ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර: ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග
බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (ජුලි 22 වැනිදා) නියෝග කළේය.
නියෝගය ලබා දෙනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසිනි.
ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කළේය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18 කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් මීට පෙර බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබීය.
එම දඬුවම්වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූවාය.
එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තම සේවා දායිකාව ඇපමත මුදා හරින ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.
අදාළ ඇපෑල විභාග කිරීමට සැලකිය යුතු කාලයක් ගතවිය හැකි නිසාත් තම සේවා දායිකාවට කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින නිසාත් ඒවා සුවිශේෂී කරුණු සේ සලකා ඇයව ඇප මත මුදාහරිණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එහෙත් එම ඇප ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විරෝධය පළ කර සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ අභියාචනාදීකරණයේදී අභියාචනා පෙත්සම් විභාගය කඩිනමින් සිදුවන හෙයින් ඇප නියම කිරීමේදී එය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි.
කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
ඇප ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි
බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා (ජුලි 4 වැනිදා) කොළඹ මහාධිකරණයට දැනුම් දෙනු ලැබීය.
මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ සලකා බැලුණි.
එහිදී විනිසුරුවරයා රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කරන්නේදැයි විමසා සිටියේය.
එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිතව ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙම නඩුව මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙනත් නඩු විභාගයක් සඳහා ගම්පහ මහාධිකරණයට ගොස් සිටින බැවින් එම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට කල් ලබා දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ජුලි 11 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට කළ අභියාචනය
වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී එම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදුන් අතර එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙසත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණය හමුවේ මීට පෙර ඉල්ලීමක් කරන ලදී.
විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට එරෙහිව නියම කර ඇති දඬුවමට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.
ඇයට නියම වී තිබෙන දඬුවමේ ස්වභාවය හා ඇයට දරුවන් තුන් දෙනෙකු සිටීම යන කරුණු සලකා බලා ඇයව ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම්
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් (ජුනි 28 වැනිදා) බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබීය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
චෝදනා 18 කට වරදකාරිය
ඒ අනුව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18 කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් 20000 බැගින් දඩ ද නියම කෙරුණි.
දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් එක් චෝදනාවට මාස 6 බැගින් සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් විය.
‘බන්ධනාගාරගත කළ යුතු වරදක්’
නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු අමල් රණරජා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ විත්තිකාරිය තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කරන බව ය.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් මෙම විත්තිකාරියගේ ආධාරකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අත් හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් නියම කළ බව සිහිපත් කළේය.
විත්තිකාරිය කර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69 ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බව ඔහු පැවසීය.
‘ස්වාමීනි... මෙම විත්තිකාරිය සිදුකර ඇති වරදවල් වල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69 ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක වශයෙන් කටයුතු කරමින් ඇයගේ බලතල අයුතු ලෙස පාවිච්චි කොට සාමාන්‍ය වෙළෙඳ සැලක සේවය කළ පුරවැසියෙකු පැහැරගෙන ගොස් පවුල ආරවුල් විසඳීමට කටයුතු කර තිබෙනවා. එය සුළුවෙන් තකන්න බෑ. විත්තිකාරිය මහජනයා විශ්වාසය තබා තෝරා පත් කරන ලද තැනැත්තියක්. ඇයට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඇය විසින් සිදු කර තිබෙන්නේ බරපතල වරදක්’ යනුවෙන් ඔහු සඳහන් කර සිටියා.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ‘ස්වාමීනී... අධිකරණය මගින් වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට හෝ විත්තිකාරියකට දඬුවම් නියම කිරීමේ මූලධර්ම තිබෙනවා. මුලින්ම මේ විත්තිකාරිය කර තිබෙන වරදවල් වල ස්වභාවය කෙසේ දැයි සලකා බැලිය යුතුයි. ඒ අනුව ඇයට සිර දඬුවම් නියම කරනවාද? එසේ නැතහොත් නියම කළ සිර දඬුවම අත්හිටුවනවාද? යන්න තීරණය කළ යුත්තේ අධිකරණයයි. විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කරමින් මෙම වරද සිදු කර තිබෙනවා. ඇය විසින් සිදු කර තිබෙන්නේ බරපතල වරදක්. ඒ නිසා ඇය අනිවාර්යෙන්ම බන්ධනාගාර ගත විය යුතු ආකාරයේ දඬුවමක් නියම කළ යුතු යැයි මා ඉල්ලා සිටිනවා. එසේම එම දඬුවම අත් හිටුවීම නොකළ යුතු බවත් මා ඉල්ලා සිටිනවා. මොකද විත්තිකාරියට තමන් වරදක් සිදුකළ බව දැනෙන ආකාරයේ දඬුවමක් නියම විය යුතුයි. එසේම එය සමාජයට පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයේ දඬුවමක්ද විය යුතුයි. ඊට අමතරව විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ඉදිරියේදී ගමන් කිරීමට සූදානම් වන පුද්ගලයින්ට පණිවිඩයක් ලබාදිය හැකි ආකාරයේ දඬුවමක් ලබාදිය යුතුයි. එසේම නීත්‍යානුකූලව ජීවත්වන පුද්ගලයින්ට නීතියේ රැකවරණ ලැබෙන බව හැඟවෙන ආකාරයේ දඬුවමක් ඇයට ලබාදිය යුතුයි’ යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තිකාරිය බන්ධනාගාරගත වන ආකාරයේ දඬුවමක් ලබාදිය යුතු බවත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ‘ස්වාමීනී... මෙම විත්තිකාරිය ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක්. සමාජ අකටයුතුකම් සිදුවන අවස්ථාවලදී ඇය පෙරට විත් ඊට එරෙහිව පෙනී සිට තිබෙනවා. මෙම විත්තිකාරියට අවුරුදු තුන, හතර සහ පහ යන වයස් වලට අයත් කුඩා දරුවන් තුන් දෙනෙකු සිටිනවා. ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවනවා’ යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා බන්ධනාගාර ගත කිරීමකින් තොරව ඇයට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු වරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහාධිකරණයේ සිට බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.
සිර දඬුවම් නියම කිරීමෙන් පසුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැණුනි.
ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීහූ විසින් ඇය කොළඹ මහාධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙනු ලැබුණි.
මෙම දඬුවමට එරෙහිව ලබන සඳුදා අභියාචනයක් ඉදිරිපත් කරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරු සඳහන් කළහ.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණි.