ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනගහනය වියපත් වීමට පෙර ඉන්දියාවට ධනවත් විය හැකිද?
- Author, සූතික් බිස්වාස්
- Role, ඉන්දීය වාර්තාකරු
2047 වන විට ඉන්දියාව ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් බවට පත් කරන බවට අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය වසර දෙක තුළදී පොරොන්දු වී තිබේ. එමෙන් ම නිරීක්ෂණ කිහිපයකට අනුවද, ඉන්දියාව තවත් වසර හයකින් ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත් වීමට නියමිත ය.
ලෝක බැංකුවට අනුව ඉහළ ආදායම් ලබන ආර්ථිකයන්ට ජනතාව සහ ව්‍යාපාර විසින් උපයා ඇති ඩොලර් 13,846 (£10,870) හෝ ඊට වැඩි ඒක පුද්ගල දළ ජාතික ආදායමක් තිබේ.
ඒක පුද්ගල ආදායම ඩොලර් 2,400 (£1,885) පමණ වන ඉන්දියාව මේ වනවිට සිටින්නේ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතර ය. ඉදිරියේදී ඉන්දියාවේ ආර්ථිකය "මැද ආදායම් උගුලක්" වෙත යොමු විය හැකි බවට බොහෝ ආර්ථික විද්‍යාඥයින් දැන් වසර කිහිපයක සිට අනතුරු අඟවා තිබේ.
මෙය සිදු වන්නේ රටකට දියුණු ආර්ථිකයන් සමඟ තරග කිරීමට නොහැකි වී ශීඝ්‍ර වර්ධනයක් පහසුවෙන් ළඟා කර ගැනීමට නොහැකි වූ විට ය. ආර්ථික විද්‍යාඥ ආර්ඩෝ හැන්සන් එය, " වියදම් ඉහළ යන උගුලක සිරවී සිටින අතරේ, තරගකාරිත්වය අහිමි වීම" ලෙසට නිර්වචනය කරයි.
නව ලෝක බැංකු වාර්තාවක් ද එවැනි අවදානමක් ඇති බව පෙන්වා දී තිබේ. වත්මන් වර්ධන වේගය අනුව, ඇමරිකාවේ ඒක පුද්ගල ආදායමෙන් හතරෙන් එකකට ළඟා වීමට ඉන්දියාවට තවත් වසර 75ක් අවශ්‍ය වනු ඇතැයි 2024 ලෝක සංවර්ධන වාර්තාව පවසයි. එය වැඩිදුරටත් පවසන්නේ ඉන්දියාව, චීනය, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 100කට වැඩි ප්‍රමාණයක් ඉදිරි දශක කිහිපය තුළ ඉහළ ආදායම් ලබන රටවල් බවට පත්වීමට දරන උත්සාහයට “බරපතල බාධා” එල්ල විය හැකි බවයි.
පර්යේෂකයන්, ලෝකයේ සමස්ත ආර්ථික නිමැවුමෙන් 40% ක් සඳහා සහ ගෝලීය කාබන් විමෝචනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් සඳහා වගකිව යුතු වන මධ්‍යම ආදායම් ලබන රටවල් 108 ක සංඛ්‍යා දත්ත විශ්ලේෂණ කළහ. ගෝලීය ජනගහනයෙන් හතරෙන් තුනක් පමණ වාසය කරන්නේ එම රටවල්වල ය. එම පිරිසෙන් තුනෙන් දෙකක්ම දරිද්‍රතාවයෙන් පෙළෙති.
ඔවුන් පවසන්නේ මැදි ආදායම් උගුලෙන් ගැලවීමේදී මෙම රටවල් විශාල අභියෝගවලට මුහුණ දෙන බවයි. ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනය, දියුණු ආර්ථිකයන්හි ඉහළ යන ආරක්ෂණවාදය සහ බලශක්ති සඳහා වූ අධික ඉල්ලුම මේ අභියෝග අතරට අයත් ය.
ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සහ මෙම අධ්‍යනය සඳහා දායක වූ අයෙකු ද වන ඉන්ඩර්මිට් ගිල් පවසන්නේ “ගෝලීය ආර්ථික සමෘද්ධිය සඳහා වන සටන, මැදි ආදායම් ලබන රටවල් දී බොහෝ දුරට විශාල වශයෙන් ජයග්‍රහණයට හෝ පරාජයට පත් වනු ඇත." යන්නයි.
“මෙම රටවල් බොහොමයක් දියුණු ආර්ථිකයන් බවට පත්වීම සඳහා යල් පැන ගිය උපාය මාර්ග මත රැඳී සිටිනවා. එක්කෝ ඔවුන් දිගු කලක් ආයෝජනය මත පමණක් රඳා පවතිනවා. නැත්නම් ඔවුන් අකාලයේ නවෝත්පාදනයන්ට මාරු වනවා."
නිදසුනක් වශයෙන්, පර්යේෂකයන් පවසන පරිදි, මධ්‍යම ආදායම් ලබන රටවල ව්‍යාපාර වර්ධනය බොහෝ විට සිදු වන්නේ මන්දගාමීව ය.
ඉන්දියාවේ, මෙක්සිකෝවේ සහ පේරු හි සමාගම් ගෙවුණු වසර 40ක කාලයේ ප්‍රමාණයෙන් දෙගුණ විය. එක්සත් ජනපදයේ සමාගම්, එම කාල සීමාව තුළ හත් ගුණයකින් වර්ධනය වී තිබේ. මෙයින් ඇඟවෙන්නේ මධ්‍යම ආදායම් ලබන රටවල සමාගම් සැලකිය යුතු ලෙස වර්ධනය වීමට දැඩි උත්සහයක් දරුවත්, එයට විශාල කාලයක් ගත වන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාව, පේරු සහ මෙක්සිකෝවේ සමාගම්වලින් 90%කට ආසන්න සංඛ්‍යාවක සිටින්නේ සේවකයින් පහකට වඩා අඩු සංඛ්‍යාවකි. 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින්නේ ඉතා සුළු කොටසකට ය.
ගිල් සහ ඔහුගේ සෙසු පර්යේෂකයන් මේ වෙනුවෙන් නව ප්‍රවේශයක් ගත යුතු බව විශ්වාස කරති. මෙම රටවල් වැඩි වශයෙන් ආයෝජන කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, ලෝකයේ අලුතින් සොයා ගනු ලබන තාක්ෂණයන් යොදාගෙන නවෝත්පාදන වර්ධනය කළ යුතුය.
දකුණු කොරියාව මෙම උපායමාර්ගය අනුගමනය කරන බවත් මෙම වාර්තාව පවසයි.
1960 දී එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 1,200 ක් විය. එය 2023 වන විට ඩොලර් 33,000 දක්වා වර්ධන වී තිබුණි.
මුල් කාලයේදී, දකුණු කොරියාව රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීය. 1970 දශකයේදී එය විදේශීය තාක්ෂණය සහ උසස් නිෂ්පාදන ක්‍රම අනුගමනය කරමින් දේශීය සමාගම් දිරිමත් කරන කාර්මික ප්‍රතිපත්තියකට මාරු විය.
සැම්සුන් වැනි සමාගම් මෙයට ප්‍රතිචාර දැක්වූහ. මුලදී නූඩ්ල්ස් නිෂ්පාදකයෙකු වූ සැම්සුන්, ජපන් සමාගම් වෙතින් තාක්ෂණික බලපත්‍ර ලබා දීමෙන් අනතුරුව දේශීය සහ කලාපීය වෙළඳපල සඳහා රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේ ය.
මෙම ක්‍රමයේ සාර්ථකත්වය දක්ෂ වෘත්තිකයන් සඳහා ඉල්ලුමක් ඇති කළේ ය. මෙම ක්ෂේත්‍රවල දැනුම වර්ධන කිරීම සඳහා රජය ඒවා වෙනුවෙන් කරන වියදම් වැඩි කර, රජයේ විශ්ව විද්‍යාල සඳහා ඉලක්ක නියම කළේ ය. අද වන විට සැම්සුන් ගෝලීය නවෝත්පාදකයෙකු වන අතර ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයන්ගෙන් අයෙකු බවට පත් ව තිබේ.
