ශ්‍රී ලංකා ක්‍රිකට්: නව තේරීම් කමිටුවේ නව තේරීම් මොනවා ද ?

2023 ලෝක කුසලාන ක්‍රිකිට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ වෙනස්කම් කිහිපයක් සිදු විය.

එක්දින සහ 20/20 කණ්ඩායම් සඳහා නව නායකයින් පත් කිරීමට උපුල් තරංග ගේ සභාපතිත්වයෙන් අලුතින් පත් කෙරුණු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගනු ලැබීය.

අද ( ජනවාරි මස 03) වෙනිදා විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උපුල් තරංග පැවසුවේ තමන් ඇතුළු නව ක්‍රිකට් තේරීම් කමිටුව ‘තරුණ ක්‍රීඩකයින්ගෙන් පමණක්’ යන සංකල්පයෙන් බැහැරව කටයුතු කිරීමට සුදානම් බවය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට කොළ එළියක්

තරුණ ක්‍රීඩකයින්ගෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට තම තේරීම් කමිටුවේ බලාපොරොත්තුවක් නොමැති බව එහි සභාපති උපුල් තරංග පැවසුවේය.

ඔහු පැවසුවේ ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කර තිබෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දක්ෂතා අතර සිටිනවා නම් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වාගෙන යනවා නම් ඔවුන්ට කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි බවයි.

"සමහර ක්‍රීඩකයින් ඉන්නවා මීළඟ ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කරන්න පුලුවන්. තවත් අය ඉන්නවා තව අවුරුද්දක් දෙකක් වගේ සෙල්ලම් කරන්න හැකියාව තියෙන."

"ඔවුන් කණ්ඩායම් වෙනුවෙන් සෙල්ලම් කරලා ජයග්‍රහණ ගේන්න පුලුවන් දක්ෂතාවයන් තියෙන ඒ වගේම ජාත්‍යන්තර අත්දැකීම් ගැන නවක ක්‍රීඩකයින්ට බෙදා දෙන්න පුලුවන් අයට මෙතැනදී අවස්ථාව තියෙනවා." ඔහු කියා සිටියේය.

ටෙස්ට් ක්‍රිකට් නායකත්වය ධනංජය ද සිල්වාට

මේ අතර එළඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට ධනංජය සිල්වා නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

මෙම තීරණය ගැන කරුණු පැහැදිලි කරමින් උපුල් තරංග පැවසුවේ ධනංජය සිල්වා එක්දින කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ස්ථානය අනුව ඔහුට ලකුණු අතරට ඒමේ නොහැකියාවක් පවතින බවයි.

"විශේෂයෙන් අපි විශ්වාස කරනවා එක්දින තරග වලදී ඔහු පළමු පිතිකරුවන් කිහිප දෙනා අතර පිතිකරණයේ දී හොඳින් ලකුණු ලබාගෙන තිබෙනවා. ඔහු හොඳ ලකුණු කරා ගිහින් තියෙනවා."

"ඒ වගේම ධනංජය දැන් ක්‍රීඩා කරන්නේ අංක 6-7 කියන පිතිකරණ ස්ථානයේ. ඒකෙන් ඔහුටත් වැඩක් නැහැ වගේම කණ්ඩායමට වැඩකුත් නැහැ."

"ඔහු නැවත එක්දින කණ්ඩායමට එන්න ඕන පළමු පිතිකරුවන් තිදෙනා අතරෙයි. අපි ඒක ඔහුට කිව්වා." තරංග පැවසීය.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ධනංජය ද සිල්වා නම් කර ඇති අතර උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කළ බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග සඳහන් කළේය.

දසුන්ට නායකත්වය අහිමි වුනේ ඇයි ?

වසර කිහිපයක් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් හි නායකත්වය දැරූ දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරිමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් උපුල් තරංග මෙහිදී කරුණු පැහැදිලි කර සිටියේය.

