'මිනිස්සු දැක්කේ වසර 11ක අපේ ආදරය නෙවෙයි අපේ හමේ පාට විතරයි': ඉන්දියාවේ වෛරල් වූ විවාහක යුවළ

ඡායාරූප මූලාශ්‍රය, Rishabh and Sonali's family
- Author, විෂ්ණුකාන්ත් තිවාරි
- Role, බීබීසී වාර්තාකරු
ජබල්පූර්හි අලස හා නිහඬ දහවල් කාලයක, රිෂාබ් රාජ්පුත් සහ සොනාලි චෞක්සි ඔවුන්ගේ නිවසේ සෝෆාවේ වාඩි වී, ඔවුන්ගේ විවාහයෙන් දින කිහිපයකට පසු ඔන්ලයින් ඔස්සේ කතාබහට ලක්වූ එම වීඩියෝව නැවත නැවතත් නරඹමින් සිටිති.
ඒ, ඔවුන්ගේ මංගල දිනයේ රිෂාබ්ගේ සහෝදරිය රූගත කළ තප්පර 30ක වීඩියෝවකි.
දින දෙකකට පසු වීඩියෝව සමාජ මධ්‍ය ඔස්සේ වෛරල් වූයේ වට්ස්ඇප් සමූහ සහ මීම් පල කරන සමාජ මාධ්‍ය පිටු ආක්‍රමණය කරමිනි.
වයිරල් වූ වීඩියෝවට පළ කළ කමෙන්ට්වල සඳහන් වූයේ, ඔවුන්ගේ මංගල උත්සවයට සුබ පැතීම් නොව රිෂාබ් සහ සොනාලිගේ සමේ වර්ණය අලලා කර තිබූ අපහාස උපහාසයන් ය.
මේ අතර, රිෂාබ් සහ ඔහුගේ පවුලේ අය මේ කිසිවක් නොදැන විවාහයෙන් පසු සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර සමග කාර්ය බහුල වී සිටියහ.
චාරිත්‍රයක් මැද අසල්වැසි නැන්දණියක පැමිණ ඔහුගේ මවට, "ඔයාගේ පුතාගේ වීඩියෝ එක වෛරල් වෙලා, මීම්ස් එහෙමත් හදල තියෙනවා," යනුවෙන් පැවසූ බවට රිෂාබ් පවසයි.
"මුලින් මම හිතුවේ විහිළුවක් කියලා. හරි, සමහර අය ඒක ශෙයාර් කරන්න ඇති... නමුත් මම මගේ ෆෝන් එක අරගෙන ඒක බලනකොට, මම මොහොතකට කම්පනයට පත් වුණා," රිෂාබ් පැවසීය.
ජංගම දුරකතන තිරයේ දිස්වන කමෙන්ට් නිසා හදිසියේ ම වාතාවරණය වෙනස් වූ බව පවුලේ සාමාජිකයෝ ද පවසති.
සොනාලි සියල්ලන් ම නවත්වා, "ඒ වීඩියෝ එකේ පැහැදිලිව ම පෙනුණේ දෙන්නෙක්ගෙ සතුට, අපේ සතුට ඔන්ලයින් ඉන්න අයට පෙනුණේ නෑ. සමාජ මාධ්‍ය කෘත්‍රිම ලෝකය ඇතුළේ, වසර 11කට කලින් ඉඳලා අපි දැකපු අපේ හීනය, අපේ ආදරය, කොහේ හෝ අතුරුදන් වෙලා. අවධානය යොමු වෙලා තියෙන්නේ අපේ සමේ වර්ණය ගැන විතර යි," යැයි පවසා තිබේ.
සොනාලි සහ රිෂාබ්ගේ එකතුව "නොගැලපෙන" බවට අදහස් දක්වා තිබිණි. මනාලයා කළු බවත් මනාලිය පැහැපත් බවත් යමෙක් ලියා ඇති අතර, එම නිසා විවාහ මංගල්‍ය "අමුතු" එකක් බවට ප්‍රකාශ කර තිබිණි.
"අපේ සමේ පැහැය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා අපේ වටේ ඉන්න කවුරුවත් කියනවා අපි කවදාවත් අහලා තිබුණේ නෑ. සමාජ මාධ්‍යවල මිනිසුන්ගේ චින්තනය දැක්ක ම, ඉන්ටර්නෙට් ලෝකය කොයිතරම් මතුපිටින් පෙනෙන දෙයක් වෙන්න පුළුවන් ද කියලා අපට පළවෙනි වතාවට තේරුම් ගියා. අපි අවුරුදු 11ක් බලා සිටි මොහොත ඉන්ටර්නෙට් එකේ ඉන්න අය සමච්චලයට ලක් කළා," රිෂාබ් පවසයි.
