IMF: සිය බලාසිටීමේ 200 වැනි දිනයේ දී තම අපේක්ෂාව ඉටුකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවෙයිද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් (IMF) අපේක්ෂිත ණය සහනය තවත් දින 04කින්, එනම් මාර්තු 20වැනිදා අනුමත වනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂාවෙන් පසුවෙයි.
එම අපේක්ෂාව සමගින් ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහ පැරිස් සමාජයේ ණයහිමියන්ට විවෘත ලිපියක් යොමුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාර්තු 14වැනිදා පියවර ගත්තේය.
ජනපතිගෙන් සහතිකයක්...
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම ලිපියෙන් ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් විනිවිදභාවයකින් සහ නිරන්තර යාවත්කාලීන කිරීමකින් කටයුතු කරන බවට ජනාධිපතිවරයා ඉන් සහතික කර ඇත. ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන වර්තමාන තත්ත්වය දක්වා ගෙන ඒම සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා එහිදී විශේෂයෙන්ම පැරිස් සමාජයට සහ ජපානයට ස්තුතිය පළකර ඇති අතර, මූල්‍ය අරමුදලේ නිර්දේශයන්ට අනුකූල ලෙස මූල්‍ය සහතික කිරීම් ලබාදීම පිළිබඳව ඉන්දියාවට සහ චීනයට සිය කෘතඥතාව පළ කර ඇත.
"සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස අපි ඉල්ලා සිටි විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳව සලකා බැලීම වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා විසින් 2023 මාර්තු 20 වන දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන බවට පසුගිය අඟහරුවාදා කරන ලද නිවේදනය මම සාදරයෙන් පිළිගත්තේ ඉමහත් තෘප්තියකින් සහ අවංක බලාපොරොත්තුවකිනි. ඔබගේ කඩිසරකමට ප්‍රශංසා කිරීමට සහ විශේෂයෙන්ම පැරිස් සමාජයේ ණයහිමියන්ට හා ජපානයට මෙම අවස්ථාවට පැමිණීමට අවශ්‍ය සහයෝගීතාව ලබාදීම සහ IMF නිර්දේශයන්ට අනුකූලව මූල්‍ය සහතික ලබාදීම පිළිබඳව ඉන්දියාවට සහ චීනයට මගේ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. මෙම ප්‍රයත්නයන්ට සහාය වීම ගැන පැරිස් සමාජ ලේකම් කාර්යාලයට ද මම ස්තූතිවන්ත වෙමි.” යනුවෙන් එහි සඳහන් වේ.
"පසුගිය ජූලි මස බලයට පත් වූ දා සිට, මගේ රජය සහ මම ඔබ සියලු දෙනා සමග සද්භාවයෙන් කටයුතු කරමින්, අපගේ ණය තත්ත්වය පිළිබඳ නිසි තක්සේරුවක් කිරීමට, ණය තිරසාරත්වය පවත්වාගෙන යෑමට සහ අපගේ අරමුදල් පරතරය පියවා ගැනීමට මෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය සියලු තොරතුරු සපයමින් සිටිමු. විස්තීරණ අරමුදල් පහසුකම(EFF) සඳහා අපගේ කැපවීම ප්‍රදර්ශනය කිරීමට සහ ප්‍රතිසංස්කරණ සඳහා වූ මාවතේ අඛණ්ඩව ඉදිරියට යෑමට මගේ රජය සියලු උත්සාහයන් යොදවා ඇත. IMF සමඟ එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග මගින් අපගේ පරිපාලනය දැනටමත් විශාල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ඇත." යනුවෙන් වැඩිදුරටත් එහි සදහන් කොට තිබේ.
මෙය රටේ ආර්ථික යහපැවැත්ම සහ අනාගත සංවර්ධනය සඳහා පෙර නොවූ විරූ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් අවධාරණය කර ඇත.
"ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 75 ක කාලය තුළ අපගේ ආර්ථික යහපැවැත්ම සහ අනාගත සංවර්ධනය සඳහා මීට වඩා තීරණාත්මක කාල පරිච්ඡේදයක් නොතිබිණි. ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීම, පාලනය ශක්තිමත් කිරීම, වඩාත් අවදානමට ලක්විය හැකි අයට සහාය වන සමාජ ආරක්ෂණ දැල් පුළුල් කිරීම සහ අන්තර්ජාතික ව්‍යාපාර සඳහා ආකර්ෂණිය ආර්ථිකයක් වර්ධනය කිරීමට අපට හැකි බව සහතික කිරීම ඉලක්ක කරගත් ශක්තිමත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් අප හඳුන්වා දී ඇත්තේ එබැවිනි. අපි අපේ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කරන ආකාරය සහ අපගේ ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු කිරීමෙන් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔවුන් ඉදිරියෙන්ම සිටින බව සහතික කරන්නෙමු.” ජනාධිපතිවරයා යවන ලද ලිපියේ දැක්වෙයි.
“අපේ රට වෙනුවෙන් මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන ඉතා වැදගත් වනු ඇත. එබැවින්, මෙම නව යුගය ආරම්භ වන්නේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ දිගුකාලීන හවුල්කරුවන් ලෙස ඔබ සමඟ මෙන්ම අපගේ වාණිජ ණය හිමියන් සමඟ අපගේ ණය තත්ත්වය නිරාකරණය කිරීමත් සමගිනි. අපට එකට කළයුතු තවත් කටයුතු රැසක් පවතී. අපගේ ඉදිරි කාර්යභාරය තුළ, නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ සම්බන්ධීකරණය පවත්වාගෙන යෑමට සහ එම කටයුතු පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට මම ඔබව දිරිමත් කරමි. එය අපගේ ණය වැඩසටහන කාර්යක්ෂම, විනිවිදභාවයෙන් හා සාධාරණව ක්‍රියාත්මක කිරීමේ හොඳම ක්‍රමයයි. ඒ සඳහා, මම පැරිස් සමාජයේ ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන්, විශේෂයෙන් ජපානයෙන්, ඉන්දියාව සහ චීනය ඇතුළු අපගේ අනෙකුත් නිල ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන්, ඔබට සුදුසු යැයි පෙනෙන පරිදි සම්බන්ධීකරණය කර, එම වැඩසටහන පෝෂණය කරන ලෙස ඉල්ලා සිටිමි.”
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී සාධාරණ ලෙස වගකීම් බෙදා ගැනීම සහතික කිරීම සඳහා, සියලුම බාහිර ණයහිමියන්ට සමාන සැළකීමක් සඳහා වන සිය කැපවීමද ජනාධිපතිවයා මෙහිදී අවධාරණය කර තිබේ.
"ඕනෑම ණයහිමියෙකු හෝ ණයහිමියන් කණ්ඩායමක් සමඟ, එකඟ වූ ඕනෑම ණය සහන කොන්දේසි පිළිබඳව ඔබ සියලුදෙනා සමඟ විනිවිදභාවයෙන් සන්නිවේදනය කිරීමට අපි බැඳී සිටිමු. ඒ ආකාරයෙන්ම, රට විසින් දරනු ලබන කිසිදු මූල්‍ය වගකීමක් අනාවරණය නොවන බව සහතික කරමින්, අපගේ ණයගැතිභාවය පිළිබඳව නිතිපතා වාර්තා කිරීමට අපි බැඳී සිටිමු. දෙවනුව, එම ණයහිමියා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව විස්තීර්ණ ණය සහනයක් සඳහා එකඟ වන්නේ නම් මිස, කිසිදු ණයහිමියෙකු වෙත ණය සේවා නැවත ආරම්භ නොකිරීමට අපි බැඳී සිටිමු.”
