ලිංගික සේවිකාවකගේ නොවිසඳුණු ඝාතන අබිරහස සෙවීමට හොලෝග්‍රෑම් තාක්ෂණය

Two images of Betty Szabo's hologram shown in Amsterdam's red-light area

ඡායාරූප මූලාශ්‍රය, Dutch police

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම හොලෝග්‍රෑම් ආකෘතියෙන් 2009 වසරේදී ඇම්ස්ටර්ඩෑම්හිදී ඝාතනයට ලක්වූ බෙටී සාබෝ නිරූපණය වෙයි
    • Author, ඇනා හෝලිගන්
    • Role, බීබීසී ඇම්ස්ටර්ඩෑම්

තරුණ ලිංගික ශ්‍රමික කාන්තාවකගේ හොලෝග්‍රෑම් ආකෘතියක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි ලිංගික ව්‍යාපාරයට ප්‍රසිද්ධියක් උසුළන රෙඩ් ලයිට් දිස්ත්‍රික්කය පුරා හොල්මන් කරමින් සිටී.

පාට වියැකුණු ඩෙනිම් කොට කලිසමකින්, කොටින්ගේ රූප සහිත තනපටයකින් සැරසී සිටින ඇයගේ පපු ප්‍රදේශය සහ උදර ප්‍රදේශය හරහා සර්පයෙකුගේ පච්චයක් දක්නට ලැබෙන ආකාරයෙන් නිර්මාණය කරන ලද හොලෝග්‍රෑම් ආකෘතිය ජනතා අවධානය ආකර්ෂණය කර ගැනීමට සමත් බවක් පෙනේ.

ඇය ඉදිරියට නැමී, ජනෙල් වීදුරුවට හුස්ම පිඹිමින්, ඒ මත "help" යන වචනය ලියයි.

මෙම හොලෝග්‍රෑම් ආකෘතිය නිර්මාණය කර ඇත්තේ, 2009 දී දරු ප්‍රසූතියකින් මාස කිහිපයකට පසු ඝාතනය කරන ලද හංගේරියාවේ සිට පැමිණ සිටි 19 හැවිරිදි බර්නඩෙට් "බෙටි" සාබෝ නම් කාන්තාවක නිරූපණය කිරීමට ය.

ඇයට එල්ල කරන ලද මාරාන්තික පිහි ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 15ක් පුරා පොලිසිය ව්‍යාකූලත්වයට පත්ව සිටී. නෙදර්ලන්තයේ නොවිසඳුණු අපරාධ විමර්ශකයින් රහස හෙළි කර ගැනීමේ පියවරක් ලෙස පළමු වරට නවීන තාක්ෂණය යොදා ගනිමින් සිටී.

ඝාතනයට ලක්වූ නව යොවුන් තරුණියගේ හොලෝග්‍රෑම් රූපය ජනේලයක් පිටුපසින් ප්‍රක්ෂේපණය කෙරෙන්නේ, මෙම කුප්‍රකට අවදානම්සහගත කර්මාන්තයේ තවදුරටත් ජීවිකාව කරගෙන යන සිය ගණනක් තරුණියන් වෙනුවෙනි.

මෙම සජීවී ආකාරයේ හොලෝග්‍රෑම් රූපය නොවිසඳුණු ඝාතනය අලුතින් සිහි ගැන්වීමට සහ ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට සමත් වනු ඇතැයි විමර්ශකයෝ අපේක්ෂා කරති.

මේ වන තෙක්, බෙටීගේ ඝාතකයා නීතිය මග හැර ඇති අතර නොවිසඳුණු අපරාධ පිළිබඳ රහස් පරීක්ෂක ඈන් ඩ්‍රෙයිජර්-හීම්ස්කර්ක් එය වෙනස් කිරීමට තීරණය කර ඇත: "යන්තම් වයස අවුරුදු 19ක තරුණියකගේ ජීවිතය බිහිසුණු ආකාරයකින් අහිමි කරලා තියෙනවා."

විමර්ශකයින් පවසන පරිදි, සාබෝ දුෂ්කර ජීවිතයක් ගත කර ඇති අතර, ඇයගේ ජීවිත කතාව දුෂ්කර සහ දරා ගැනීමේ ශක්තිය සහිත එකකි.