"අපි දැක්කා දසුන් අන්තිම තරගාවලි කිහිපයේදී පිතිකරුවෙක් වශයෙන් අසාර්ථක වුණා. ඉදිරි ලෝක කුසලානය ගැන සලකා බලලයි අපි තීරණය කළේ කුසල් මෙන්ඩිස් එක්ක යන්න." ඔහු කියා සිටියේය.

නව එක්දින සංචිතයේ සිටින්නේ කවුද?

සිම්බාබ්වේ සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ගෙන් යුත් සංචිතයක් නම් කර ඇත.

ඉකුත් ලෝක කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වූ ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු කුමාර, මතිෂ පතිරණ, කසුන් රාජිත සහ දුෂාන් හේමන්ත වැනි ක්‍රීඩකයින් මෙවර සංචිතයට නම් කර නොමැත.

නව සංචිතයට ඇතුලත් ක්‍රීඩකයින් වන්නේ පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (නායක), සදිර සමරවික්‍රම, චරිත් අසලංක, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන් , ඩිල්ෂාන් මධුෂංක , සහන් ආරච්චිගේ, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය සහ වනිදු හසරංග වේ.

ක්‍රීඩකයින්ගේ විනය ගැන බලන්නේ නැද්ද ?

දේශීය ක්‍රිකට් තරගයක් අතර වාරයේදී පසුගිය සතියේදී කුසල් මෙන්ඩිස්ගේ හැසිරීම සම්බන්ධයෙන් මතුවූ සිදුවීමත් සමග කණ්ඩායමේ නායකත්වය සඳහා ක්‍රීඩකයින් නම් කිරීමේදී ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බලන්නේ නැතිදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කරන ලදී.

එම පැනයට පිළිතුරු දෙමින් උපුල් තරංග කියා සිටියේ සෑම ක්‍රීඩකයෙකුමගේම විනය වැදගත් බවයි.

"කණ්ඩායම් ක්‍රීඩාවේදී නායකයාගේ විනය ඉතා වැදගත්. අපි කුසල්ගේ මේ සිදුවීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කළා."

"ඔවුන් දැනුම් දුන්නා ඒ ගැන තරග තීරකවරයා වගේම SSC ක්‍රීඩා සමාජය ඒ ගැන විමර්ශනයක් කරනවා කියලා. ඒක අවසන් කරලා අපිට වාර්තාවක් ලබා දෙන්නම් කිව්වට තවම එය ලැබුනේ නැහැ." ඔහු පැවසුවේය.

මේ අතර එළඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරනු ලැබ තිබේ.

වනිදු ගේ අබාධය ගැන පැහැදිලි කිරීමක්

කෙසේ වුවද මෙම සංචිතය සඳහා නම් කළ වනිදු හසරංග ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

වනිදු හසරංග ගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයක් සිදුකරන ලදී.

නව තේරීම් කමිටු සභාපතිවරයා වනිදු හසරංග ගේ තත්ත්වය ගැන මෙසේ පැහැදිලි කර සිටියේය.

"වනිදු දැන් සුවවෙමින් ඉන්නේ. දේශීය එක්දින තරගාවලියේදී ඔහු එක්දින තරග කිහිපයක් ක්‍රීඩා කරනවා. ඔහු ජාතික සංචිතය සඳහා එක් වෙන්න කලින් මේ දේශීය තරගාවලියේ තරග 3ක් හෝ ක්‍රීඩා කරන්න අවශ්‍යයි කියලා භෞතික චිකිත්සකවරයා අපිට දැනුම් දීලා තියෙන්නේ."

ක්‍රීඩකයින් සිය ස්ථාවරත්වය පවත්වාගෙන යන්න අවශ්‍යයි

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ගේ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ පන්දු රැකීමේ දුර්වලතාවයන් පසුගිය කාල සීමාව පුරාවට දක්නට ලැබුණු බවත් එම වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතු බවය.

"ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය උසස් විදිහට පවත්වාගෙන යාම අනිවාර්යෙන්ම සිදුකළ යුතුයි. ඒ වගේම ඛෙත්තාරාම යේ තියෙන හයිපර්ෆෝමන්ස් ට්‍රේනින් සෙන්ටර් එකේ සිදුකරන පුහුණු කිරීමේ කටයුතුවල වෙනසක් දකින්නට පුලුවන්." ඔහු කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් නගන ලද පැනයකට පිළිතුරු දෙමින් නව තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියේ කිසිදු ක්‍රීඩකයෙකු අතහැර නොමැති බවය. සියලු දෙනාගේ දක්ෂතාවයන් සහ පළපුරුද්ද කණ්ඩායමට වටිනා බව ඔහු පැවසුවේය.

භානුක සහ ඇන්ජලෝට මොකද වෙන්නේ ?

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයෙන් ඉවත් කර සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් විස්සයි 20 ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත් කිරීමට නව තේරීම් කමිටුව විසින් කටයුතු කිරීම ගැන මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරන ලදී.

ඊට පිළිතුරු දෙමින් උපුල් තරංග කියා සිටියේ භානුක රාජපක්ෂ දක්ෂ සහ තරග දිනවිය හැකි ක්‍රීඩකයෙකු බවයි.

"භානුක අපේ T-20 සිස්ටම් එකේ හිටිය කෙනෙක්. අපි දන්නවා ඔහුට තරගයක් දිනවන්න පුළුවන් කෙනෙක්. ඒක අපි ආසියානු කුසලානයේ දී දැක්කා."

ක්‍රීඩකයින්ට ෆිට්නස් එක තියෙන්නේ ඕන ජාත්‍යන්තර තරග වලදී.

"ඉදිරියේ තියෙන විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් ඔහුව අපේ සිස්ටම් එකේ තියාගෙන ඉන්නවා." ඔහු කියා සිටියේය.

දේශීය තණතීරු ගැන විශේෂ අවදානයක්

මෙරට දේශීය තරග සඳහා ලබා දෙන තණ තීරු සම්බන්ධයෙන් ක්‍රීඩකයින් පවා මැසිවිලි නගන බව මෙහිදී උපුල් තරංග පැවසුවේය.

"ක්ලබ් ටුනමන්ට් එකේදී ලැබෙන විකට් ගැන අපි සෑහීමට පත්වෙන්නේ නැහැ. ක්‍රීඩකයින් එක්ක කතා කරන කොට ඔවුන් කියනවා ඔවුන්ගේ රිද්මය පවත්වාගෙන යන්න සහ ජාතන්තර මට්ටමේ දී ක්‍රීඩාකරන්න ලැබෙන විකට් වෙනස් කියලා."

"මේ ගැන ක්‍රිකට් ආයතනයේ සැහෙන්න සාකච්ඡාවක් ගියා. ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලැස්මක් තියෙනවා ජාතික තණතිරු සකස් කරන්නන් පස් දෙනෙක් පත් කරලා ඉදිරි අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි වලදී තණ තීරූ සැකසීම අධික්ෂණය කරන්න." ඔහු පැවසුවේය.

'අපිම ක්‍රීඩකයින්ට කතා කරනවා'

එමෙන්ම තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ක්‍රිකට් සංචිතය සඳහා තෝරනු ලබන ක්‍රීඩකයින් සහ තේරීමට පත්නොවන ක්‍රීඩකයින්ට පෞද්ගලිකවම කතා කර දැනුවත් කිරීමට තමන් පියවර ගත් බව ඔහු පැවසුවේය.

"මම හිතන්නනේ මාධ්‍යයෙන් දැන ගන්න කලින් අපිම ඔවුන්ට ( ක්‍රීඩකයින්ට) කතා කරන එක හොදයි. මම ඒ වගේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කතා කළා. ඔවුන් සංචිතයට තේරුණාද නැද්ද කියලා අපිම දැනුම් දෙනවා." ඔහු කීයා සිටියේය.