තෙවනුව, ප්‍රතිව්‍යුහගත කරන ලද සියලුම ණය සඳහා සර්ව-පූර්ණ සාධාරණ බර බෙදාගැනීම සහතික කිරීමේ අරමුණින්, අපගේ සියලුම බාහිර ණයහිමියන්ට සමාන සැළකීමක් සඳහා අපගේ කැපවීම අපි නැවත අවධාරණය කරමු. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ණය ඉලක්ක මගින් නියම කර ඇති පරිමිතියෙන් පිටත ණය සහනයක් පිරිනැමීම මගින් ශ්‍රී ලංකාවේ ණය නැවත දරාගත නොහැකි තත්ත්වයට පත් කිරීමේ අවදානමක් නිර්මාණය වේ. මෙම පැහැදිලි කිරීම් මගින් ඔබ සැමට සැනසීමක් ලබා දෙන අතර ණය සහන පිළිබඳ සාකච්ඡාවල මීළඟ අදියර වෙත වේගයෙන් ප්‍රගතියක් ලබා ගැනීමට අපට හැකි වනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි. මෙය අපේ රටට ඉතා වැදගත් ය. මගේ පරිපාලනය සහ මම කිරීමට කැපවී සිටින ආකාරයටම, නිවැරදි දේ කිරීමට අපි ඔබ සැම මත විශ්වාසය තබමු." ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
කිසිදු පාර්ශවයකට විශේෂ වාසියක් නැහැ
ජනාධිපතිවරයාගේ මෙම ලිපියෙන් අනතුරුව ණයහිමියන් සමග ඉදිරියේදී කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන ආකාරය තවදුරටත් පැහැදිලි කරමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටියද (මාර්තු 15 වැනිදා) නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ, කිසිදු පාර්ශවයකට විශේෂ වාසියක් සිදුනොවන පරිදි සියලු ණයහිමියන්ට සමාන වන ආකාරයට ගිවිසුම්ගත වීමට රජය සූදානම් බවයි.
අමාත්‍යවරයා පැවසුවේ ලබන 20 වන දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වූ පසු බලාපොරොත්තු වන ඉලක්කයන් කරා ගමන් කිරීමට එකඟතාවය ලබාගත හැකි වනු ඇති බවයි.
ඉන්පසු ඇතිවන වැදගත්ම කාරණය ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම බවත් එහිදී ණය ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම, පොළිය අවශ්‍ය ආකාරයට සකස් කරගැනීම ආදිය මගින් ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය සකස්කර ගැනීම ඉන්පසු ඇති වැදගත්ම අවස්ථාව බවද අමාත්‍යවරයා පැවසීය.
එහිදී කිසිදු පාර්ශවයකට විශේෂ වාසියක් සිදුනොවන පරිදි සියලුදෙනාට සමාන වන ආකාරයට ගිවිසුම්ගත වීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කරනු ලැබිණි."
මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා වක්‍රාකාරයෙන් ප්‍රකාශ කිරීමට උත්සහ කර ඇත්තේ, ඉදිරි ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී පොදු රාමුවක් සකසා ගැනීමේදී ඇතැම් ණයහිමියන්ට හෝ ණයහිමියකුට වාසියක් වනු ඇතැයි යන සැකය අනෙකුත් ණයහිමියන්ට උද්ගතවනු ඇතැයි යන්න බව දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට එකඟතාව පළකර ඇති ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය යන පාර්ශවවලට මෙම සැකය උද්ගත විය හැකි බව රජය පූර්වේක්ෂණය කර ඇති බව පෙනෙන්නට ඇත්තේ චීන පාර්ශ්වය විසින් ලබාදී ඇති, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිලිබඳ එකඟතාව තවමත් අපැහැදිලි මට්ටමක පවතින බැවිනි.
චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් නව සහයෝගය කුමක්ද?
ලොව විශාලතම ස්වෛරී ණයහිමියා වන චීනය පසුගිය සඳුදා (මාර්තු 06වැනිදා) ශ්‍රී ලංකාවට ලබා දුන් නව සහයෝගය කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි නැත. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් අතරින් ඉන්දියාව පළමු වරට ශ්‍රී ලංකාවට ලබාදී ඇති සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකඟතාව පළකරන බව පසුගිය ජනවාරි 16වැනිදා IMF වෙත දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව, මාස ගණනක ශ්‍රී ලංකාවේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි චීනය, ජනවාරි 25වැනිදා සිය ණය සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කරනු ලැබීය. එමගින් චීනයේ අපනයන-ආනයන බැංකුව(Exim Bank) ශ්‍රී ලංකාවට එහි ණය සඳහා වසර දෙකක(2023-24) නොගෙවා සිටීමේ කාලසීමාවක් ලබාදෙන බව ප්‍රකාශ කෙරිණි. එහෙත් IMF පාර්ශ්වය මෙන්ම එක්සත් ජනපදය වැනි ණයහිමියන්ද පෙන්වා දුන්නේ චීනයේ එම එකඟතාව ප්‍රමාණවත් නොවන බවයි. විශේෂයෙන්, පෙබරවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම්, වික්ටෝරියා නූලන්ඩ් කොළඹදී ජනමාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් චීනයට දැඩි ප්‍රහාරයක් එල්ල කළාය.
