ප්‍රසිද්ධියේ වැළඳගැනීම වරදක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පේරාදෙණිය විශ්වවිද්‍යාලයය යනු ප්‍රේමය තේමා කරගත් බොහෝ නිර්මාණවලට පසුබිම් වූ විශ්වවිද්‍යාලයයකි. එය පසුබිම් කරගෙන නාට්‍ය, චිත්‍රපට මෙන් ම ගීත ද විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ.
එනිසා ම බොහෝ අයට සරසවි ප්‍රේමය කියූ සැනින් ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයය සිහිවීම අරුමයක් නොවේ.
එහෙත් පසුගිය දිනක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී තමාට සහ පෙම්වතියට මුහුණ දීමට සිදු වූ වෙනස් අත්දැකීමක් එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයකු වන වන ලහිරු එස්. ප්‍රියන්කර සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණි.
එහි සඳහන් වූයේ සිය පෙම්වතියට සමු දීමට ඔහු ඔවුන් රැඳී සිටි සනාතන මන්දිරය ආසන්නයේ දී ඇය වැළඳගත් අවස්ථාවේ දී විශ්වවිද්‍යාලයයේ විනයාරක්ෂක නිලධාරින් විසින් ඔවුන්ට බාධා කළ පුවතකි.
එහි දී, "ඕයි, තමුසෙ හිතාගෙන ඉන්නෙ මේ කොහෙ කියලද?" යනුවෙන් විනයාරක්ෂක නිලධාරියා තමාට බැනවැදුණු බව සිසුවා සඳහන් කර තිබේ.
"එයා දුර තියාම අපට බැණවැදෙමින් අපි ළඟට තවත් සිකියුරිටි කෙනෙක් එක්ක ඇවිත් මගේ ශිෂ්‍ය හැඳුනුම්පත ඉල්ලුවා (එයා ඒක ඉල්ලුවේ විනය කඩ කිරීමක් නිසා හැඳුනුම්පත එයා වෙත පවරා ගැනීමේ අණමය ස්වරයකින්).
"මම කිව්වා 'මොකක්ද මම කරපු වැරැද්ද, අයි ඩී එක දෙන්න බෑ,' කියලා," සිසුවා පවසයි.
පසුව මෙම සිසුවාත් ඔහුගේ පෙම්වතියත් ඔවුන්ට සහාය දැක්වීමට පැමිණි කණ්ඩායමක් සමග ඉහත සිදුවීමට විරෝධයක් ලෙස මාර්තු දෙවන දින සනාතන මන්දිරය ඉදිරිපිටට ගොස් දෘෂ්‍ය කලා ඉදිරිපත් කිරීමක් කර තිබුණි.
එහි දී ඔවුන් දෙදෙනා නැවත වැළඳගෙන තිබුණු අතර ඔවුන්ට සහාය දැක්වීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිපදෙනෙකු ද එම ස්ථානයට පැමිණ සිට තිබේ.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post
විශ්වවිද්‍යාලය තුළ වැළඳගැනීම තහනම් ද?
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළ යම්කිසි ආකාරයක විනය නීතිරීති පවතින්නේ ද යන කාරණය පිළිබඳ විමසීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ලමාවංස අපි සම්බන්ධ කරගත්තෙමු.
ඔහු ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල සිසුන්ට සිය නිදහස උපරිමයෙන් භුක්ති විඳීම සඳහා විශ්වවිද්‍යාලය තුළ විවිධ ස්ථාන පවතින බවත්, ප්‍රශ්නගත සිදුවීම සිදු වී ඇත්තේ සනාතන මන්දිරය අසල නිසා මේ වන විට එම සිද්ධිය හරියාකාරයෙන් සොයාබැලීමට පරීක්ෂණයක් කරමින් පවතින බවත් ය.
"සිපගැනීමක, වැළඳගැනීමක විශාල පරාසයක් තිබෙනවානෙ. පාසල් ළමුන් එන, දෙමවුපියන් එන තැනක එහෙම කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තියෙනවා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට උපරිම නිදහස විඳින්න තැන් තියෙනවා. මේක වෙලා තියෙන්නෙ සෙනට් සභාව පහළ. ඒ සිද්ධියට අදාල පරීක්ෂණ අවසන් නැති නිසා මට අවසාන උත්තරයක් කියන්න බෑ," මහාචාර්යවරයා පිළිතුරු දුන්නේ ය.
