විරෝධතාකරුවෙකු මිය යෑමේ සිද්ධිය ගැන ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්විය යුතුයි-ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

ශ්‍රී ලංකා බලධාරීහු බලය භාවිතා කිරීමේදී සංයමයෙන් ක්‍රියා කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ බලධාරීන් සාමකාමීව රැස්වීමට ඇති අයිතියට පහසුකම් සැලසිය යුතුය බවය.

කොළඹදී විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් නීති විරෝධී ලෙස ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කිරීම හේතුවෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවට වූ පුවතට ප්‍රතිචාර දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි විරෝධතා දැක්වීමේ අයිතිය පිළිබඳ කලාපීය පර්යේෂක හරින්ද්‍රිනී කොරියා පැවසුවාය.

රටේ මාස ගණනාවක් පුරා පැතිර ගිය විරෝධතාවලින් පසුව වුවද, සාමකාමීව රැස්වීමේ නිදහසට පහසුකම් සැලසීමේ සහ රැස්වීම්වලදී බලය යෙදවීමේදී සංයමයකින් කටයුතු කිරීමේ සිය යුතුකම ශ්‍රී ලංකා පොලිසියට නිරන්තරයෙන් මතක් කරදීමට සිදුවීම කනස්සල්ලට කරුණක් බවද ඇය සඳහන් කළාය.

පසුගිය මාස කිහිපය තුළ පොලිසියේ ක්‍රියාවන් නිසා ඊයේ තවත් මරණයක් ඇතුළුව බොහෝ සාමකාමී විරෝධතාකරුවන්ගේ ජීවිත අහිමි වූ බව ඇය පෙන්වා දුන්නාය.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හෝ පලා යාමට හැකියාවක් නොමැතිව සීමිත අවකාශයක සිටි, නමුත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට හා බලය භාවිතා කිරීමේ ප්‍රමිතීන්ට පටහැනිව පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කළ බව ඊයේ වීඩියෝ වලින් පෙන්නුම් කරන බවද හරින්ද්‍රිනී කොරියා වැඩිදුරටත් පැවසුවාය.

සාමකාමී රැස්වීමක් අතරතුර පුලුල් ප්‍රචණ්ඩත්වයක් නොමැති අවස්ථාවක හානි වීමට ඉහළ හැකියාවක් ඇති අඩු මාරාන්තික ආයුධ භාවිතා නොකළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයනය සඳහන් කළේය.

විරෝධතාවක ඇතිවූ සිදුවීමකදී වාර්තා වූ මරණ ඇතුළු මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සියලු චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්විය යුතු අතර, සාධාරණ නඩු විභාගයක් තුළින් වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට පැමිණ විය යුතු බවද හියුමන් රයිට් වොච් ආයතනය වැඩිදුරටත් පැවසීය.

ජාතික ජන බලවේගයේ විරෝධතාව අතරතුර තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයෙක් මිය යයි

පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා ජාතික ජනබලවේගය කොළඹ දී පැවැත්වූ විරෝධතාව අතරතුර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටි පුද්ගලයෙකු (පෙබරවාරි 27 වැනිදා) මිය ගියේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ, ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරිය.

මිය යන විට ඔහු 61 වැනි වියේ පසුවිය.

ජාතික ජනබලවේගය පෙබරවාරි 26 වැනිදා පැවැත්වු විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ඒ අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් 28 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මේවන විට ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

රෝගී තත්ත්වයන් හේතුවෙන් දෙදෙනෙකු රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එක් අයෙකු අද දහවල් මෙලෙස මිය ගිය බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා (පෙබරවාරි 27 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, “ඉතාම සාමකාමී උද්ඝෝෂණයකට මෙලෙස පහරදීලා මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක ඉතාම බරපතල කාරණයක්. ඒ නිසා මේ නැති වෙච්ච ජීවිතයේ වගකීම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව භාර ගතයුතුව තිබෙනවා. මොකද අපි ගියේ පොලිසිය එක්ක ගැටෙන්න නෙමේ. අපි ගියේ වෙනදේකට නෙමේ. අපි ගියේ, මැතිවරණය කියන්නේ ජනතාවගේ අයිතියක්. ඒ ජනතාවගේ අයිතිය පැහැර ගත්තාම අපිට අතපය ඇකුලන් බලන් ඉන්න බැහැ. ඒ නිසා අපි අපේ විරෝධය පළ කරන්න ගියේ සාමකාමී විදිහට.”

