ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔස්ට්‍රේලියාවේ බොන්ඩායි බීච් වෙඩි තැබීම ගැන මෙතෙක් අප දන්නා කරුණු
- Author, ටොම් මැක්ආතර් සහ එමිලි ඇට්කින්සන්
සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ පැවති 'හනුකා' උත්සවයකදී යුදෙව් ප්‍රජාව ඉලක්ක කර එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු, ඔස්ට්‍රේලියානු අගමාත්‍ය ඇන්තනි ඇල්බනීස් එරට ගිනිඅවි නීති ශක්තිමත් කරන බවට ප්‍රතිඥා දී තිබේ.
ප්‍රහාරය පිටුපස සිටින තුවක්කුකරුවන් වන්නේ පියෙකු සහ පුත්‍රයෙකු බව පොලිසිය මීට පෙර පවසා තිබිණි. ඔවුන් සජිඩ් අක්‍රම් සහ ඔහුගේ පුත් නවීඩ් අක්‍රම් ලෙස එරට මාධ්‍ය විසින් නම් කරනු ලැබ තිබේ.
පොලිස් වෙඩි පහරින් වැඩිමහල් තුවක්කුකරු මිය ගියේය. 24 හැවිරිදි පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ගත කර සිටියි.
මෙම ප්‍රහාරයෙන් අවුරුදු 10 ක ගැහැනු ළමයෙකු ඇතුළු පුද්ගලයින් පහළොස් දෙනෙකු මිය ගිය අතර, ඇල්බනීස් එය "යුදෙව් විරෝධී ක්‍රියාවක්... [සහ] අපේ වෙරළ තීරයේ ත්‍රස්තවාදය" ලෙසද හැඳින්වීය.
ඔස්ට්‍රේලියාවේ සමූහ වෙඩි තැබීම් ඉතා දුර්ලභ වන අතර, බොන්ඩි හි ප්‍රහාරය 1996 දී පෝර්ට් ආතර් සංහාරයෙන් පසු එරට සිදු වූ මාරාන්තිකම සිදුවීම වන අතර එහිදී තනි තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් 35 දෙනෙකු ඝාතනය කරනු ලැබීය.
පොලිසිය මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම වෙඩි තැබීම ගැන මෙතෙක් අප දන්නා කරුණු මෙහි ඇතුළත් වේ.
ප්‍රහාරය සිදු වූ ආකාරය
එරට දේශීය වේලාවෙන් සවස 6:47 ට ( ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 01:17 ට ) පමණ, බොන්ඩායි වෙරළේ ආචර් පාර්ක් හි වෙඩි තැබීම් ගණනාවක් සිදු වූ බවට නිව් සවුත් වේල්ස් පොලිසියට වාර්තා ලැබිණි.
ඉන් ටික වේලාවකට පසු, පොලිසිය ඔවුන්ගේ පළමු ප්‍රසිද්ධ නිවේදනය නිකුත් කළ අතර, එම ස්ථානයේ සිටින පුද්ගලයින්ට අනතුරුදායක තත්ත්වයෙන් ආරක්ෂා වන ලෙසත් සෙසු අයට එම ප්‍රදේශයට ඇතුළු වීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටියේය.
වෙඩි ශබ්ද මධ්‍යයේ සිය ගණනක් ජනයා කෑගසමින් හා දිවයමින් වෙරළ තීරයෙන් පලා යන ආකාරය තහවුරු කරගත් වීඩියෝවල සටහන්ව තිබිණි.
බීබීසී ය විසින් තහවුරු කරන ලද දර්ශනවල, කැම්බල් පෙරඩ් රථගාලේ සිට බොන්ඩායි වෙරළ දෙසට යන කුඩා පාලමේ සිට තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබන ආකාරය දැකගත හැකිය.
බීබීසී විසින් තහවුරු කරන ලද තවත් වීඩියෝවක දැක්වෙන්නේ අසල සිටි අයෙකු තුවක්කුකරුවෙකුට මුහුණ දෙන ආකාරය සහ පසුව තුවක්කුව උදුරාගෙන එය තුවක්කුකරු දෙසට එල්ල කරන ආකාරයයි. ඉන්පසු තුවක්කුකරු පාලම දෙසට පසුබසින අතර, එතැනින් තවත් ප්‍රහාරකයෙකු වෙඩි තබයි.
අසල සිටි එම පුද්ගලයා අහමඩ් අල් අහමඩ් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු පළතුරු වෙළෙඳසැල් හිමියෙකු වන අතර දෙදරු පියෙකි.
ඔහුගේ පවුලේ අය 7News Australia වෙත පැවසුවේ ඔහු තවමත් රෝහල්ගතව සිටින බවත් වෙඩි වැදීමෙන් අතට සිදුවූ තුවාල සඳහා ශල්‍යකර්මයකට භාජනය වී ඇති බවත්ය.
නිව් සවුත් වේල්ස් අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් විසින් ඔහුව "සැබෑ වීරයෙකු" යැයි විස්තර කරන ලදී.
