'රට පාලනය කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වැඩි කල් යන්න බැහැ'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'රට පාලනය කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වැඩි කල් යන්න බැහැ'
'රට පාලනය කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වැඩි කල් යන්න බැහැ'

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය අද (ජනවාරි 30) කොළඹ දී පැවත් වූ විරෝධතාවයට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හරින ලදී.

විරෝධතාකරුවන් විහාරමහදේවී උද්‍යානය අසල සිට කොල්ලුපිටිය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී මෙම ප්‍රහාරය එල්ල විය.

'වෙනසක් හදන වසරක් 2024' තේමාව මුල් කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවය පැවති අතර ඔවුන්ට විසිර යන ලෙස පොලීසිය නියෝග කළ ද ඔවුහු එය නොතකා ආණ්ඩුවට විරෝධය පළ කළහ.

මෙම විරෝධතාව පාලනය කිරීමට පොලිසිය මාළිගාකන්ද සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙතින් ආඥා ලබා ගෙන තිබිණි.

මාළිගාකන්ද අධිකරණය නිකුත් කළ නියෝගයේ දැක්වුණේ මාර්ග අවහිරවන ලෙස විරෝධතා සිදු කිරීම තහනම් කළ ද සිය භාෂණයේ නිදහස භාවිත කිරීම උදෙසා කිසිඳු බාධාවක් සිදු නොකරමින් පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනය හා හයිඩ් පාර්ක් පිටිය වෙන්කර තැබීමටත්, එම ක්‍රීඩාංගන තුළ විරෝධතාවයක් දැක්වීමට බාධාවක් නොවන බවය.

විපක්ෂ නායකවරයා ඇතුළු 16 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ නියෝගය අනුව ඔවුන්ට මාර්ග අවහිර කිරීම වලක්වා තිබිණි. එමෙන්ම ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව හා ජනාධිපති කාර්යාලයට ඇතුළු වීම සහ පොදු දෙපලට හානි නොකරන ලෙසටත් ආඥාවක් නිකුත් කර තිබිණි.