නීතිවිරෝධී මත්පැන් ඔබව මරා දමන්නේ කෙසේ ද? විෂ සහිත බීම හඳුනාගන්නේ කෙසේ ද?

‘එදා මාත් එක්ක බිව්ව ගොඩක් කට්ටිය මැරුණා. මම හිතුවෙ නෑ මාව බේරෙයි කියලා,’ ඉන්දියාවේදී නොදැනුවත්කමින් විෂ සහිත ඇල්කොහොල් පානය කිරීමෙන් පසු සුවය ලබමින් සිටින කාන්තාවක වන සත්‍යා පවසයි.

මුරුගන් ද ප්‍රතිකාර ලැබුවේ, එම පිරිස සමග ම මත්පැන් පානය කිරීමෙන් පසුව ය. ‘මම ජීවත් වෙන්නෙ වෛද්‍යවරුන්ට පින් සිද්ධ වෙන්නයි. මම කොහොමටවත් හිතුවෙ නෑ මාව බේරෙයි කියලා. මම සිහිය නැතුව මැරෙයි කියලා බයෙන් හිටියේ.’

පසුගිය සතියේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මෙතනෝල් මිශ්‍ර මධ්‍යසාර පානය කිරීමෙන් පසු රෝහල්ගත කළ පුද්ගලයන් 219 දෙනා අතර සත්‍යා සහ මුරුගන් ද වෙති.

නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පසුව අවම වශයෙන් පුද්ගලයින් 57 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

‘මම අවුරුදු 20ක් තිස්සේ මත්පැන් බොනවා. ඉස්පිරිතාලෙ ඉන්න එක දවසක් මට දැනෙන්නෙ අවුරුද්දක් වගේ. මම ආයෙ නම් කවදාවත් මත්පැන් බොන්නෙ නෑ,’ මුරුගන් බීබීසී දෙමළ සේවයට පැවසීය.

ලොව පුරා සිටින වින්දිතයින් සේ ම, තමිල්නාඩුවේ රෝහල්ගත කළ පිරිස ද, තමන් වාසය පානය කරන බව නොදැන සිටියා වන්නට ඇත.

ව්‍යාජ ඇල්කොහොල් පානය කිරීමෙන් පසුව රුසියාවේ වසරකට පුද්ගලයින් 900 දෙනෙකුට ආසන්න පිරිසක් මිය යන බව එරට ජාතික පාරිභෝගික අයිතිවාසිකම් සංගමය පවසයි.

2020 වසරේදී විෂ සහිත ඇල්කොහොල් හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 44 දෙනෙකු මිය ගිය බව වාර්තා විය.

2018 වසරේදී ඉන්දුනීසියාවේ 45 දෙනෙකු නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.

මෙතනෝල්

මෙම සිද්ධි බොහොමයක් මෙතනෝල් හා සම්බන්ධ වේ. මෙතනෝල් යනු කසිප්පු සහ හූච් (නීතිවිරෝධී විස්කි වර්ගයක්) වැනි නීති විරෝධී මධ්‍යසාර නිෂ්පාදනවල බහුලව හමුවන විෂ සංයෝගයකි.

මත්පැන් සැකසීමේ ක්‍රියාවලියේදී මෙතනෝල් නිපදවන අතර පෙරීමේ ක්‍රියාවලිය හරහා ඒවා සාන්ද්‍රණය වේ.

වාණිජ නිෂ්පාදකයෝ ඒවා මිනිස් පරිභෝජනය සඳහා හානියක් නොවන මට්ටමට අඩු කරති.

එහෙත්, ජාවාරම්කරුවෝ බොහෝවිට නිවසේ සකසන ලද මත්පැන්වල සැර වැඩි කිරීම සඳහා තීන්ත සහ වාර්නිෂ්වල ඇති කාර්මික මෙතනෝල් මිශ්‍ර කරති.

මෙම විෂ සංයෝගය සුළු ප්‍රමාණයක් වුව ද ශරීරගත වීමෙන්, අන්ධභාවය, අක්මා හානි සහ ඇතැම් විට මරණය පවා සිදු විය හැකි ය.

මෙතනෝල් විෂවීම් පිළිබඳ ක්‍රියාන්විතය (Methanol Poisoning Initiative) පවසන පරිදි, 2023 වසරේදී ලෝකය පුරා මෙතනෝල් සම්බන්ධ සිද්ධි 60ක් වාර්තා වී ඇති අතර, එහිදී, මරණ 309ක් සිදුව තිබේ.

