හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි නේපාලයේ අන්තර්කාලීන අගමැති ධූරයට

    • Author, බීබීසී සිංහල

නේපාලයේ නව අන්තර්කාලීන අගමැතිවරිය ලෙස එරට හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි අද (සැප්තැම්බර් 12 වැනිදා ) රාත්‍රියේ දිවුරුම් දුන්නාය.

ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් විසින් ඇයව නේපාලයේ අන්තර්කාලීන අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ලැබුවේ Gen Z පාර්ශවය විසින් නිර්දේශ කළ පරිදි ය.

ඒ අනුව ඇය නේපාලයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක්වේ.

Gen Z විරෝධතා පාර්ශවයේ නායකයින්, ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් සහ අනෙකුත් දේශපාලන නායකයින් මෙන්ම නීති විශේෂඥයින් අතර දින කිහිපයක් පැවති සාකච්ඡාවලින් පසුව ඇයව අන්තර්වාර අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට එකඟතාවයට එළඹ තිබේ.

දූෂණයට සහ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව විරෝධතා දැක්වූ Gen Z තරුණ විරෝධතාකරුවන්ගේ දැවැන්ත විරෝධතා මධ්‍යයේ ඉකුත් අඟහරුවාදා නේපාල අගමැති කේපී ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

විරෝධතාව සහ ඒ ආශ්‍රිත සිදුවීම් අතරතුර පුද්ගලයින් 51 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බව නේපාල පොලිසිය පවසයි.

තාවකාලික අගමැතිනිය ලෙස පත් කරන ලද සුෂිලා කාර්කි, මාස හයක් ඇතුළත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුව නොදුරේදීම විසුරුවා හැරෙනු ඇත.

පිරිසිදු ප්‍රතිරූපයක් ඇති අයෙකු ලෙස කාර්කි පුළුල් ලෙස සලකනු ලබන අතර, අන්තර්කාලීන රජයට නායකත්වය දීම සඳහා ඊනියා "Gen Z" කණ්ඩායමේ ශිෂ්‍ය නායකයින්ගේ සහාය ඇයට හිමිව තිබේ.

අන්තර්කාලීන අගමැති ධුරයට පත් කෙරුණ සුෂිලා කාර්කි යනු කවුද?

නේපාලයේ අධිකරණ පද්ධතිය ස්ථාපිත කිරීමේ වසර 65 කට වැඩි ඉතිහාසයේ පළමු කාන්තා අගවිනිසුරුවරිය බවට පත්වූයේ සුශිලා කාර්කි ය.

නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයේ වසර 75 ක ඉතිහාසයේ පළමු කාන්තා අගමැතිනිය වන්නේ ඇයයි.

ඇය අගවිනිසුරු ධුරයට පත්වන විට, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කර වැඩි කාලයක් ගත වී නොතිබූ අතර, ඒ වන විට, මහාධිකරණයක් පිහිටුවීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ පරිපාලනය අභියෝගක් වී තිබිණි.

ඊට අමතරව, ඇය අගවිනිසුරු ධූරයට පත්වූයේ වසර ගණනාවක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවති සහ විනිසුරුවරුන් සංඛ්‍යාව අඩු මට්ටමක පැවති කාලයකදීයි.

මතභේද කිහිපයක් හැරුණු විට, ඇයගේ ධුර කාලය පිළිබඳව මහජනතාව බොහෝ විට ප්‍රශ්න මතු කර නොමැත.

බිරත්නගර් හි උපත ලැබූ 73 හැවිරිදි ඇය ඉන්දියාවේ බනාරස් හින්දු විශ්ව විද්‍යාලයෙන් සහ නේපාලයේ ත්‍රිභුවන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු නීති වෘත්තියට පිවිසියාය.

බිරත්නගර් සහ ධරන් හි දශක තුනකට වැඩි කාලයක් ක්‍රියාකාරී නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසු ඇය සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරියක් ලෙස පත්වීම් ලැබුවාය.