සමාජ මාධ්‍ය තුළ මතු වූ විවිධ උපකල්පන
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශරීර වර්ණය පිළිබඳ අදහස් දැක්වීම් එහි පළමු පරිච්ඡේදය පමණි.
එයින් පසු, සමාජ මාධ්‍ය පරිශීලකයෝ රිෂාබ් අරබයා විවිධ උපකල්පන සහ උසුළු විහිළු කිරීමට පටන් ගත්හ. ඇතැමෙකු ඔහු ඉතා ධනවත් විය යුතු බව කියා ඇති අතර තවත් සමහරු ඔහුට පෙට්‍රල් පිරවුම්හල් ඇති බව හෝ ඔහු ඇමතිවරයෙකුගේ පුතෙකු බව පවා සඳහන් කර තිබිණි.
බොහෝ අය, සොනාලි රිෂාබ් සමග විවාහ වූයේ, "රජයේ රැකියාවක් තිබෙන නිසා" බව ද පවසා තිබිණි.
සොනාලි සහ රිෂාබ් උපාධිධාරීන් වන අතර දෙදෙනා ම පෞද්ගලික අංශයේ සේවය කරති.
"අපි දෙන්න ම හරි ම ධනාත්මක යි, නමුත් මම සල්ලි නිසා වාසියට ඉන්න කෙනෙක් කියලා කිව්වා, සමහර විට මම යම් බලකිරීමක් මත විවාහ වුණා කියලා මිනිස්සු ලියලා තිබුණා... මේ හැම එකක් ම ඇහුවට පස්සේ අපේ පවුලේ සාමාජිකයන් ගොඩක් කලබල වුණා," සොනාලි පවසයි.
"අපේ පෞද්ගලික දේවල් ගැන කියලා රට පුරා සිටින ආගන්තුකයන් සොනාලි සහ මට විවෘතව විහිළු කළා. ඒ අතරතුර, රටේ ජාතිවාදී මානසිකත්වය කිසිදු නිරායාසයෙන් ම කරළියට ආවා," රිෂාබ් පවසයි.
"වඩාත් ම වේදනාකාරී දෙය තමයි මිනිස්සු මාව පමණක් නොවෙයි මගේ පවුලේ අයවත් ඉලක්ක කර ගැනීමට පටන් ගැනීම. මගේ මව, සහෝදරියන් සහ ඥාතීන් වෛරල් වුණු ඡායාරූප සහ වීඩියෝවල දක්නට ලැබුණා. ඔවුනුත් ඉන්ටර්නෙට් හරහා අසභ්‍ය අදහස් දැක්වීම්වලට ලක් වුණා," රිෂාබ් පවසයි.
"අපහාස කරන අයට ඒක අදහස් දැනගන්න ක්‍රමයක් පමණක් වුණත් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සහ අපගේ පෞද්ගලිකත්වයට ඒක බලපෑවා," සොනාලි පවසයි.
වෛරල් වූ වීඩියෝව පසුපස 'වසර 11ක ආදරය නොසලකා හැර ඇති' බව ඇය පවසයි.
වීඩියෝව වෛරල් වීමෙන් පසු මිනිසුන් වෙත ළඟා වූ කතාව සැබෑ කතාවේ ඉතා කුඩා හා මතුපිටින් පෙනෙන කොටසකි.

ඡායාරූප මූලාශ්‍රය, Rohit Lohia/ BBC
ඔවුන් දෙදෙනා මුණගැසුණේ කෙසේ ද?
රිෂාබ් පවසන්නේ, ඔහු සහ සොනාලි 2014 වසරේදී විශ්වවිද්‍යාලයේදී මුණගැසුණු බව ය.
"2015දී මම සොනාලිට විවාහ යෝජනාවක් කළා, ඊට දවස් දහයකට පස්සේ ඇය එකඟ වුණා. අපි විවාහ වෙනවා කියලා අපි එදා ඉඳන් ම දැනගෙන හිටියා. මේ වෛරල් වීඩියෝව තත්පර තිහක වීඩියෝවක් නෙවෙයි, අපේ අවුරුදු 11ක ගමනේ ප්‍රතිඵලයක්. ඒක අපි අවුරුදු 11ක් මහන්සි වෙලා දැකපු සිහිනය සැබෑ කර ගැනීමක්."
මෙම සම්බන්ධතාවයේ පදනම වර්ණය මත නොව, එකිනෙකාගේ ගුණාංග සහ ගෞරවය මත ගොඩනැගී තිබේ.
සොනාලිගේ නිහතමානීකම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ ජීවිතය පිළිබඳ බැරෑරුම්කම ඔහුව ඇය වෙත ආකර්ෂණය කළ බව රිෂාබ් පවසයි.
