ආබාධිතයින්ට අභ්‍යාවකාශය විවර කිරීමේ මෙහෙයුමක නිරත වන පැරාලිම්පික් ශූරයා

John McFall in Centrifuge

ඡායාරූප මූලාශ්‍රය, ESA

    • Author, රෙබෙකා මොරෙල් සහ ඇලිසන් ෆ්‍රැන්සිස්
    • Role, බීබීසී විද්‍යා පුවත්

හිටපු පැරාලිම්පික් ක්‍රීඩක ජෝන් මැක්ෆෝල්, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සමග එක්ව ශාරීරික ආබාධ සහිත පුද්ගලයින්ට අභ්‍යවකාශයේ ජීවත් වීමට සහ වැඩ කිරීමට හැකියාවක් තිබේ ද, යන්න සොයා බැලීම සඳහා සුවිශේෂී අධ්‍යයනයක නිරත වී සිටී. බීබීසී පුවත් සේවය, ගගනගාමී පුහුණුවක නිතරව සිටින ඔහුගේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටියේය.

එය ඕනෑ ම නවක ගගනගාමියෙකු මුහුණ දිය යුතු පරීක්ෂණයකි. කෙසේ වෙතත්, එම පරීක්ෂණය බියසුලු හෝ ආවරණය වූ අවකාශයන්ට බියක් දක්වන පුද්ගලයින්ට සුදුසු නැත.

මිනී පෙට්ටියක ප්‍රමාණයෙන් යුත් ලෝහ පෙට්ටියක් තුළ ජෝන් මැක්ෆෝල් අන්ධකාරයේ හෙළමින්, ඝෝෂාකාරී හඬකින් දොර වැසෙයි.

භ්‍රමණය වීම ආරම්භ වෙයි.

ඔහු රොකට්ටුවක් ක්‍රියාත්මක කිරීමකදී ඇති වන ආන්තික ගුරුත්වාකර්ෂණ බලයන්ට සමාන බලයකට ඔරොත්තු දීම සඳහා වේගයෙන් භ්‍රමණය වෙමින් විශාල කේන්ද්‍රාපසාරිකයක (centrifuge) සිටින අතර, - ඊටත් වඩා ආන්තික ගුරුත්වාකර්ෂණ බලයකින් ආපසු පහළට පැමිණෙයි.

"ඒකෙ භ්‍රමණය වීමේ වේගය වැඩි වෙන තරමට, ගුරුත්ව බලය වැඩි වෙනවා," ජෝන් පැහැදිලි කරයි.

"අද අපි G 6ක් දක්වා වැඩි කරනවා - ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය මෙන් හය ගුණයක්. ඒක සෝයුස් කැප්සියුලයකින් වායුගෝලයට නැවත ඇතුළූ වීමේදී ඇති වන තත්ත්වය අත්හදාබලන ක්‍රමයක්."

Centrifuge

ඡායාරූප මූලාශ්‍රය, ESA

ඡායාරූප ශීර්ෂ වැකිය, යන්ත්‍රය හරහා අභ්‍යවකාශගාමීන්ට දැනෙන ආන්තික ගුරුත්වාකර්ෂණ බලය අනුකරණය කරනු ලැබේ

මෙම පරීක්ෂණය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය සමග ජෝන් කරන පුහුණු වැඩසටහනේ කොටසකි.

ආබාධ සහිත පුද්ගලයෙකුට ආරක්ෂිතව අභ්‍යවකාශයට යා හැකි ද යන්න සොයා බැලීම සඳහා සුවිශේෂී අධ්‍යයනයක් කිරීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය 2022 වසරේදී සිය ශාරීරික ආබාධ සහිත පළමු ගගනගාමී අපේක්ෂකයා ලෙස ඔහු තෝරා ගන්නා ලදී.

ජෝන් ආබාධ සහිත පුද්ගලයෙකු වන අතර, වයස අවුරුදු 19දී මුහුණ දුන් යතුරු පැදි අනතුරකින් ඔහුගේ දකුණු පාදයේ පහළ කොටස අහිමි විය.