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පැය 24ක් ඇතුළත පූර්ණ වාර්තාවක් කැඳවයි..

ජාතික ජනබලවේගයේ විරෝධතාවට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලින් පුද්ගලයින් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව පැය 24ක් ඇතුළත පූර්ණ වාර්තාවක් ලබා දෙන්නැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිට දැනුම්දී තිබේ.

මානව හිම්කම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

වාර්තාවේ කරුණු පදනම් කර ගෙන ඉදිරි පරීක්ෂණ සිදු කරන බව ද එහි දැක්වෙයි.

ආණ්ඩුවේ පණිවිඩය පැහැදිලියි..!

ජාතික ජනබලවේගයේ විරෝධතාවට එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ මෙමගින් දෙන ආණ්ඩුවේ පනිවිඩය පැහැදිලි බවය.

“කිසිම නායකයෙක් හෝ පක්‍ෂයක් හැම විටම නිවැරදි වී නැත, ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි.” විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදුවිය. මෙමගින් “රජය මහජනතාවට දෙන පණිවිඩය පැහැදිලි ය, එනම් කට වහගෙන වාඩි වී සිටින ලෙසය.” විපක්ෂනායකවරයා පැවසීය.

ජාතික ජනබලවේගයේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

පළාත් පාලන මැතිවරණය ඉල්ලා ජාතික ජනබලවේගය සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට (පෙබරවාරි 26 වැනිදා ) පස්වරුවේ කොළඹ ඉබ්බන්වල ප්‍රදේශයේදී පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

“ඡන්දය නවතා ප්‍රජාතන්ත්‍රවාදය වැළැක්වීමේ ආණ්ඩුවේ බියගුළු උත්සාහය පරදවමු” යැන මැයෙන් විරෝධතාව සංවිධාන කර තිබේ.

කොළඹ නෙළුම් පොකුණු අසලින් විරෝධතාව ආරම්භ කෙරිණ.

ජාතික ජනබලවේගය මෙම විරෝධතාව පවත්වනු ලබන්නේ පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වෙන පසුබිම තුළය.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි අචාර්ය හරිණි අමරසූරිය ප්‍රමුඛ දේශපාලන නායකයින් සහ ජාතික ජනබලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ මෙන්ම පක්ෂ ක්‍රියාකාරීකයෝ විශාල පිරිසක් විරෝධතාවට එක්ව සිටිති.

පුරහල අසලින් පොලිසිය මාර්ගය අවහර කර තිබූ අතර කැරලි මර්දන පොලිස් සමාජිකයින් විශාල පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා ඇති අයුරු දැකගත හැකිවිය.

පොලිසිය පැවසුවේ විරෝධතා පෙළපාලි පැවැත්වීමට පැය 6කට පෙර පොලිසියෙන් අවසර ලබා ගත යුතු බවත් එවැනි අවසරයක් ලබා ගෙන නොමැති බවත්ය.

ඒ අනුව විරෝධතා පාගමනේ නිරත පිරිසට පුරහල අසලින් ඉදිරියට ගමන් කිරීමට පොලීසිය බාධා කරනු ලැබීය.

තවත් පිරිසක් ඉබ්බන්වල දෙසින් පුර හල දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පිරිස විසුරුවා හැරීමට ඉබ්බන්වල මංසන්ධිය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළහ.

තහනම් නියෝගයක්..!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට, පෙබරවාරි 26 වැනිදා පස්වරු 1.00 සිට රාත්‍රී 8.00 දක්වා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට ඇතුළුවීම වළක්වමින්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් කළ ඉල්ලීමකට අනුවයි.

ජාතික ජන බලවේගය (පෙබරවාරි 26) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාව හේතුවෙන් ඇති විය හැකි මහජන පීඩාව සැළකිල්ලට ගෙන යැයි කරණු දක්වමින් පොලීසිය එම ඉල්ලීම කර තිබුණි.

අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී. ලාල්කාන්ත ඇතුළු දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නායකයින් 26 දෙනෙකුට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.

නියෝගයට අනුව අදාළ මාර්ගවලට ඇතුළුවීම තහනම් වන අතර, දේපොළ හානි මෙන්ම ජනතාව ප්‍රකෝප කරන ප්‍රචණ්ඩකාරීව කටයුතු නොකළ යුතුයි.