විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට පහර දීමට තැත් කිරීමේ නඩුවෙන් පූජිත් ජයසුන්දර නිදහස්

    • Author, බීබීසී සිංහල

පොලිස් දෙපාර්තමේන්තුවේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධී බලහත්කාරය පෑම සහ සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එම චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්. 3) නියම කළේ ය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් සකස් කරන ලද මෙම නඩු තීන්දුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

විත්තිකාර පූජිත් ජයසුන්දර එම ක්‍රියාව චේතනාන්විතව සිදු කර නොමැති බවටත් ඉන් පැමිණිලිකරුගේ රාජකාරියට අගතියක් සිදුව නොමැති බවටත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා ය.

ඒ අනුව, විත්තිකරුට අදාළ චෝදනා ඔප්පු වී නොමැති බැවින් ඔහු නිදහස් කරන බව පිටු තිස් හයකින් සමන්විත නඩු තීන්දුවේ සඳහන් විය.

මෙම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන ඇතුළු සාක්ෂි මෙම නඩු විභාගයේදී අධිකරණයේ විමර්ශනයට භාජනය විය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පොලිස්පති පූජිත් ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

2017 වසරේ අප්‍රේල් මස 11 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම ප්‍රදේශයේ පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නමැති නිලධාරියාට පහර දීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව 2019 වසරේ වැඩබලන පොලිස්පති වික්‍රමරත්න වෙත අදාළ නිලධාරියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ විමර්ශනයක් කර පූජිත් ජයසුන්දරට එරෙහිව මෙම නඩුකරය ගොනු කරනු ලැබ තිබිණි.

පූජිත් ජයසුන්දර යනු කවුද?

පූජිත් ජයසුන්දර සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ඇත්තේ 1985 වසරේදී ය.

එතැන් සිට ඔහු 1991වසරේදී පොලිස් අධිකාරී ධූරයේ,1996 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයේ, 2005 වසරේදී නියෝජ්‍ය පොලිස්පති ධූරයේ

සහ 2010 වසරේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ කටයුතු කර ඇත.

ජනාධිපති නිර්දේශයෙන් වස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජිත් ජයසුන්දර පොලිස්පති ධූරයට පත් කරනු ලැබුවේ 2016 අප්‍රේල් 20 වන දා ය.

එවක සිටි පොලිස්පති එන් කේ ඉලංගකෝන් විශ්‍රාම යාම නිසා පුරප්පාඩු වූ පොලිස්පති ධූරය සඳහා ව්‍යවස්ථා සභාව වෙත නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී තිබිණි.

එස්.එම්. වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර සහ චන්දන වික්‍රමරත්න යන නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ අතර වූහ.