධිෂ්ඨානශීලී සාමාජිකාවක ලෙසට ය.

57 හැවිරිදි නීතිඥවරිය 2019 දී ටොරොන්ටෝ නගරයට පිටතින් පිහිටි ඕක්විල් නියෝජනය කිරීම සඳහා තේරී පත් වෙමින් දේශපාලනයට පිවිසියා ය.

ඔක්ස්ෆර්ඩ් වෙතින් අධ්‍යාපනය ලැබූ ඇය පැමිණෙන්නේ මූල්‍ය වෙළෙඳපොළ නියාමනය සහ ආයතනික පාලනය පිළිබඳ පසුබිමකිනි.

රාජ්‍ය සේවා හා ප්‍රසම්පාදන අමාත්‍ය ධූරය ඇයට ඉක්මනින් භාර දුන් අතර, කෝවිඩ් වසංගතය අතරතුර එන්නත් සහ පෞද්ගලික ආරක්ෂණ උපකරණ සුරක්ෂිත කිරීමේ ප්‍රයත්නයට එහිදී ඇය නායකත්වය දුන්නා ය.

2021 දී ආරක්ෂක අමාත්‍ය ධූරයට පත් වූ අනීතා, රුසියා - යුක්රේන යුද්ධයේදී, කැනඩාවේ සහය යුක්රේනයට ලබා දුන්නා ය. එමෙන් ම ලිංගික අපචාර චෝදනාවක් හේතුවෙන් කැනේඩියානු සන්නද්ධ හමුදාවන්හි ඇති වූ අර්බුදයක් කළමනාකරණය කළා ය.

භාණ්ඩාගාර මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා ආනන්ද්ව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉවත් කරන විට, බොහෝ දෙනෙකු එය දුටුවේ ඇගේ තත්ත්වය පහළ දැමීමක් ලෙසට ය. ටෲඩෝගේ විවේචකයින් අනුමාන කළේ, මෙම මාරුව කවදා හෝ පක්ෂයට නායකත්වය දීමේ ඇගේ අරමුණට එරෙහිව දුන් දඬුවමක් ලෙසට ය.

දෙසැම්බරයේ සිදුවූ කැබිනට් තනතුරු මාරු කිරීමකදී, ප්‍රවාහන අමාත්‍ය ධූරය මෙන් ම අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ධූරය ද ඇයට ලබා දෙන ලදී.

ප්‍රංශුවා-ෆිලිප් ෂැම්පේන්, නවෝත්පාදන, විද්‍යා හා කර්මාන්ත අමාත්‍ය

හිටපු ව්‍යාපාරිකයෙකු මෙන් ම ජාත්‍යන්තර වෙළෙඳ විශේෂඥයෙකු වන ඔහු තවත් ලිබරල් ඇමතිවරයෙකි. ඔහු ද පක්ෂයේ ඉහළ ම තනතුර කෙරෙහි තම අවධානය යොමු කර ඇති බව පැවසේ.

නමුත් විවිධ නිලයන් හරහා ප්‍රධාන තනතුරක් දක්වා වූ ඔහුගේ ගමන ආනන්ද්ට වඩා මන්දගාමී එකකි.

54 හැවිරිදි ෂැම්පේන්, 2015 දී කැනඩා පාර්ලිමේන්තුවට පිවිසුණු අතර, එතැන් සිට ජාත්‍යන්තර වෙළෙඳාම සහ විදේශ කටයුතු ආදී තනතුරු දැරී ය. මෑතකදී නවෝත්පාදන, විද්‍යා හා කර්මාන්ත අමාත්‍ය ධූරයේ කටයුතු කළේ ය.