"චීනය මෙතෙක් ඉදිරිපත් කර ඇති දේ ප්‍රමාණවත් නොවේ. ණය සහන පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රමිතිය සපුරාලන බවට විශ්වාස කළ හැකි සහ නිශ්චිත සහතික කිරීම් අප දැක ගත යුතුය" යැයි ඇය එහිදී අවධාරණය කළාය. මූල්‍ය අරමුදලේ විදේශ විනිමය සංචිත වත්කම්(SDR) මිලියන 82,994.2ක් හිමි(එහි ප්‍රතිශතය 17.43%කි) විශාලතම පාර්ශ්වකරුවා වන එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද එම ප්‍රහාරය විසින්, චීන මූල්‍ය සහතිකය IMF වපරිසය තුළ කඩිනමින් බලරහිත කිරීමට ප්‍රමාණවත් විය.
සිය ණය වෙනුවෙන් ප්‍රමාණවත් සහතිකයක් ලබාදෙන ලෙස ඉන් අනතුරුව නැවත වතාවක් චීනයෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
පසුගිය මාර්තු 06වැනිදා චීනය විසින් නැවත වතාවක් ශ්‍රී ලංකවට තවත් ලිපියක් යොමුකරනු ලබන්නේ ඒ අනුවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ලිපිය ලැබූණු බව පසුදා ප්‍රකාශයට පත්කළද එහි අන්තර්ගතය අනාවරණය කරනු නොලැබීය. කෙසේවෙතත් එම ලිපිය දැකගත් බව තහවුරු කරන ලද දේශීය පුවත්පත් පසුගිය සතිඅන්තයේ වාර්තා කර තිබුණු ආකාරයට චීනය විසින් එවන ලද පළමු ලිපිය හා අවසන් වරට එවන ලද දෙවැනි ලිපිය අතර විශාල වෙනස්කමක් නොපවතී. එහි දැකගන්නට ඇත්තේ වෙනස්කම් දෙකක් පමණකි.
ඉන් පළමු වෙනස්කම වන්නේ ශ්‍රී ලංකාවට ආමන්ත්‍රණය කොට එවා තිබූ පළමු ලිපිය වෙනුවට මෙම දෙවන ලිපිය අන්තර්ජාතික මූල්‍ය අරමුදල ආමන්ත්‍රණය කොට එවීමට පියවර ගෙන තිබීමය.
දෙවැනි වෙනස වන්නේ ලිපියේ එක් වාක්‍යයක සුළු වෙනස්කමක් පමණක් දැකගන්නට ලැබීමය. එම වාක්‍යයේ සඳහන්ව ඇත්තේ, ‘We are considered to see other options’ (අප අනෙකුත් විකල්පයන් සලකා බැලීමට සූදානම්ය) යන්නය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මෙම නොනිල වාර්තාවන් තහවුරු කරගැනීමට හැකිවන්නේ, අපේක්ෂිත ආකාරයට මාර්තු 20වැනිදා රැස්වීමට නියමිත IMF විධායක මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක ණය මුදල අනුමත වීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මාර්තු 09වැනිදා විදේශීය පුවත් සේවයකට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ, ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී සිය ණයප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය. ඒ අනුව, ඒ වෙනුවෙන් ද්විපාර්ශ්වික ණයහිමියන් සමග පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත සාකච්ඡා වටයේදී චීනයේ මෙම දෙවන ලිපිය අන්තර්ගත තොරතුරු අනෙකුත් ණයහිමියන් හමුවේ අනිවාර්යයෙන්ම හෙළිදරව් කිරීමට සිදුවනු ඇත.
චීනය යනු ශ්‍රී ලංකාවේ විශාලතම ණයහිමියෙකි. 2020 අවසානය වන විට, IMF දත්ත වලට අනුව, ශ්‍රී ලංකාව චීනයේ අපනයන-ආනයන බැංකුවට ඩොලර් බිලියන 2.83 ක් හෝ දිවයිනේ විදේශ ණයවලින් 3.5%ක් ණය වී ඇත.