මෙම ක්‍රියාන්විතය ආරම්භ කළ ඔස්ලෝ විශ්වවිද්‍යාලය සහ දේශසීමා රහිත වෛද්‍යවරු (MSF) සංවිධානය අවධාරණය කරන්නේ, මත්පැන් විෂවීමේ සිද්ධි බහුතරයක් ආසියානු රටවල්වලින් වාර්තා වන බව ය.

මෙතනෝල් විෂවීමකදී ඇති වන රෝග ලක්ෂණ මොනවා ද?

කාර්මික මෙතනෝල් ස්වල්පයක් පානය කිරීම පවා අතිශයින් අනතුරුදායක වේ.

එක්සත් රාජධානියේ එංගලන්ත මහජන සෞඛ්‍ය සේවාව පවසන පරිදි, මෙතනෝල් වාෂ්ප ශරීරගත වීමෙන් හෝ ආශ්වාස කිරීමෙන් බරපතළ සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි ය. ඒවා මෙසේ ය:

• කෝමා

• වලිප්පුව

• ස්නායු පද්ධතියට හානි සිදුවීම

• අන්ධභාවය

• මරණය

මෙතනෝල් මගින් නිපදවෙන අම්ලය මරණයට හේතු වන්නේ කෙසේ ද යන්න, තමිල්නාඩු ප්‍රාන්තයේ පුදුකොට්ටෙයි රජයේ වෛද්‍ය විද්‍යාල රෝහලේ වෛද්‍ය ඒ. මුතූ බීබීසී දෙමළ සේවයට පැහැදිලි කර තිබේ.

‘වකුගඩුවල නිපදවෙන ඇසිඩ් මුත්‍රා පිටවීම අවහිර කරනවා. ඒක නිසා ලුණු සාන්ද්‍රණය වැඩි වෙලා වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු වෙනවා.’

අන්ධභාවය

මෙතනෝල් කුඩා ප්‍රමාණයක් ශරීරගත වීමෙන් පවා කේන්ද්‍රීය ස්නායු පද්ධතියේ කොටස් තියුණු ලෙස විනාශ විය හැකි අතර, එය යළි සුව කළ නොහැකි අන්ධභාවයට හේතු විය හැකි බව ද බ්‍රිතාන්‍යයේ Opthamology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක් අනතුරු අඟවා තිබේ.

නීතිවිරෝධී ඇල්කොහොල් පානය කළ රෝගීන්ගේ ඇස් පෙනීම ආරක්ෂා කර ගැනීමට අතිශයින් දියුණු වෛද්‍ය සේවාවන්ට පවා නොහැකි වී තිබේ.

ලින්කන් ප්‍රාන්ත රෝහලේ වෛද්‍ය උපදේශකයෙකු වන විකාස් සෝදිවාලා 2012 වසරේදී බීබීසී පුවත් සේවයට පැවසුවේ, කරකැවිල්ල, ඔක්කාරය, බඩේ රුදාව, වමනය සහ පෙනීම බොඳවීම වැනි රෝගවලින් පෙළෙන රෝගීන් රෝහලේ අනතුරු අංශයට පැමිණෙන බව ය.

ඔහු පැවසුවේ, ඔවුන් විවිධ අලෙවිසල්වලින් ඒවා මිල දී ගෙන ඇති බව ය.

‘මෙතනෝල්වලට පුළුවන් ඇසේ පිටුපස දෘෂ්ටි ස්නායුවට පහර දෙන්න. මෙය පුද්ගලයෙකුගේ පෙනීම කෙරෙහි බලපාන අතර සමහර අවස්ථාවල අන්ධභාවය ඇති කරනවා,’ ඔහු පැවසීය.

ගෝලීය තත්ත්වය

මෙතනෝල් විෂ වීම ගෝලීය වශයෙන් අවදානමට ලක්විය හැකි ජනගහනයට අසමානුපාතික ලෙස බලපා ඇති අතර, මෙතනෝල් විෂවීම් පිළිබඳ ක්‍රියාන්විතය පවසන පරිදි එවැනි සිද්ධි වාර්තා වන්නේ, බොහෝවිට අඩුවෙනි.

ප්‍රසිද්ධ සන්නාම සහිත ස්ප්‍රීතුවල මිල ඉහළ යාම මධ්‍යයේ, අඩු ආදායම්ලාභීහු මිල අඩු මත්පැන් කෙරෙහි යොමු වෙති.

