ආතතිය නිසා ඔබත් ආහාර ගන්නවා ද? ඊට හේතුව සහ එහි ප්‍රතිවිපාක ගැන දැනගනිමු

    • Author, කේට් බෝවී
    • Role, ග්ලෝබල් හෙල්ත්, බීබීසී ලෝක සේවය

ආතතිය ඔබේ සෞඛ්‍යයට හානි කළ හැකි ය. එය හිසරදය, උදරයේ වේදනාව, නිදාගැනීමේ අපහසුතා සහ ඔබ ආහාර පුරුදු පවා වෙනස් කළ හැකි ය.

අප ආතතියෙන් සිටින විට, අපට චොකලට් හෝ පීසා වැනි දේවලට ඇති ආශාව වැඩි විය හැකි ය, නැත්නම් අපගේ ආහාර රුචිය සම්පූර්ණයෙන් ම නැති වී යා හැකි ය.

නමුත් ආතතිය අපගේ ආහාර රුචිය වෙනස් කරන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් අපට කළ හැක්කේ කුමක් ද?

ආතතිය යනු කුමක් ද?

"ආතතිය යනු ඔබේ පාලනයෙන් තොර යැයි හැඟෙන දුෂ්කර හෝ අභියෝගාත්මක තත්ත්වයන්ට ඔබේ ශරීරය සහ මනස ප්‍රතික්‍රියා කරන ආකාරයයි," ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් විශ්ව විද්‍යාලයේ අන්තර් විෂය ආතති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා සහ සායනික මනෝවිද්‍යාඥ මහාචාර්ය රාජිතා සිංහා පවසයි.

ඔබේ අවට පරිසරයේ සිදුවන සිදුවීම්, ඔබේ මනසෙහි ඇතිවන කාංසාව සහ අධික කුසගින්න හෝ පිපාසය වැනි ඔබේ ශරීරයේ සිදුවන වෙනස්කම් යන සියල්ලම මොළයේ කඩල ඇටයක ප්‍රමාණයේ කුඩා කොටසක් වන හයිපොතලමස් සක්‍රීය කර, අපගේ ශරීරය ක්‍රියාකාරී කරවන ආතති ප්‍රතිචාරයක් ඇති කරයි.

මෙම "අනතුරු ඇඟවීමේ පද්ධතිය" අපගේ ශරීරයේ සෑම සෛලයක ම ක්‍රියා කරන අතර හෘද ස්පන්ධන වේගය සහ රුධිර පීඩනය වැඩි කිරීම සඳහා ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් වැනි හෝමෝන සක්‍රීය කරන බව සිංහා පවසයි.

අනතුරකින් පළා යාමට හෝ නියමිත කාලසීමාව තුළ කාර්යන් ඉටු කිරීම වැනි ක්‍රියා සිදුකිරීම සඳහා වූ පෙළඹවීමකට කෙටි කාලීන ආතතිය ප්‍රයෝජනවත් විය හැකිය. නමුත් දිගු කාලීනව, "නිදන්ගත" ආතතිය අහිතකර විය හැකිය.

සබඳතා, රැකියාව හෝ මුදල් ගැටළු වැනි දේවලින් දිගුකාලීන ආතතියක් ඇති පුද්ගලයින්ට මානසික අවපීඩනය, නින්දේ ගැටළු සහ බර වැඩිවීම වැනි රෝග ඇතිවිය හැකිය.

ආතතිය අපගේ ආහාර රුචිය අවුල් කරන්නේ ඇයි?

ආතතිය ඔබට දැඩි කුසගින්නක් දැනීමට හෝ ඔබේ කුසගින්න සම්පූර්ණයෙන්ම නැති කිරීමට හේතු විය හැකිය.

"මට මතකයි මං විභාගවලට පාඩම් කරනකොට, මට අසනීප ගතියක් දැනුනා," ස්නායු අක්ෂි වෛද්‍ය සහ "Stress-Proof" සහ "Hyperefficient" යන ග්‍රන්ථවල කතුවරයා වන වෛද්‍ය මිතු ස්ටොරෝනි පවසයි.

"ඇත්ත වශයෙන්ම අපි දැන් දන්නවා මේක සිදුවිය හැකි එක් හේතුවක් වන්නේ ඔබේ ආමාශ ආන්ත්‍රික පද්ධතිය, ඔබේ ආමාශය සහ බඩවැල් සහ ඔබේ මොළය අතර සෘජු මාර්ගයක් තිබීම නිසා කියලා," ඇය තවදුරටත් පවසයි.