ෂැම්පේන්ගේ වාසියට හේතු වන සාධක කිහිපයක් තිබේ. ඔහු කැනේඩියානු ෆෙඩ්රල් මැතිවරණයේදී බොහෝ විට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි පළාතක් වන ක්‍යුබික් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කැනේඩියානු නිෂ්පාදිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔහු සිය නවෝත්පාදන අලෙවි කිරීමට ලොව පුරා සංචාරය කිරීම සඳහා දැක්වූ උද්යෝගය නිරීක්ෂණය කළ සමහර විශ්ලේෂකයින් ඔහුට "කැනඩාවේ උද්යෝගීමත් ප්‍රවර්ධකයා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා දී තිබේ.

එමෙන් ම, ඔහුගේ ව්‍යාපාරික ඥානය, මධ්‍යස්ථ ලිබරල්වාදීන් නැවත පක්ෂය වෙත පොළඹවා ගැනීම සඳහා ගැලපෙන විකල්පයක් ලෙසට ද දේශපාලන නිරීක්ෂකයෝ ඔහුව හඳුන්වති.

මෙලනි ජොලි, විදේශ කටයුතු අමාත්‍ය

ටෲඩෝ මෙන්, ජොලි ද මොන්ට්‍රියල් ප්‍රදේශය නියෝජනය කරයි.

45 හැවිරිදි ජොලි, 2021 සිට ලෝක වේදිකාවේ කැනඩාව නියෝජනය කර ඇති අතර විදේශීය නායකයින්ට හුරුපුරුදු මුහුණකි.

වත්මන් විදේශ ඇමතිනිය ලෙස ඇය යුක්රේනයට කැනඩාවේ සහය පළ කිරීමට එහි සංචාරය කළ ඇය,. ඊශ්‍රායල් -හමාස් යුද්ධය ආරම්භ වූ විට එහි සිටින කැනේඩියානු පුරවැසියන් ඉවත් කර ගැනීමට සහය වීම සඳහා ජෝර්දානයට සංචාරය කළා ය.

ඉන්දීය නියෝජිතයෙකු විසින් කැනඩාවේ සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කළ සිද්ධිය හේතුවෙන් ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය ද ඇතුළුව, රජය මුහුණ දුන් විශාලතම විදේශ ප්‍රතිපත්ති අභියෝග කිහිපයකට ම ජොලි මැදිහත් වී කටයුතු කළා ය.

ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය ලබා ඇති නීතිඥවරිය මීට පෙර මොන්ට්‍රියල් නගරාධිපති ධූරය සඳහා තරග කළ අතර, ප්‍රංශ බස කතා කරන දේශපාලනඥයෙකි.

ෆෙඩරල් දේශපාලන තනතුරක් වෙනුවෙන් තරග කිරීම සඳහා ටෲඩෝ විසින් ඇයව පෞද්ගලිකව ම තෝරා ගන්නා ලදී.

"මෙලනි ඔයා මැතිවරණයට ඉදිරිපත්වීම අපිට අවශ්‍යයි කියමින් ඔහු වරින් වර මට කතා කළා," යි ජොලි පවසයි.

කුඩා හා විශාල කණ්ඩායම් දෙක ම සමග යහපත් සබඳතා පැවැත්වීමට ඇයට ඇති හැකියාව ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ ඇගයුමට ලක්වී තිබේ. ඇය දිගු කලක් තිස්සේ ලිබරල් පක්ෂ නායකයා වීමට අපේක්ෂාවෙන් සිටි බව ඇගේ සමීප මිතුරන් කැනේඩියානු සඟරාවක් වන මැක්ලීන්ස් වෙත පවසා ඇත.

ඩොමිනික් ලීබ්ලෑන්ක්, මුදල් හා අන්තර් රාජ්‍ය කටයුතු අමාත්‍ය

57 හැවිරිදි ලීබ්ලෑන්ක්, ටෲඩෝගේ සමීපතම සහ විශ්වාසවන්තම සගයෙකි.

ඔවුන්ගේ මිත්‍රත්වය ශක්තිමත් ය. ටෲඩෝ සහ ඔහුගේ සහෝදර සහෝදරියන් කුඩා කාලයේදී ලීබ්ලෑන්ක් ඔවුන්ව රැකබලාගෙන පවා තිබේ.