"ඔහුගේ නිර්භීතකමේ ප්‍රතිඵලයක් ලෙස අද රාත්‍රියේ බොහෝ දෙනෙක් ජීවතුන් අතර සිටින බවට මට කිසිදු සැකයක් නැහැ," යැයි මින්ස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එම දර්ශනවල ම, තුවාල ලැබූ බව පෙනෙන තවත් පුද්ගලයෙකු එම ස්ථානයෙන් පලා යන ආකාරය දක්නට ලැබෙන අතර, පොලිසිය පැමිණ තුවක්කුකරුවන් දෙසට වෙඩි තබන අයුරු දැක්වෙයි.
තවත් තහවුරු කරන ලද වීඩියෝවක එම පාලම මත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිටින ආකාරය දැක්වේ. එක් අයෙකු විසින් නොසෙල්වී සිටින පුද්ගලයෙකුට CPR ලබා දෙන බව පෙනේ, යමෙකු "ඔහු මැරුණා, ඔහු මැරුණා" යනුවෙන් කෑගසයි.
මිය ගිය සහ තුවාල ලැබූ පිරිස කොපමණ ද?
නිව් සවුත් වේල්ස් පොලිසියට අනුව, වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයින් 15 දෙනා අතර අවුරුදු 10 ක දැරියක ද සිටී.
වින්දිතයින්ගේ වයස් කාණ්ඩ අවුරුදු 10 සිට 87 දක්වා වන අතර ඔවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු සපයා නොමැත.
බ්‍රිතාන්‍යයේ උපන් 41 හැවිරිදි රැබයිවරයෙකු ( යුදෙව් ආගමේ අධ්‍යාත්මික නායකයෙක්/ ආගමික ගුරුවරයෙක් ) වන එලි ෂ්ලැන්ගර් මියගිය අය අතර සිටින බව ඔහුගේ පවුලේ අය බීබීසීයට පවසා තිබේ.
ෂ්ලැන්ගර්ගේ සහෝදරයා වන රැබයිවරයෙකු වන සැල්මන් ලුවිස් ඔහු පිළිබඳ විස්තර කළේ "ජීවමාන, ජවසම්පන්න, යහපත් ගුණාංගවලින් පිරිපුන් සහ මිනිසුන්ට උදව් කිරීමට ප්‍රිය කරන පුද්ගලයෙක්" ලෙසයි.
ඊශ්‍රායල මාධ්‍ය - එරට විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් - වාර්තා කළේ ඊශ්‍රායල පුරවැසියෙකු ද මිය ගොස් ඇති බවයි.
ප්‍රංශ පුරවැසියෙකු වන ඩෑන් එල්කායම් ද ප්‍රහාරයට ගොදුරු වූ අයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
X වෙත පළ කර ඇති පණිවිඩයකින් ප්‍රංශ විදේශ අමාත්‍ය යාන්-නොයෙල් බැරට් පැවසුවේ එල්කායම්ගේ පවුලේ අය සහ ආදරණීයයන්, යුදෙව් ප්‍රජාව සහ වියෝ වූ ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ තමන් ශෝක වන බවයි.
පොලිස් වෙඩි තැබීමෙන් 50 හැවිරිදි තුවක්කුකරු මිය ගිය අතර, තරුණ තුවක්කුකරු තවමත් බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
තවත් 42 දෙනෙකු රෝහල්ගතව සිටින බව පොලිසිය පවසයි.
නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් සඳුදා ABC ප්‍රවෘත්ති වෙත පැවසුවේ සමහරුන් "බරපතල තුවාල ලබා ඇති" බවයි.
ළමුන් හතර දෙනෙකු සිඩ්නි ළමා රෝහලට මාරු කර යවා ඇති බව ද පාර්ක් පැවසීය. මියගිය දරුවා මෙම සංඛ්‍යාවට ඇතුළත් දැයි පැහැදිලි නොමැත.
සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි වැදී තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසයි. ඉරිදා වාර්තා වූයේ ඔවුන්ගේ තත්ත්වය "බරපතල හා ඉතා අසාධ්‍ය" බවයි.
තුවක්කුකරුවන් ගැන අපි දන්නේ මොනවාද?
තුවක්කුකරුවන් වයස අවුරුදු 50 සහ 24 වයස්වල පසුවන පියෙකු සහ පුතෙකු බව නිව් සවුත් වේල්ස් පොලිස් නිලධාරි මැල් ලැන්යොන් සඳුදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.
50 හැවිරිදි මෙම පුද්ගලයා බලපත්‍රලාභී ගිනි අවි හිමියෙකි. ඔහුට ගිනි අවි හයක් අයත් අතර, ඒ සියල්ල බොන්ඩි වෙරළ ප්‍රහාරයේදී භාවිතා කර ඇති බවට විශ්වාස කෙරෙන අතර, ඔහු විනෝදාත්මක දඩයම් කටයුතු සඳහා ගිනි අවි බලපත්‍රයක් සඳහා සුදුසුකම් සපුරා ඇති බවත් ලැන්යන් පැවසීය.