මෙම වාර්තාවට අනුව පෝලන්තය සහ චිලී වැනි රටවල් ද ඒ හා සමාන මාර්ග අනුගමනය කර තිබේ. බටහිර යුරෝපීය තාක්ෂණයන් අනුගමනය කිරීමෙන් පෝලන්තය ඵලදායිතාව ඉහළ නංවා ගත්තේ ය. චිලී දේශීය නවෝත්පාදනය සඳහා තාක්‍ෂණික හුවමාරුව දිරිමත් කළ අතර, ලොව ප්‍රසිද්ධ සැමන් අපනයනකරුවෙක් වීමට, නෝර්වීජියානු සැමන් වගාවන්හි භාවිත වන ශිල්පීය ක්‍රම භාවිතා කළේ ය.
ඉදිරියට එන මධ්‍යම ආදායම් උගුලක් ගැන ඉතිහාසය ප්‍රමාණවත් ඉඟි සපයා තිබේ. රටවල් ධනවත් වන විට, ඔවුන් බොහෝ විට එක්සත් ජනපද දළ දේශීය නිෂ්පාදිතයෙන් (වර්තමානයේ ඩොලර් 8,000ක පමණ මුදලක්) 10% ක පමණ "උගුලකට" හසුවන බව පර්යේෂකයන් හෙළි කරයි. එය මෙම රටවල් මධ්‍යම ආදායම් පරාසයේ තබයි. මෙය දළ වශයෙන් බැංකුව "මධ්‍යම ආදායම් ලබන" රටවල් ලෙස වර්ග කරන පරාසය ය.
1990 සිට මධ්‍යම ආදායම් ලබන රටවල් 34ක් පමණක් ඉහළ ආදායම් තත්ත්වයට පරිවර්තනය වී ඇති අතර, ඒවායින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් යුරෝපීය සංගමයට (EU) එකතු වීමෙන් හෝ අලුතින් සොයාගත් තෙල් සංචිතවලින් ප්‍රතිලාභ ලබයි.
ආර්ථික විද්‍යාඥයන් වන රගුරාම් රාජන් සහ රෝහිත් ලම්බා වෙන් වෙන් වශයෙන් ඇස්තමේන්තු කරන්නේ 4%ක ප්‍රශස්ත ඒක පුද්ගල ආදායම් වර්ධන වේගයකදී වුවද, ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 10,000 දක්වා ළඟා වීමට 2060 වසර දක්වා කාලය අවශ්‍ය වනු ඇති බවයි. එසේ වුවත් එය වර්තමාන චීනයේ මට්ටමට වඩා අඩු අගයකි.
"අපි වඩා හොඳින් ක්‍රියාත්මක විය යුතුයි. ජනගහනයෙන් විශාල කොටසක් වැඩ කරන වයසේ සිටින නිසා ඉදිරි දශකය තුළ ඉන්දියාවට ජනගහන ලාභාංශයකින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව තිබේ. කෙසේ වෙතත්, මෙම වාසිය පවතිනු ඇත්තේ අනෙක් අය මෙන් ඉන්දියාවත් වයස්ගත ජනගහනය වැඩි වීමේ අභියෝගවලට මුහුණ දෙන තෙක් පමණයි" යි, Breaking The Mould: Reimagining India's Economic Future හි කතුවරුන් පවසයි.
"අපගේ තරුණ ප්‍රජාව සඳහා හොඳ රැකියා උත්පාදනය කළ හැකි නම්, අපගේ ජනගහනය වයස්ගත වීමට පෙර, අපගේ ආර්ථික වර්ධනය වේගවත් වනු ඇති අතර, අතර සුවපහසු ලෙස ඉහළ මධ්‍යම පාන්තිකයෙකු බවට පත්වීමට අපට හැකි වනු ඇත."
වෙනත් වචනවලින් කිවහොත්, “වියපත් වීමට පෙර ඉන්දියාවට ධනවත් විය හැකි ද?” යන්න ආර්ථික විද්‍යාඥයින් ප්‍රශ්න කරති.