ඔහු සාමාන්‍යයෙන් උසස් තාක්ෂණයෙන් යුතු කෘත්‍රිම පාද භාවිත කරයි. එහෙත්, ඔහුගේ පාදයේ ඉහළ කොටසේ කේන්ද්‍රාපසාරී බලපෑම පරීක්ෂා කිරීම සඳහා ඔහු එය ඉවත් කර තිබේ.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ගුවන් වෛද්‍ය නිලධාරී මේබ්‍රිට් කයිපර්ස් ඔහුව නිරීක්ෂණය කරයි.

"අපි කේන්ද්‍රාපසාරිකයකට ආබාධ සහිත කෙනෙක් දැම්මේ පළමු වෙනි වතාවට," ඇය පැහැදිලි කරයි.

"ගගනගාමියා මූලික වශයෙන් උඩුබැලි අතට යම් ආකාරයක වාඩි වී සිටින ඉරියව්වකින් වැතිරී ඉන්නවා. ඒ නිසා මේක කකුල් ද ඇතුළුව ශරීරයේ රුධිර ප්‍රවාහයට බලපානවා. ඒක ඔහුට කොහොම බලපායි ද කියලා අපි අවිනිශ්චිත තත්ත්වයකයි, හිටියේ. කොහොම වුණත්, ඒක හොඳට සිද්ධ වුණා."

John McFall

ඡායාරූප මූලාශ්‍රය, BBC/Tony Jolliffe

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝන් ධාවනයේ දීමේදී විශේෂ බෙලෙඩ් එකක් පැළඳ සිටී

විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ජෝන්, ඔහුගේ වෘත්තීය ජීවිතය නතර කර, තමන් නොදන්නා ගගනගාමී පුහුණුව වෙත පිවිසියේ ය.

ඔහු එක්සත් රාජධානියේ සිට ජර්මනියේ කලොන්හි පිහිටි යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සංක්‍රමණය විය.

ජෝන්ට අභ්‍යවකාශ ගමනක් ලබා දෙන බව සහතික කර නැත. එහෙත්, මෙම අධ්‍යයනයෙන් එවැනි අභ්‍යවකාශ ගමනකට අනුවර්තනය වීමට අවශ්‍ය අභ්‍යවකාශ යානය, අභ්‍යවකාශ ඇඳුම් හෝ ඔහුගේ විවිධ කෘත්‍රිම පාද පිළිබඳ අවබෝධයක් ලබා ගනු ඇත.

අද දිනයේදී ඔහු සිය කෘත්‍රිම ධාවන පාදය (running blade) පරීක්ෂා කරමින් සිටී.

John McFall

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝන් මැක්ෆෝල් විසින් 2008 චීනයේදී පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනා ගත්තේය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජෝන් හිටපු පදක්කම්ලාභී පැරාලිම්පික් කෙටි දුර ධාවන ශූරයෙකු වන අතර, ක්‍රීඩාව ඔහුගේ ජීවිතයෙන් විශාල කොටසකි. අභ්‍යවකාශයේදී ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම සඳහා මාංශ පේශි ස්කන්ධය සහ අස්ථි ඝනත්වය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

ජෝන්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) බර රහිත තත්ත්වයන් ප්‍රතිනිර්මාණය කරන විශේෂ ප්‍රතිගුරුත්වාකර්ෂණයෙන් යුතු, ට්‍රෙඩ්මිල් ව්‍යායාම් යන්ත්‍රයක් (treadmill) භාවිත කරයි. වාතය පිරි පොකට්ටුවක් ඔහුව මදක් ඔසවමින් කෘත්‍රිමව ඔහු සැහැල්ලු කරයි.