"සම්බන්ධතාව රඳා පවතින්නේ අනෙක් පුද්ගලයා ඇයට සලකන ආකාරය, ඔහු ඇයට කොතරම් ගෞරවයක් ලබා දෙනවා ද සහ ඔහු තම ජීවිතයේ ඇය වෙනුවෙන් කොපමණ ඉඩක් ලබා දෙනවා ද යන්න මත," සොනාලි පවසයි.
"මේ සම්බන්ධතාවයේ කිසි ම බල කිරීමක් හෝ කිසි ම ආකාරයක මවාපෑමක් තිබුණේ නැහැ. මේක මගේ ම තීරණයක්. ඒ වගේ ම මම මේ තීරණය ගැන ගොඩක් සතුටු වෙනවා," සොනාලි තවදුරටත් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Rohit Lohia/ BBC
'වර්ගවාදී සමාජය'
ඉන්ටර්නෙට්හි වැඩිපුර ම කතාබහට ලක්වූ මාතෘකාව වූයේ වර්ගවාදයයි. ඉන්දියාවේ සමාජ ව්‍යුහයේ පවතින මෙම දිගුකාලීන බෙදීම ඩිජිටල් ලෝකය තුළ ද එක හා සමානව දක්නට ලැබේ.
"ඉන්දියාව වගේ විවිධත්වයෙන් පිරුණු රටක, 70%ත් 80%ත් අතර ප්‍රමාණයක් අඳුරු සමක් තියෙන මිනිස්සු ඉන්න රටක, තවමත් පැහැපත් සමක් උසස් කියලා සලකන එක කනගාටුදායක යි. කෙනෙකුගේ වර්ණය දිහා බලලා ඔහුගේ චරිතය, යහපත්කම හෝ හැසිරීම තීරණය කරන්න පුළුවන් ද?" රිෂාබ් පවසයි.
මෙම කරුණ ගැන තවදුරටත් පැහැදිලි කරමින්, "බොහෝවිට මිනිසුන් උපකල්පනය කරන්නේ සම පැහැපත් අය වැඩියෙන් හොඳයි කියලා සහ සම අඳුරු පුද්ගලයින් පහත් කියලා. නමුත් සම්බන්ධතාවක වැදගත් ම දෙය වෙන්නේ පුද්ගලයාගේ හැසිරීම, ඔහුගේ හදවත සහ ඔහුගේ අරමුණු," යැයි සොනාලි පැවසුවා ය.
"අපේ සමේ වර්ණය ගැන මිනිස්සු මෙච්චර සැලකිලිමත් වෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. ඉන්දියාවේ විවිධ දේශගුණික තත්ත්වයන්, විවිධ වර්ණ තියෙනවා... ඉතින් ඒක පිළිගන්න අමාරු ඇයි? පැහැපත් සමක් තියෙන කොල්ලෙක් වැරදියට හැසිරුණත් නැත්නම් අපරාධයක් කළත්, එයාගේ සමේ වර්ණය බලලා අපි එයාව හොඳ කෙනෙක් විදිහට සලකනව ද? ඇත්තට ම සමේ පාටට විතරක් කෙනෙකුගේ හොඳ නරක තීරණය කරන්න පුළුවන් ද?" සොනාලි ප්‍රශ්න කරයි.
"මෙවැනි සිදුවීම්වලින් මිනිසුන්ට ටිකක් අපහසුතාවක් දැනෙනවා, නමුත් අපි සැමවිට ම එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා, එකිනෙකාට සහය දක්වනවා," රිෂාබ් සහ සොනාලි දෙදෙනා ම එකිනෙකා දෙස බලා එසේ පැවසූහ.
"අපේ පවුල තුළ කවදාවත් කිසි ම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සුළු පැහැදිලි කිරීමකින් පස්සේ, හැමෝම එකඟ වුණා. අපි අපේ විවාහය ගැන පළමු දිනයේ සිට ම හිතුවා. පොඩියට මුදල් ඉතිරි කිරීමෙන්, සතුටේදී සහ දුකේදී එකිනෙකාට සහයෝගය දක්වමින්, අපි මේ දවස සහ ඉන් ඔබ්බට ජීවිතය ගැන සිහින මැව්වා, අපි ඒ සිහිනය ජීවත් කරවනවා," සොනාලි පැවසුවා ය.
"අපහාස කිරීමේ ලෝකයක් මැද්දේ, බොහෝ දෙනෙකුට නොමැති දෙයක් අපි සතුව තියෙනවා. මට සොනාලි ඉන්නවා, සොනාලිට මම ඉන්නවා," රිෂාබ් සොනාලි දෙස බලා සිටිමින් පැවසුවේ ය.