ආතතිය මගින් ඔබේ මොළය සිට ආමාශය දක්වා දිවෙන වේගස් ස්නායුවේ ක්‍රියාකාරීත්වය මන්දගාමී කළ හැකිය.

වේගස් ස්නායුව මොළය සහ බඩවැල් අතර සංඥා හුවමාරු කරයි, ආමාශය පිරී ඇති විට සහ ශරීරයට කොපමණ ශක්තියක් අවශ්‍ය දැයි මොළයට දැනුම් දෙයි.

වෛද්‍ය ස්ටොරෝනි පවසන්නේ සමහර අයට, මෙහි අක්‍රියතාව නිසා ඔවුන්ගේ ආහාර රුචිය නැති විය හැකි බවයි.

"නමුත් අනෙක් අතට, ඔබ හදිසියේ ම ආතතියට පත් වූ විට, ඔබේ මොළයට සීනි අවශ්‍ය වනවා," ඇය තවදුරටත් පවසයි.

"අනපේක්ෂිත තත්ත්වයන් සඳහා තම ශරීරයට අමතර ශක්තියක් ලබා දීමට" ඇතැම් පුද්ගලයින් යටි සිතින් සූදානම් වෙමින් නොදැනුවත්වම ආහාර ගැනීම මෙයට හේතු වන බව ඇය පවසයි.

නිදන්ගත ආතතිය ඔබේ ආහාර රුචියට බලපාන්නේ කොහොම ද?

නිදන්ගත ආතතිය තාවකාලික ඔක්කාරය හෝ සීනිවලට ඇති ආශාවන්ට වඩා වැඩි යමක් ඇති කළ හැකි ය.

ඔබේ ශරීරය ආතතියෙන් පෙළෙන විට, ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන අතර, ග්ලූකෝස් මට්ටම පාලනය කරන හෝමෝනය වන ඉන්සියුලින් ක්ෂණිකව අඩු ඵලදායීතාවක් ඇති කරන බව මහාචාර්ය සිංහා පැහැදිලි කරයි.

ග්ලූකෝස් ශක්තිය සඳහා භාවිත වනවා වෙනුවට රුධිරයේ රැඳී ඇති නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි.

මෙය නිදන්ගත ආතතියෙන් පෙළෙන පුද්ගලයින්ට අවසානයේ දිගු කාලීනව රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සහ ඉන්සියුලින් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතා ඇති වීමේ අවදානමක් ඇති කරයි, එය ශරීරයේ බර වැඩිවීමට හෝ දියවැඩියාව වැනි තත්ත්වයන්ට හේතු විය හැක.

බර වැඩිවීම ආහාර රුචිය වෙනස් වීමට වැඩි ඉඩක් ඇත. අමතර ශරීර මේදය ඇති පුද්ගලයින් බොහෝ විට ඉන්සියුලින් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාවයක් ඇති කරයි. මෙයින් අදහස් කරන්නේ ඔවුන් ආතතියට පත් වූ විට, ඔවුන්ගේ මොළය ඊටත් වඩා සීනි ඉල්ලා සිටින බවයි.

"අපි එය ඉදිරි-පෝෂක චක්‍රය ලෙස හඳුන්වනවා. එය එකක් අනෙකට මඟ පාදනවා. එය විෂම චක්‍රයක් වන අතර එය බිඳ දැමීම වඩා දුෂ්කර වන්නේ අප එහි සිරවී සිටින නිසයි," මහාචාර්ය සිංහා පවසයි.

ආතතියට ආහාර ගැනීම වළක්වා ගන්නේ කෙසේද?

ආතතිය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න කල්තියා සැලසුම් කිරීම අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී සිටීමට හොඳ ක්‍රමයක් බව වෛද්‍ය ස්ටෝරෝනි යෝජනා කරයි.

මූලික කරුණු අමතක කරන්න එපා - නින්ද තමයි යතුර.

"ආතතියට සම්බන්ධ වන අවයව තුන නැවත සකස් කිරීමට උපකාරී වන නිසා, නින්ද කෙරෙහි අවධානය යොමු කරන්න කියලා මං යෝජනා කරනවා," ඇය පවසයි.

නින්ද ඔබේ මොළයේ ඇති හයිපොතෙලමස්, පිටියුටරි සහ අධිවෘක්ක ග්‍රන්ථි සමඟ සමතුලිත කිරීමට උපකාරී වන අතර එමඟින් ආතති හෝමෝන මුදා හැරීම නතර වේ.

"ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබුනේ නම්, ඔබේ මොළයට වැඩි ශක්තියක් අවශ්‍ය වන නිසා සීනි සඳහා ඇති ඔබේ ආශාවන් වැඩි වෙනවා." වෛද්‍ය ස්ටෝරෝනි පවසයි.

ව්‍යායාම මගින් ආතතියෙන් පෙළෙන තත්ත්වයෙන් නිරවුල් තත්ත්වයකට පැමිණීමේ හැකියාව වැඩිදියුණු කළ හැකි අතර ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කළ හැකි බව ඇය පවසයි.

ආතති සහගත කාලයක් පැමිණෙන්නේ නම්, මෙම මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබට ආතතිය නිසා ආහාර ගැනීමට පෙළඹීමෙන් වැළකී සිටිය හැකිය.

"ඔබේ ශරීරය සහ මනස සාමාන්‍ය තත්ත්වයට පත්කරන සෑම දෙයක්ම කරන්න" යනුවෙන් වෛද්‍ය ස්ටොරෝනි අවධාරණය කරයි.

ආතතියෙන් පෙළෙන විට මා වැළකී සිටිය යුතු ආහාර මොනවාද?

ආතතියෙන් සිටින විට අධික සීනි ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමට සරල ක්‍රමයක් නම් සැකසු ආහාර මිලදී නොගැනීම බව මහාචාර්ය සිංහා යෝජනා කරයි.

"ඒවා ළඟා විය නොහැකි තැන්වල තබා ගැනීම ප්‍රායෝගිකයි, මොකද ඒවා ළඟ තියෙනවා නම්, ඔබට ඒවා ආහාරයට ගන්න පෙළඹවීමක් ඇති වනවා," ඇය පවසයි.

"අනෙක් කොටස නම් දවස පුරා හැමවෙලාවෙ ම සෞඛ්‍ය සම්පන්න කුඩා ආහාර වේල් ගැන සිතන එකයි. මේ නිසා කුසගින්න සහ ආහාර රුචිකත්වය අඩු කරන්න පුළුවන්," ඇය තවදුරටත් පවසයි.

පීසා සහ සීනි සහිත කෙටි ආහාර වැනි ඔබේ රුධිරයේ සීනි වැඩි කරන ආහාර වලින් වැළකී සිටීම වැදගත් වේ. ඒ වෙනුවට, මස්, බෝංචි සහ මාළු වැනි ප්‍රෝටීන් බහුල ආහාර හෝ පරිප්පු සහ සම්පූර්ණ ඕට්ස් වැනි සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩ්‍රේට් ආහාර තෝර ගන්න.

තවත් උපදෙසක් නම් මත්පැන් සීමා කිරීමයි, බොහෝ අය ආතතිය සමනය කිරීමට උත්සාහ කරන මත්පැන් පානය කිරීමෙන් ය.

"ඔබ ආතතියෙන් පෙළෙන විට මත්පැන් පානය කිරීමට නැඹුරු නම්, එවැනි කාලවලදී එයින් වැළකී සිටීම වඩාත් සුදුසුයි" යනුවෙන් වෛද්‍ය ස්ටෝරෝනි යෝජනා කරයි.

ඔබේ සමාජ වටපිටාව ​​ඔබට සමබරව සිටීමට සහ ආතතිය ඇති කාලවලදී ආහාර කළමනාකරණය කිරීමටද උපකාරී වේ.

"ආතතිය සහ ආහාර ගැනීම අතර මෙම සම්බන්ධතාවය වළක්වා ගැනීම සඳහා සමාජය තුළින්ම හොඳ ක්‍රම හඳුන්වා දී තිබෙනවා. සමහර වෙලාවට එකට ආහාර ගන්න එක, එකට ආහාර පිසීම වෙන්න පුළුවන්." මහාචාර්ය සිංහා පවසයි.

"ආතතිය සහ ආහාර ගැනීම අතර මෙම සම්බන්ධතාවය ඉලක්ක කර ගැනීම සඳහා ආහාර සමඟ අපගේ සම්බන්ධතාවය නැවත ගොඩනඟා ගැනීම සඳහා යම් මූලික කරුණු වෙත ආපසු යා යුතු යැයි මං සිතනවා," ඇය පවසයි.

මහාචාර්ය රජිතා සිංහා සහ ආචාර්ය මිතු ස්ටෝරෝනි බීබීසී ෆුඩ් චේන් වැඩසටහනේදී රූත් ඇලෙක්සැන්ඩර් සමඟ සාකච්ඡාවේ නිරත විය.