ඔහුගේ සිරුරේ බර, ඔහුගේ කෘත්‍රිම ධාවන පාදය භූමිය වෙතට තල්ලු කරන ආකාරය, ඉන් ඇති වන සම්පීඩනය මගින් ඔහුව ඉදිරියට තල්ලු කිරීම සඳහා ස්වාභාවික පිම්මක් ඇති කිරීමට එය නැවත ඉහළට දිගහැරෙන ආකාරය ඔහු පැහැදිලි කරයි.

එහෙත්, ට්‍රෙඩ්මිල් යන්ත්‍රය ඔහුගේ සිරුරේ බරෙන් 80%ක් පමණ සැහැල්ලු කරන හෙයින්, ඔහුගේ කෘත්‍රිම ධාවන පාද ද ක්‍රියා නොකරයි.

"මට තේරෙනවා බ්ලේඩ් (කෘත්‍රිය ධාවන පාදය) එක ගොඩක් තද බව," ඔහු පැහැදිලි කරයි.‍ "එහෙම වෙන්නෙ, මම සැහැල්ලු නිසා බ්ලේඩ් එකට දෙන බලය අඩු හින්දයි. ඒ නිසා බ්ලේඩ් එක නැවෙන්නේ අඩුවෙන්. ඒකෙන් මට ආපහු පනින්න ලැබෙන ඉඩකඩ අඩුයි."

ඔහු සිතන්නේ ඔහුට වඩාත් වක්වූ ධාවන පාදයක් අවශ්‍ය වනු ඇති බවය. - නමුත් තවත් වර්ග තිබේ.

John McFall

ඡායාරූප මූලාශ්‍රය, ESA/Novespace

ඡායාරූප ශීර්ෂ වැකිය, පරාවලයික ගුවන් ගමන ජෝන්ට ඔහුගේ කෘත්‍රීම පාදය ක්‍රියාකරන්නේ කෙසේද යන්න වටහා ගැනීමට උපකාරී විය.

පසුගිය වසරේ පාරවලයික ගුවන් ගමනකදී, ජෝන් පළමු වරට ශරීරය බරින් තොරබව අත්විඳින විට, ඔහුගේ අධිතාක්‍ෂණික, මයික්‍රොප්‍රොසෙසර් කෘත්‍රිම පාදය නැවත ක්‍රමාංකනය කිරීමට/ප්‍රතිසැකසුම් කිරීමට (recalibrate) අවශ්‍ය බව ඔහු වටහා ගත්තේ ය.

සැබවින් ම, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී තමන්ට කෘත්‍රිම පාද කිහිපයක් අවශ්‍ය වනු ඇතැයි ජෝන් සිතයි.

"දුවන්න කෘත්‍රිම පාද වර්ගයක් අවශ්‍ය යි, මයික්‍රොප්‍රොසෙසර් කෘත්‍රිම පාදයට අමතර පාදයක් අවශ්‍ය යි, ඊට පස්සේ යාන්ත්‍රික පාදයක් අවශ්‍ය යි. ඒක අවශ්‍ය වෙන්නෙ, ගමන ආරම්භ කරද්දී සහ ආපසු එද්දී අභ්‍යවකාශ ඇඳුම ඇඳගෙන ඉන්න වෙලාවට දාන්න," ඔහු පැහැදිලි කරයි.

"මට කෘත්‍රිම පාද සහිත අල්මාරියක් වගේ එකක් අවශ්‍ය යි."

මෙවැනි ව්‍යාපෘතියක් සිදු කරන පළමු අභ්‍යවකාශ ඒජන්සිය වන්නේ, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය යි.

මේ දක්වා, ජෝන්ගේ ආබාධිත තත්ත්වය ඔහුට ගගනගාමියෙකු වීමට බාධාවක් විය. එහෙත්, එය වෙනස් කිරීමට යුරෝපා ගගනගාමී මධ්‍යස්ථානයේ ප්‍රධානී ෆ්‍රෑන්ක් ඩි වීන්ට අවශ්‍ය ය.