වීඩියෝ ශීර්ෂ වැකිය, වසර 15ක් තිස්සේ තවමත් නොවිසඳුණු අපරාධයක් විසඳා ගැනීමට 'හොලෝග්‍රෑම්' භාවිත කරන ආකාරය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඇය වයස අවුරුදු 18 දී ඇම්ස්ටර්ඩෑම් වෙත ගොස් ඇති අතර එහි වැඩි කලක් ගත වන්නට පෙර ගැබ් ගත්තා ය. ඇය තම ගර්භණී කාලය පුරා ම වැඩ කළ අතර, ඇගේ පුතා ඉපදී ටික කලකට පසු නැවත රැකියාවට පැමිණියා ය.

2009 පෙබරවාරි 19 වන දා අලුයම් කාලයේ, ලිංගික ශ්‍රමිකයන් දෙදෙනෙක් සේවාදායකයින් අතර විවේකයක් අතරතුර සාබෝ නමැති නව යොවුන් මව පරීක්ෂා කිරීමට ගිය විට, ඇයගේ සුපුරුදු සංගීතය වාදනය නොවන බව ඔවුන්ට වැටහිණි.

ඔවුන් ඇගේ ගණිකා නිවාසයට ඇතුළු වී, ප්ලාස්ටික්වලින් ආවරණය කළ ඇඳක්, වැනිටි මේසයක් සහ බේසමක් සහිත කුඩා කාමරයකට ඇතුළු වූ විට, ඔවුහු බෙටී සාබෝගේ සිරුර සොයා ගත්හ.

දරු ප්‍රසූතියට මාස තුනකට පසු ඇය කෲර පිහි ඇනුමකින් ඝාතනයට ලක් වූවා ය.

ඇගේ දරුවා භාරකාර රැකවරණයේ තබා ඇති අතර, කිසි විටෙකත් ඔහුගේ මව දැන හඳුනා ගැනීමට නොහැකි විය - මෙය රහස් පරීක්ෂකයින්ගේ අවධානය යොමු වන කරුණකි.

පොලිසිය වහා ම ඝාතන පරීක්ෂණයක් ආරම්භ කළ ද, ඇගේ ඝාතකයා කිසිදු ආකාරයකින් සොයා ගැනීමට නොහැකි විය. ඔවුහු CCTV දර්ශන පරීක්ෂා කර සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කළහ.

රතු නියොන් ජනේල පිටුපස අඩ නිරුවතින් සිටින කාන්තාවන් දෙස බලන මිනිසුන්ගෙන් බහුතරය සංචාරකයින් ය. අපරාධකරු විදේශයක සිට පැමිණ ඇති බවට පොලිසිය සැක කරයි.

දැන් විමර්ශකයින් සාක්ෂිකරුවන් ඉදිරිපත් වීමට දිරිගැන්වීම සඳහා යුරෝ 30,000ක ත්‍යාගයක් ද යෝජනා කරමින්, ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණ ඇති සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව ආපසු සිතා බලන ලෙස ය.

ඇම්ස්ටර්ඩෑම්හි ප්‍රසිද්ධ ගණිකා නිවාස නගරයෙන් පිටත "ශෘංගාර කලාපයකට" ගෙන යාමේ මතභේදාත්මක සැලසුම් සමග පොර බදමින් සිටින අවස්ථාවක, බෙටී සාබෝගේ හොලෝග්‍රෑම් ප්‍රදේශය තුළ ලිංගික ශ්‍රමිකයන්ගේ අවදානම පිළිබඳව බරපතළ සිහිගැන්වීමක් කරයි. ආරක්ෂක විධිවිධාන රැසක් තිබියදීත්, එය අනතුරුදායක තත්ත්වයක පවතී.

ලිංගික සේවිකාවන් පවසා ඇත්තේ, ලිංගිකත්වය අලෙවි කරන කාන්තාවන් මහජන දර්ශනයෙන් ඉවත් කිරීමෙන් ඔවුන් ඊටත් වඩා විශාල අනතුරකට නිරාවරණය විය හැකි බව ය.

සාක්‍ෂිකරුවන් ඉදිරිපත් නොවී නෙදර්ලන්තයේ කාර්ය බහුල ම රාත්‍රී ස්ථානවල මෙතරම් ප්‍රචණ්ඩකාරී අපරාධයක් සිදුවී තිබීම විමර්ශකයින් දිගින් දිගට ම ව්‍යාකූලත්වයට පත් කරන්නකි.

ඇය වරක් ජීවත් වූ සහ වැඩ කළ ඓතිහාසික 'රතු එළි' දිස්ත්‍රික්කයේ, නව යොවුන් වියේ ලිංගික සේවිකාවගේ ඩිජිටල් පුනරූපණය ඇගේ ඝාතනය තවමත් විසඳී නොමැති රහසක් බව මගීන්ට මතක් කර දෙයි.