සඳුදා පස්වරුවේ දේශීය වේලාවෙන් තවත් මාධ්‍ය හමුවකදී ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පැවසුවේ පුත්‍රයා ඕස්ට්‍රේලියාවේ උපන් පුරවැසියෙකු බවත්, පියා 1998 දී ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත එරටට පැමිණ ඇති බවත් ය, එය 2001 දී සහකරු වීසා බලපත්‍රයකට සහ පසුව නේවාසික ආපසු පැමිණීමේ වීසා බලපත්‍රවලට මාරු කරන ලද බවත්ය.
මේ අතර, අගමැති ඇල්බනීස් පැවසුවේ 24 හැවිරිදි තුවක්කුකරු - යුවළගේ බාලයා - මුලින්ම බලධාරීන්ගේ අවධානයට ලක් වූයේ 2019 ඔක්තෝබර් මාසයේදී බවයි.
"වෙනත් අයවලුන් සමඟ ඇසුරු කිරීමේ පදනම මත එම පුද්ගලයා පරීක්ෂාවට ලක් කර ඇති අතර, ප්‍රචණ්ඩත්වයේ යෙදෙන බවට හෝ ඔහුගෙන් කිසිදු තර්ජනයක් හෝ තර්ජනයක් අඛණ්ඩව පවතින බවට කිසිදු ඇඟවීමක් නොමැති බවට තක්සේරුවක් කරන ලද" බව ඔහු තවදුරටත් පැවසීය.
අලුත්ම තත්ත්වය කුමක් ද?
ජාතික කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට නව ගිනිඅවි නීති දැඩි කිරීම් ඇතුළත් කරන බව ඇල්බනීස් පවසා තිබේ.
පුද්ගලයන්ට භාවිතා කළ හැකි හෝ බලපත්‍ර ලබා දිය හැකි ගිනිඅවි සංඛ්‍යාව සීමා කිරීම සහ යම් කාලයක් තුළ බලපත්‍ර සමාලෝචනය කිරීම යන යෝජනා මේවාට ඇතුළත් වනු ඇත.
ලෝකයේ දැඩිම ගිනිඅවි නීති කිහිපයක් ඔස්ට්‍රේලියාවේ ඇත. තුවක්කු ළඟ තබා ගැනීමට බලපත්‍ර සහ ලියාපදිංචි බලපත් අවශ්‍ය වන අතර ගිනි අවි ළඟ තබාගෙන සිටින සියලුම පුද්ගලයින් ලියාපදිංචි කළ යුතුය.
මේ අතර, "යුදෙව් විරෝධී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කිරීම" සඳහා සඳුදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සමඟ දුරකථන සංවාදයක නිරත විය.
මීට පෙර, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් මෙම වෙඩි තැබීම "යුදෙව්වන්ට එරෙහි ඉතා කුරිරු ප්‍රහාරයක්" ලෙස හැඳින්වූ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයක් වන ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා වන චාල්ස් රජු පැවසුවේ "මෙම භයානක යුදෙව් විරෝධී ත්‍රස්ත ප්‍රහාරයෙන් තමන් භීතියට හා ශෝකයට පත් වූ" බවයි.
බොන්ඩායි මණ්ඩපයේ පිටුපස පිහිටුවා ඇති අනුස්මරණ ස්ථානයට පුෂ්පෝපාහාර දක්වන ලෙස නිව් සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා රුධිර පරිත්‍යාග සේවා සඳහා "වාර්තාගත සංඛ්‍යාවක්" සහ දැවැන්ත පෝලිම් පැවතීම ගැන ඔහු සිය ප්‍රසාදය පළ කළේය.
හනුකා යනු කුමක්ද?
හනුකා නොහොත් හිබෲ භාෂාවෙන් චනුකා, බොහෝ විට යුදෙව් ආලෝක උත්සවය ලෙස හැඳින්වේ.
හනුකා දිනයන් සෑම වසරකම වෙනස් වන, නමුත් එය සැමවිටම නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවල වැටෙන අතර දින අටක් පුරා පවතී.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ බොන්ඩි වෙරළ තීරයේ සැමරුමේ පළමු දිනය සනිටුහන් කිරීමේ උත්සවයක් පැවැත්වෙමින් තිබිණි.
චානුකා බයි ද සී 2025 ලෙස නම් කර ඇති මෙම උත්සවය සඳහා වූ ඩිජිටල් පත්‍රිකාවක දැක්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් එය ඉරිදා පස්වරු 5 සිට (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12.30 ට පමණ) වෙරළ තීරයේ ළමා ක්‍රීඩා පිටිය අසළ පැවැත්වීමට නියමිතව තිබූ බව යි.
බොන්ඩි හි චබාද් නම් යුදෙව් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය "සියලු වයස් කාණ්ඩ සඳහා" සජීවී විනෝදාස්වාදය සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත වීමට නියමිතව තිබිණි. 1,000 ක පමණ පිරිසක් ඊට සහභාගී වූ බව පැවසෙයි.