2011 වසරේදී ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පුද්ගලයින් 170කට ආසන්න පිරිසක් මිය ගිය අතර, 2009 වසරේදී ගුජරාට්හි 100 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 100 දෙනෙක් 2015 වසරේදී මුම්බායිහිදී මිය ගියහ.

2022 වසරේදී දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජ ශාලාවකදී මිය ගිය යෞවනයන් 21 දෙනෙකුට මෙතනෝල් ශරීරගත වී තිබුණු බව විමර්ශකයින් හඳුනාගෙන තිබිණි.

මත්පැන් තහනම් කිරීම්

හරාම් (තහනම්) ලෙස සැලකෙන හෙයින් ඇතැම් මුස්ලිම් රටවල මත්පැන් භාවිතය තහනම් කර තිබේ.

විශේෂඥයින් පවසන්නේ, ඉරානය හෝ ඉන්දුනීසියාව වැනි මුස්ලිම් බහුතරයක් සහිත රටවල නීතිවිරෝධී මත්පැන් පානයෙන් මරණ සිදුවීම වැළැක්වීම සඳහා ඔවුන් සටන් කරන ප්‍රධාන ම හේතුව වන්නේ, මත්පැන් පානයට එරෙහි ආගමික තහනම බව ය.

මිනිසුන් අසනීප වුවහොත් ලැජ්ජාව හෝ චෝදනාවලට ඇති බිය නිසා උපකාර පැතීමට මැලිකමක් දක්වයි.

2014 වසරේදී පකිස්ථානයේ සින්ධ්හි විෂ මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අධික ලෙස මත්පැන් අලෙවි කරනු ලබන ප්‍රදේශ ආශ්‍රිත විදේශීය මත්පැන් අලෙවි කරනු ලබන තැබෑරුම්වලට පැමිණෙන සහ නිවාඩු ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින් ද මෙතනෝල් මිශ්‍ර පාන වර්ග පානය කිරීමේ වැඩි අවදානමක් ඇත.

ඔබ නීති විරෝධී මත්පැන් මිල දී ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ කොතැනින් ද?

ඔබ කුමන රටක සිටිය ද, නීතිවිරෝධී මත්පැන් වෙළෙන්දන්ගේ ගොදුරක් බවට පත් විය හැකි ය.

ජාත්‍යන්තර පොලිස් සේවාවක් වන ඉන්ටර්පෝල් පවසන්නේ, ‘සාමාන්‍ය මිලට වඩා ගොඩක් අඩු මිලකට අලෙවි කරනවා නම්, එහෙම නැත්නම්, මත්පැන්වලට බද්දක් ඇතුළත් කරල නැත්නම් ඒ මත්පැන් වර්ගය ව්‍යාජ එකක් වෙන්න පුළුවන්,’ යනුවෙනි.

එහෙත්, ඉහළ මට්ටමේ වෙළෙඳසල්වල පවා නොදැනුවත්ව ම විෂ සහිත මත්පැන් අලෙවි කරනු ලැබේ.

නයිජීරියාව

නයිජීරියාවේ ආහාර විශ්ලේෂකයෙකු වන ඔපෙයේමි ෆාමකින් බීබීසී පුවත් සේවයට පැවසුවේ, පෝර්ට් හාර්කෝර්ට් අගනුවර රාත්‍රී සමාජ ශාලාවකින් ‘ව්‍යාජ’ බවට හදුනාගත් ප්‍රකට සන්නාමයක් සහිත විස්කි පානය කිරීමෙන් පසු ඔහු දැඩි ලෙස රෝගී වූ බව ය.

‘ඒකෙ හොඳ රසයක් තිබුණා. සාදයක් පැවැත්වෙන වෙලාවට කවුරුත් විමසිලිමත් වෙන්නෙ නෑ. කොහොම හරි, මම දවස් පහක් අසනීපෙන් හිටියා,’ වැඩිදුරටත් ඔහු පැවසීය.

නයිජීරියාවේ බොහෝ නගරවල ‘දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති’ ව්‍යාජ මත්පැන් සම්බන්ධයෙන් බොහෝ දෙනා තම අත්දැකීම් සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් පසු තවත් පුද්ගලයින් සමාන අත්දැකීම් බෙදා ගත් බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ධනවත් රටවල අපරාධකරුවෝ එක ම ආකාරයකින් ක්‍රියාත්මක වෙති.