සමස්තයක් වශයෙන් ගත් කල, 2022 අවසානය වන විට ශ්‍රී ලංකාව චීන ණයදෙන පාර්ශ්වවලට ඩොලර් බිලියන 07කට වැඩි ප්‍රමාණයක් හෝ රාජ්‍ය බාහිර ණයවලින් පහෙන් පංගුවක ප්‍රමාණයක් ණය වී ඇති බව 2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය විසින් සිය ණයහිමියන් වෙනුවෙන් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.
අවසාන වරට අනාවරණය කෙරුණු ආකාරයට චීනය විසින් වසර දෙකකට ප්‍රමාද කිරීමට එකඟතාව පළකර ඇත්තේ මෙම ඩොලර් බිලියන 07න්, බිලියන 02ක ප්‍රමාණයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ණය මුදල් නිකුත් කිරීමේදී ප්‍රමාදයක් වෙයිද?
චීනය සහ බටහිර ආර්ථිකයන් ණය සහන ලබාදෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටුම් ඇතිකරගෙන ඇති බැවින් සැම්බියාව වැනි රාජ්‍යයන්වලදී IMF ණය වැඩසටහන් පෙර නොවූ විරූ ප්‍රමාදයකට මුහුණ දී තිබෙන බවට උදාහරණ පවතී.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සමග අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වාදුන්නේ, සැම්බියාව වැනි රටවලට IMF විධායක මට්ටමේ අනුමැතිය හිමිවුවද, ණයහිමියන්ගේ ගැටලු හේතුවෙන්, ණය මුදල් නිකුත් කිරීමේදී ප්‍රමාදයන් සිදුවෙමින් පවතින බවයි.
"මෑතකාලීනව පැරිස් සමාජයට පිටින් රටවලට ණය ලබාදීපු චීනය වගේ රටවල් නිසා, පොදුවේ ලෝකයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් ප්‍රමාද වෙනබව පේන්න තියෙනවා. සැම්බියාව වගේ රටවලදී වුණෙත් ඒක. චීනය ප්‍රමාද කරලා කරලා අනුමැතිය ලබාදුන්නට, මූල්‍ය අරමුදලේ අවසන් සහතිකය ලැබිල තිබුණට, තවමත් ණය මුදල නිදහස් කරලා නැහැ. ලංකාවට වුණත් මූල්‍ය අරමුදලේ ණය අනුමත වුණාට, ණය මුදල නිදහස් කිරීම ක්ෂණිකව සිදුවෙයි ද කියන එක සැකසහිතයි."
අනෙක් අතට චීනය අඩු සහනයක් ලබාදෙද්දී අනෙක් ණයහිමියන් ඊට වඩා වැඩි සහනයක් ලබාදෙන්නේ නම්, අනෙක් ණයහිමියන් ලබාදෙන සහනය වක්‍රාකාරයෙන් චීනයට වාසියක් වන බැවින් එහිදී ගැටලුවක් පැනනගින බවද ආචාර්ය දුනුසිංහ පෙන්වාදෙයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී සිය ණයහිමියන්ට සමාන හිමිකමකින් සලකන බවට ශ්‍රී ලංකා රජය නැවත නැවත අවධාරණය කරන්නේ මේ නිසා බව හඳුනාගැනීම අපහසු නැත.
කෙසේ හෝ වේවා, විශේෂයෙන් සිය ණයහිමි පාර්ශ්වවල ගැටලු සහ තවත් තත්ත්වයන් හේතුවෙන් දැනටමත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගනුදෙනුවකට එළඹීමෙන් පසු, ණය ගිවිසුම අවසන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දැනටමත් දින 196 ක්(මාර්තු 16වැනිදා වන විට) පමණ බලාසිට තිබේ.
දැන් ශ්‍රී ලංකාව බලාසිටින්නේ තවත් දින 04ක් ගතවනතුරුය.
එනම් මාර්තු 20 වැනිදා IMF අවසන් සහතිකය ලැබෙනතුරුය.
සිය බලාසිටීමේ 200 වැනි දිනයේදී එම අපේක්ෂාව ඉටුකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණහොත්, ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය අතරමග පවතිද්දී පවා, එය ශ්‍රී ලංකා IMF ණය වැඩසටහන් ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් වනු ඇත.













