බ්‍රිතාන්‍ය මහ මැතිවරණය 2024: විය හැකි දේ සහ වෙමින් පවතින දේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් රාජධානියේ මීළඟ මහ මැතිවරණය ජූලි 4 වැනිදා පවත්වන බව අග්‍රාමාත්‍ය රිෂී සුනක් නිවේදනය කර තිබේ. මෙම මැතිවරණය සරත් ඍතුවේ පවත්වනු ඇතැයි අපේක්ෂා කළ හෙයින්, එය අපේක්ෂිත කාලයට වඩා කලින් පැවැත්වෙනු ඇත.
මෙම මාතෘකාව සම්බන්ධයෙන් ඔබට ඇති විය හැකි ප්‍රශ්න කිහිපයක් අපි විමසා බලමු.
එක්සත් රාජධානියේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදා ද?
මහ මැතිවරණය 2024 ජූලි 4 වන දා පැවැත්වෙනු ඇත. එක්සත් රාජධානියේ දේශපාලන ධුර කාල සීමාව වසර පහක් වන අතර, 2019 වසරේ දෙසැම්බර් මාසයේ අවසන් වරට පැවති මහ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළ බැවින්, නීතියට අනුව ඊළඟ මහ මැතිවරණය 2025 ජනවාරි වන විට පැවැත්විය යුතු ය.
එක්සත් රාජධානිය ඡන්ද කොට්ඨාස ලෙස හඳුන්වන ප්‍රදේශ 650කට බෙදී තිබේ. මෙම සෑම ඡන්ද කොට්ඨාසයක ම ඡන්ද දායකයෝ දේශීය පුරවැසියන් නියෝජනය කිරීම සඳහා එක් මන්ත්‍රීවරයා බැගින් පොදු මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් පත් කරති.
අපේක්ෂකයින්ගෙන් වැඩි දෙනෙකු දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අතර, ඇතැම්හු ස්වාධීන අපේක්ෂකයින් ලෙස ද තරග වදිති.
රිෂී සුනක් මහ මැතිවරණය කලින් පැවැත්වීමට පියවර ගත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2021 වසරේ සිට පැවති මත විමසුම්වලින් රිෂී සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂයේ ජනප්‍රියත්වය පිරිහෙමින් තිබේ.
පක්‍ෂයේ සමහර දේශපාලනඥයන්ට "තත්ත්වය යහපත් අතට හැරීමක් නොවනු ඇතැයි හැඟී ගොස් ඇති බව ත්, ඡන්දයෙන් තේරී පත්වීම පමා කළහොත් කොන්සර්වේටිව් පක්ෂයේ පරාජය වඩා ත් නරක අතට හැරිය හැකි බව ත්," බීබීසී දේශපාලන සංස්කාරක ක්‍රිස් මේසන් පවසයි.
‘වෙනත් වචනවලින් කියනවා නම්, දැන් ම ඡන්දය තියන්න, නැත්නම් තත්ත්වය තවත් නරක් වෙයි.’
‘අගමැතිවරයාට අවම වශයෙන් ඔහුගේ අරමුණු සමහරක් ඉටු වෙමින් පවතින බව හෝ ඉටු වීමට නියමිත බව පෙන්වන්න පුළුවන්.’
‘වර්තමාන උද්ධමන ඉලක්කම් සාර්ථකවීමක් ලෙස පෙන්වන්න පුළුවන්. ඇත්තට ම, ඒක තනිකර ම ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා සිදුවුණ දෙයක් නෙවෙයි. ඒත්, ඒක අහස උසට වැඩි වුණා ම රජයට දොස් පවරනවා. ඒ නිසා ඒක ටිකක් පහළ ගියා ම ඒකෙ ගෞරවය තමන් සතු කර ගන්න ඔවුන් උත්සහ කරන එක සාධාරණ යි. ඒක තමයි වෙලා තියෙන්නේ.’
‘පුළුල් ආර්ථික චිත්‍රයත් ටිකක් දීප්තිමත්ව පේනවා.’