ප්‍රසිද්ධ තැන්වල සිපගැනීම, වැළඳගැනීම පිළිබඳ ව ඇති නීතිරීති මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ප්‍රසිද්ධ ස්ථානවල සිප වැළඳගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින නීති මොනවා ද යන්න පිළිබඳ දැනගැනීම සඳහා නීතීඥ ජයන්ත දෙහිඅත්තගේගෙන් අපි විමසීමක් කළෙමු. ඔහු පැවසුවේ ඒවා පිළිබඳ නිශ්චිතව ම දක්වා ඇති නීති නැති නමුත් පොලිසිය විසින් සාමාන්‍යයෙන් පෙම්වතුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදාගන්න නීති දෙකක් ඒ සඳහා අදාළ වන බව යි.
"මේ ගැන යොදාගන්න පුළුවන් කියලා තියෙන එකක් තමයි 1841 අංක 04 දරණ අයාලේ යාමේ ආඥා පනත. එය පාදඩ ආඥා පනත ලෙසත් හඳුන්වනවා. 1841 සම්මත කළත් තවම අපේ නීති පද්ධයේ තිබෙන එම ආඥා පනතේ 7 වන වගන්තියේ 1(b) අනුවගන්තියට අනුව ප්‍රසිද්ධ ස්ථානයක සදාචාර විරෝධී ක්‍රියාවක්, එසේත් නැතිනම් විනයවත් නොවන ක්‍රියාවක් සිදුකිරීම වරදක් බවට සඳහන් වෙලා තිබෙනවා. නමුත් ඒ සදාචාර විරෝධි ක්‍රියාව මොකක්ද කියලා නිශ්චිත ව අර්ථ දක්වලා නෑ."
පෙම්වතුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී පොලිසිය බහුල ව ම යොදාගන්නේ මෙම නීතිය බව ඔහු පවසයි.
"පෙම්වතුන් දෙදෙනෙක් වැළඳගැනීම එක පොලිස් නිලධාරියෙක්ට සාමාන්‍ය දෙයක් විදිහටත් තව කෙනෙක්ට අනුව සදාචාර විරෝධී දෙයක් වෙන්නත් පුළුවන්" යැයි පැවසූ ඔහු, ඊට අමතර ව දණ්ඩ නීති සංග්‍රහයේ ද සදාචාර විරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් සඳහන් වන නමුත් එම නීතිය සරළ සිපවැළඳගැනීම්වලින් ඔබ්බට ගිය ලිංගික වරදවල් ලෙස නම් කරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නක් බව සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති පද්ධතිය තුළ සිපවැළඳගැනීම් සම්බන්ධයෙන් නිශ්චිත නීති පනවා නොමැති අතර, යම් අවස්ථා වල දී පාදඩ ආඥා පනතේ නීති ඒ සඳහා ආදේශ කිරීම සිදු වේ.
වැළඳගැනීමක් දඬුවම් ලැබිය යුතු වරදක් ද?
මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නීතිඥ ගයාත්‍රී නවරත්න පවසන්නේ වැළඳගැනීමක් යනු මනුෂ්‍යයන් ලෙස අප අගය කළ යුතු මානුෂීය ක්‍රියාවක් බවයි.
වැළඳගන්නා අයගේ කැමැත්ත හෝ එකඟතාව මත එය සිදුවන්නේ නම් එය කිසිසේත් ම දඬුවම් ලැබිය යුතු වරදක් නොවන බව ඇය පෙන්වා දුන්නාය.
"දෙදෙනෙක් තමන්ගෙ එකඟතාවයක් මත කරන වැළඳගැනීමක් මනුෂ්‍යයන් විදිහට අපි අගය කරන්න ඕනෑ. එවැනි එකඟතාවයක් තිබෙනවා නම් එය කිසිසේත් ම දඬුවම් නියම කළ යුතු වරදක් වෙන්න බෑ. අපි ඒක සතුටින් භාරගත යුතු දෙයක්. ගැටුම්කාරී තත්ත්වයක් වුණත් Hug එකකින් (වැළඳගැනීමකින්) විසඳගන්න පුළුවන්. Hug එකක් කියන්නෙ හරි ම මානුෂීය දෙයක්."