ෆ්‍රීලන්ඩ්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසු මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීම ඇතුළුව අභියෝගාත්මක භූමිකාවන් භාර ගැනීමේ ඉතිහාසයක් ඔහුට තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී ට්‍රම්ප් සමග හමුවක් සඳහා ටෲඩෝ සමග මාර්-ඒ-ලාගෝ වෙත ගිය අභියෝගාත්මක ගමනට ද ලීබ්ලෑන්ක් සහභාගී විය.

දශක දෙකකට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති හිටපු නීතීඥයා, 2000 වසරේදී අත්ලාන්තික් පළාතේ නිව් බ්‍රන්ස්වික් නියෝජනය කිරීම සඳහා පළමු වරට තේරී පත් විය.

ටෲඩෝ මෙන් ම ලීබ්ලෑන්ක් ද දේශපාලන පවුලක උපත ලබා ඇත. ඔහුගේ පියා, ටෲඩෝගේ සුප්‍රකට පියා වන අගමැති පියරේ ටෲඩෝගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙකු ලෙස සේවය කළ අතර පසුව කැනඩාවේ ආණ්ඩුකාර ජනරාල් වරයා බවට පත්විය.

පක්ෂය මෙහෙයවීම සඳහා ලීබ්ලෑන්ක් සිය කැමැත්ත පෙන්වමින් මීට පෙර, 2008 දී තරග කළ නමුත් මයිකල් ඉග්නේටිෆ් හමුවේ පරාජය විය. ටෲඩෝ විසින් ජයග්‍රහණය කරන ලද, පක්ෂ නායකත්වය සඳහා වූ ඊළඟ තරගයට ඔහු සහභාගී වූයේ නැත.

පිළිකා රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබා සුව වී සිටින ඔහු, මිත්‍රශීලී සහ ශක්තිමත් දේශපාලන සන්නිවේදකයෙකු ලෙස ප්‍රකට ය.

ක්‍රිස්ටි ක්ලාර්ක්, හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය

බ්‍රිටිෂ් කොලොම්බියාහි හිටපු ප්‍රධාන අමාත්‍ය ක්‍රිස්ටි ක්ලාර්ක් ලිබරල් නායකත්වය සඳහා තරග කිරීමට කැමැත්ත පළ කර තිබේ.

ටෲඩෝ ඉල්ලා අස්වුවහොත් "ලිබරල් පක්ෂයේ සහ රටේ අනාගතය පිළිබඳ සංවාදයේ කොටසක් වීමට තමා කැමති" බව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඇය නිවේදනය කළා ය.

59 හැවිරිදි ක්ලාක්, 2011 සිට 2017 දක්වා කැනඩාවේ බටහිර ප්‍රදේශයේ පළාතක් වන බ්‍රිටිෂ් කොලොම්බියාහි ප්‍රධාන අමාත්‍ය ධූරය දැරුවා ය. ඇගේ ධූර කාලය තුළ බ්‍රිටිෂ් කොලොම්බියාහි බලශක්ති කර්මාන්තය සංවර්ධනය වූ අතර, පාරිසරික ප්‍රමුඛතා සමතුලිත කිරීම වෙනුවෙන් ඇය කීර්තියක් හිමි කරගෙන තිබේ.

ෆෙඩ්රල් ලිබරල්වාදීන්ට ටෲඩෝ බාධාවක් වී ඇති බව ඇය පසුගිය වසර කිහිපය තුළ කළ සම්මුඛ සාකච්ඡාවලදී පුන පුනා ප්‍රකාශ කර තිබේ.

මේ වන විට ඇය ප්‍රංශ භාෂාව ද හදාරමින් සිටින බව රේඩියෝ-කැනඩා වාර්තා කර තිබේ. කැනඩාවේ ෆෙඩ්රල් දේශපාලනඥයන් සඳහා ප්‍රංශ භාෂාවේ චතුරත්වය මූලික අවශ්‍යතාවක් ලෙස සැලකේ.