මත විමසුම්වලදී පක්ෂ සංසන්දනය කෙරෙන්නේ කෙසේ ද?
නවතම මත විමසුම්වලින් පෙනී යන්නේ, සුනක්ගේ කොන්සර්වේටිව් පක්ෂය සිය ප්‍රධාන ප්‍රතිවාදියා වන කම්කරු පක්ෂයට වඩා බොහෝ පහළ මට්ටමකින් ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් සිටින බව ය.
ඇත්ත වශයෙන් ම, පසුගිය මාස 12 තිස්සේ එය බොහෝ දුරට දක්නට ලැබුණු තත්ත්වයක් වූයේ, මත විමසුම්වලදී කම්කරු පක්ෂය අඛණ්ඩව 40%කට වඩා වැඩි ඡන්ද ලබා ගෙන තිබූ හෙයිනි.

ඇත්ත වශයෙන් ම, මත විමසුම් නිවැරදි නොවිය හැකි අතර, මෑත කාලීනව උද්ධමනය මන්දගාමී වීම සහ පක්ෂවල ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කිරීම, ප්‍රචාරණයේ ප්‍රගතිය යන කරුණු කොන්සර්වේටිව් පාක්ෂිකයින්ට පවත්නා තත්ත්වයන් හැරවීමට උපකාරී වනු ඇතැයි සුනක් බලාපොරොත්තු වනවා විය හැකි ය.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය අනුව, කම්කරු පක්ෂය ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන්නේ, අණසක පතුරුවන මට්ටමේ ප්‍රමුඛතාවකිනි.
සංක්‍රමණ විරෝධී දක්ෂිණාංශික පක්ෂයක් වන Reform UK තුන් වන ස්ථානයේ පසුවන නමුත් ඔවුන්ගේ සහය රට පුරා ඒකාකාරව පැතිරීම නිසා එම සහයෝගය පාර්ලිමේන්තුවේ ආසන බවට පත් කිරීම දුෂ්කර විය හැකි ය.
මීට පෙර රටේ තුන් වන විශාලතම පක්ෂය වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සාමාන්‍යයෙන් 10%ක් පමණ ස්ථාවරව පැවති නමුත්, ඔවුන් බලාපොරොත්තු වන්නේ, ඔවුන්ගේ ඉලක්කගත ආසන කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මැතිවරණයට ඉදිරිපත් වන විට ජයග්‍රහණ ලබා ගත හැකි බව ය.
රිෂී සුනක්ගේ රුවන්ඩා සැලසුමට කුමක් වෙයි ද?
මහ මැතිවරණයට පෙර සරණාගතයින් පිරිසක් රුවන්ඩාවට යැවීම ආරම්භ කරන බවට රිෂී සුනක් මීට පෙර ප්‍රතිඥා දී තිබිණි. ඒ හරහා මිනිසුන් කුඩා බෝට්ටුවලින් ඉංග්‍රීසි ඕඩය (English Channel) තරණය කිරීම වැළැක්වෙනු ඇතැයි තර්ක කරමින් ඔහු එම ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීම ඔහුගේ අගමැති ධුරයේ ප්‍රධාන ප්‍රමුඛතාවක් බවට පත් කර ගත්තේ ය.
එහෙත්, මහ මැතිවරණය කලින් කැඳවීමෙන් පසු, ඔහු දැන් පවසා ඇත්තේ, එම සැලැස්ම ජූලි 4 වන දා තමන් යළි අග්‍රාමාත්‍ය ධූරයට පත්වුවහොත් ආරම්භ කරන බව ය.
කිසිදු සරණාගතයෙකු පිටත් කරනු ලබන්නේ ද යන ප්‍රශ්න මතු කරමින්, තමන් බලයට පත්වුවහොත් එම සැලැස්ම අහෝසි කරන බවට කම්කරු පක්ෂය ප්‍රතිඥා දී තිබේ.
දැනටමත් ස්ටර්ලිං පවුම් මිලියන 240ක් වැය කර ඇති මෙම යෝජනා ක්‍රමය, සති හයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධාන පක්ෂ දෙක අතර ප්‍රමුඛ බෙදුම් රේඛාව වනු ඇත.
