ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඕමාන මුහුදේදී අනතුරට පත්වූ ඉන්ධන නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 9 දෙනෙකු බේරා ගැනේ
ජුලි 16 වැනිදා ඕමාන මුහුදේදී අනතුරට පත්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් අතුරින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 9 දෙනෙකු බේරා ගෙන තිබේ.
ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අතුරුදන්ව ඇති සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවය.
මුදා ගත් පිරිස අතර ලාංකිකයෙකුත්
ඉන්දීය නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිල X ගිණුමට අනුව අනතුරට පත්වූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 දෙනෙකු බේරා ගැනීමට ඉන්දීය නාවික හමුදාවට අයත් INS Teg නෞකාව සමත්ව ඇති බවත්, එම පිරිස අතර එක් ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බවත් තහවුරු කර තිබේ.
මුදා ගනු ලැබූ සෙසු නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනා ඉන්දීය ජාතිකයින් බව ඉන්දීය නාවික හමුදාව පවසයි.
කොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ මීටර් 117ක දිගින් යුත් ‘ප්‍රෙස්ටීජ් ෆැල්කන්’ නෞකාව ඕමානයේ, රාස් මද්‍රකාහි සිට නාවුක සැතපුම් 25ක් දුරින් වූ මුහුදු කලාපයේ දී පෙරළී ගියේ ජුලි මස 16 වෙනිදාය.
අනතුරට ලක්වන අවස්ථාවේදී එම නෞකාවේ ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සේවයේ නියුතුව සිට ඇත.
රළු මුහුද සහ තද සුළං සහිත අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් යටතේ ඉන්දියානු සහ ඕමාන නාවික හමුදා මෙම සෝදිසි මෙහෙයුමේ නිරතව සිටිති
අනතුරට පත් නෞකාව ගැන තොරතුරු
මෙම නෞකාව ඕමානයේ, රාස් මද්‍රකාහි සිට නාවුක සැතපුම් 25ක් දුරින් වූ මුහුදු කලාපයේ දී පෙරළී ගොස් ඇති බවත් අතුරුදන්ව ඇති නෞකාවේ කාර්ය මණ්ඩලය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඕමාන සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර ඇත.
ඕමාන බලධාරීන් සඳහන් කරන පරිදි මෙම නෞකාව එරට ඩියුකම් වරායේ සිට යේමනයේ ඒඩ්න් වරයා බලා යාත්‍රා කරමින් තිබී ඇත.
‘අතුරුදන්වූ පිරිස ගැන තොරතුරු ලැබුණා’
මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රධානී නිලුක කඳුරුගමුව බීබීසී සිංහල වෙත පැවසුවේ අනතුරට පත්වූ නෞකාවේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිට ඇති බවට ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන බවය.
එමෙන්ම අතුරුදන්වූ ලාංකිකයින් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීම ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදුකරනු ලබන බව ද ඔහු පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහිදී එහි ප්‍රකාශිකාවක් තහවුරු කළේ අනතුරට පත්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිට ඇති බවය.
"මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තොරතුරු සොයා බලමින් සිටිනවා. තවමත් සම්පුර්ණ තොරතුරු ලැබිලා නැහැ."
"නමුත් අපට දැනට දැනුම් දීලා තියෙනවා නෞකාවේ සිටි ලාංකිකයින් තිදෙනාගේ නම් ටික. අපි ඒ තොරතුරු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කරල තියෙනවා."
"සිදුවීමෙන් අතුරුදන්වූ ලාංකික කාර්ය මණ්ඩලේ තිදෙනා ලංකාවේ පදිංචිය කොහෙද කියලා සම්පුර්ණ තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් කරුණු තහවුරු කිරීමෙන් පස්සේ ලබා දීමක් සිදුකරයි."
"ඊට අමතරව අනතුරට පත්වුණු නැවේ කාර්ය මණ්ඩලයේ 16 දෙනෙක් ඉදලා තියෙනවා. ඒකෙන් 13 දෙනෙක් ඉන්දීය ජාතිකයින්." එම ප්‍රකාශිකාව සඳහන් කළේය.