"අපි හිතනවා මේක ලොකු අවස්ථාවක් කියලා. මොක ද, අපි ජෝන්ගෙන් දකිනවා වගේ, විශිෂ්ට හැකියාවන් ගොඩක් තියෙන ආබාධ සහිත අය ඉන්නවා," ඔහු පවසයි.

"ඇයි අපි ගගනගාමී මෙහෙයුම් වැනි විශිෂ්ට මෙහෙයුම්වලට මේ දක්ෂතාව ලබා ගැනීමට උත්සහ නොකරන්නේ?"

ජර්මනියට සංක්‍රමණය වීම, ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වූ ඔහුගේ බිරිඳ සෝනියාට මෙන් ම, ඔවුන්ගේ දරුවන් වන ෆින්, අයිලා සහ ඉමීට විශාල වෙනසක් විය.

රාත්‍රී කෑම මේසයේදී ඔවුහු සිය පියාගේ නව රැකියාව ගැන කතා කරති‍. ඔවුන්ගේ මිතුරන් සිතන්නේ, එය සතුටුදායක රැකියාවක් බව ය. සිය පියා "විශාල කළු හිස්" අවකාශයකට යවන රැකියාවක් වෙනුවෙන් වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීම ෆින්ට අදහාගත නොහැකි දෙයකි.

සෝනියා පවසන්නේ, ජෝන්ගේ නව රැකියාව ඔහුට 100%ක් ගැලපෙන බව ය.

"සියලු අවස්ථා අත්හදාබලන එක අපේ පවුලට ලොකු දෙයක්," ඇය පවසයි‍. "මට නම් මේක හොඳ අවස්ථාවක්. ඔහු ගිහින් ඒ අවස්ථාව ලබාගෙන තියෙනවා. අවසානයේ අභ්‍යවකාශයට ගිහින් එය කළ හැකි දෙයක් බව මිනිසුන්ට පෙන්වන ඔහුට එහි ප්‍රතිඵල ලැබෙයි කියල මම බලාපොරොත්තු වෙනවා."

කේන්ද්‍රාපසාරිකය වෙත ආපසු හැරීමේදී, එහි වේගය අඩු වී, ක්‍රමයෙන් නතර වී දොරවල් විවර වන හඬ ඇසෙයි. ජෝන් සිය මහපටැඟිල්ල දිගු කර සංඥා කරයි.

"ඒක නියමයි," සිනහවක් සමගින් ඔහු පවසයි.

"ඔයා දන්නවා ද? මේ මුළු කාලය පුරා ම මගේ දකුණු කකුල ගැන වගේ වගක් තිබුණෙ නෑ. මේ මුළු ක්‍රියාවලියේ මට පහසු ම දේ වුණේ ඒක. මේ ගගනගාමී අධ්‍යයනය සඳහා ඒක දැන ගැනීම ඇත්තෙන් ම හොඳයි."

ජෝන් මෙම ව්‍යාපෘතියේ අඩක් පමණ නිම කර ඇති අතර, මෙතෙක් මෙහෙයුමට බාධාවක් විය හැකි කිසිවක් හමුවී නැත.

ජෝන්ගේ තෝරා ගැනීම නිවැරදි බව අභ්‍යවකාශයේ සියලු අත්විඳීම්වලින් තහවුරු වන්නේ, එය ජනතාවගේ සංජානනය වෙනස් කරන හෙයිනි.

"ඒක ශාරීරික ආබාධ සහිත කෙනෙකුට කළ හැකි දේ පිළිබඳව ඔවුන්ගේ දැනුම පුළුල් කරනු ඇතැයි සිතන්න මම කැමතියි," ඔහු පවසයි.

"කොහොම වුණත්, ඔවුන් මාව නිකම් ජෝන් විදිහට ම දකියි කියලා බලාපොරොත්තු වෙනවා. මොක ද, මම ජෝන් ම තමයි, මට කායික ආබාධයක් තියෙනවා, මට ගගනගාමියෙක් වෙන්න අවශ්‍ය යි. අපි දෙන්න උත්සහ කරන පණිවුඩය මේකයි."