ප්‍රධාන අපේක්ෂකයින් කවුද?
අද වන විට ඡන්ද සංඛ්‍යාවෙන් වැඩි ම කොටස හිමි කර ගනු ඇතැයි අපේක්ෂා කරන පක්ෂ දෙක වන්නේ, කොන්සර්වේටිව් පක්ෂය සහ කම්කරු පක්ෂය යි.
44 හැවිරිදි අග්‍රාමාත්‍ය රිෂී සුනක් කොන්සර්වේටිව් පක්ෂය මෙහෙයවයි. 2022 වසරේදී ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්වන විට ඔහු 42 හැවිරිදි වියේ පසුවූ අතර, එමගින් ඔහු නූතන කාලයේ එම පදවියට පත් ළාබාලතම පුද්ගලයා බවට පත්විය. ඔහු අගමැති වූ පළමු බ්‍රිතාන්‍ය-ඉන්දියානු ජාතිකයා ද වේ.
කම්කරු පක්ෂයේ නායකත්වය දරන්නේ, 61 හැවිරිදි කෙයිර් ස්ටාර්මර් ය. 2020 වසරේදී ජෙරමි කෝබින්ගෙන් පසු ඔහු පක්ෂ නායකත්වයට පත් කෙරිණි. ඔහු රාජකීය විමර්ශන සේවයේ ප්‍රධානියා සහ මහජන විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ධූරය දැරීය.
මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවට සහ මන්ත්‍රීවරුන්ට කුමක් වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැතිවරණයක් අබියස පාර්ලිමේන්තුව වසා දැමීමේ නිල ක්‍රමය අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අග්‍රාමාත්‍යවරයා රජුගෙන් ඉල්ලීමක් කළේ ය.
ඒ අනුව, මෙය මැයි 30 වන බ්‍රහස්පතින්දා සිදු විය.
මන්ත්‍රී තනතුරු අහිමි වන අතර, ඔවුන්ට යළි පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාව තිබේ නම්, යළිත් පත්වීම සදහා ප්‍රචාරණ කටයුතුවල නිරත විය යුතු ය.
මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසක් පවසා ඇත්තේ, ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ය.
මැතිවරණ ව්‍යාපාරය තුළ අමාත්‍ය හා දෙපාර්තමේන්තු ක්‍රියාකාරකම් සීමා කරන පූර්ව මැතිවරණ කාල පරිච්ඡේදයකට ආණ්ඩුව පිවිසෙනු ඇත.
මැතිවරණ ප්‍රතිඵල නිවේදනය කළ පසු සිදුවන්නේ කුමක් ද?
ඡන්දය ගණනය කිරීමෙන් පසු, වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනූ පක්ෂයේ නායකයාට, අග්‍රාමාත්‍යවරයා ලෙස ආණ්ඩුවක් පිහිටුවන ලෙස රජු දැනුම් දෙයි.
දෙවනුව වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනූ පක්ෂයේ නායකයා, විපක්ෂ නායකවරයා බවට පත් වෙයි.
කිසිදු පක්ෂයකට බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් හිමි නොවන්නේ නම් - එයින් අදහස් වන්නේ එයට තමන්ගේ ම මන්ත්‍රීවරුන් සමග පමණක් එක්ව නීති සම්පාදනය කළ නොහැකි බව ය. එය, බහුතර බලයක් නොමැති පාර්ලිමේන්තුවකි.
මෙවැනි අවස්ථාවකදී, විශාලතම පක්ෂය වෙනත් පක්ෂයක් සමග සභාග ආණ්ඩුවක් පිහිටුවීමට හෝ සුළුතර ආණ්ඩුවක් ලෙස ක්‍රියා කිරීමට තීරණය කළ හැකි අතර, ඕනෑ ම නීතියක් සම්මත කර ගැනීම වෙනත් පක්ෂවල ඡන්දය මත රඳා පවතී.