ග්‍රීසිය

හැනා පවෙල් 2016 අගෝස්තු මාසයේදී ග්‍රීසියේ සැන්ටේහිදී මිතුරන් සමග මත්පැන් අලෙවි සලක පැවති රාත්‍රී සාදයකට පසු වෙහෙසට පත්ව සිටියා ය.

ඒත්, ඒ වෙරි මත හේතුවෙන් නොවේ.

23 හැවිරිදි ඇය වොඩ්කා පානය කර තිබූ අතර, ඇය නොදැනුවත්ව එයට මාරාන්තික මෙතනෝල් මිශ්‍ර කර තිබී ඇත. එයින් ඇයගේ වකුගඩු අක්‍රිය වූ අතර අන්ධභාවයට පත් විය.

‘පේන විදිහට මාෆියා කල්ලි එය වනාන්තරයේදී හදලා අඩු මිලට බාර්වලට විකුණනවා. ඒ වගේ ම බාර් හිමියන් ඔවුන්ගේ තොග පුරවා ගන්නවා,’ ඇය බීබීසී නිව්ස්බීට් වෙත පැවසුවා ය.

2009 වසරේදී තවත් පුද්ගලයින් 25 දෙනෙක්, (ඔවුන්ගෙන් හතර දෙනෙකු විදේශිකයෝ වූහ) බාලිවලදී මිල දී ගත් මෙතනෝල් මිශ්‍ර පාම් වයින් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.

‘මම ලයිට් එක දාන්න නැගිට්ටා. ඒත් ලයිට් එක දාලා තිබුණ බව මම තේරුම් ගත්තා ම, මට කිසි දෙයක් පෙනුණෙ නැති නිසා මම කලබල වුණා.’

රුසියාව

ව්‍යාජ වොඩ්කා ඉතා පහසුවෙන් රුසියාවේ සිල්ලර වෙළෙඳසල්වලට ඇතුළු වී ඇති අතර, 2000 දශකයේ මැද භාගය වන තෙක් සුපිරි වෙළෙඳසල්වල විකුණන ලද මධ්‍යසාරවලින් අඩක් පමණ ව්‍යාජ ඒවා විය.

2023 වසරේදී, සුපිරි වෙළෙඳසල්වල නීත්‍යනුකූලව අලෙවි කරන ලද “මිස්ටර් සයිඩර්” නම් මධ්‍යසාර පානය කිරීමෙන් රුසියාවේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් 30 දෙනෙක් මිය ගියහ.

මේ වසර මුලදී, පිළිගත් නිෂ්පාදකයින්ට පමණක් අයැදුම් කළ හැකි බවට සහතික කරමින්, රුසියානු රජය මත්පැන් නිෂ්පාදකයින් සඳහා බලපත්‍ර නීති දැඩි කළේ ය.

බලපෑම මිනිසුන්ට පමණක් නොවේ

ශ්‍රී ලංකාව වැනි රටවල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය පරිසරයට සහ වනජීවීන්ට ද බලපායි.

2022 වසරේදී කසිප්පු සැකසීම සදහා භාවිත කළ බැරලයක සිය හොඬය සිර කරගෙන සිටි අලියෙකු වනජීවී නිලධාරීන් විසින් බේරාගනු ලැබිණි.

අලි ගැවසෙන කැලෑබද ප්‍රදේශවල නීතිවිරෝධී මත්පැන් ජාවාරම් බාධාවකින් තොරව කරගෙන යාම සඳහා ජාවාරම්කරුවන් අලි ඇතුන් ඝාතනය කරන බවට ද පරිසරවේදීහු චෝදනා කරති.

මෙතනෝල් සහ එතනෝල් අතර වෙනස කුමක් ද?

එතනෝල් සහ මෙතනෝල් යනු ඉන්ධන සහ ද්‍රාවක ලෙස භාවිත කරන මධ්‍යසාර වර්ග දෙකකි.

මිල අධික රසායනික ද්‍රව්‍යයක් වන එතනෝල් බියර්, වයින් සහ ස්ප්‍රීතු වැනි මධ්‍යසාර පානවල ද අඩංගු වේ.

මත්පැන් පානය කිරීමෙන් හිසරදය සහ ඔක්කාරය ඇති විය හැකි වුව ද, එම ප්‍රතිවිපාක තාවකාලික ය.

කෙසේ වෙතත්, තරමක් මධ්‍යසාරමය ගන්ධයක් සහිත සහ සාපේක්ෂව මිල අඩු මෙතනෝල් ඉතා විෂ සහිත වන අතර පරිභෝජනයට නුසුදුසු ය.

ඓතිහාසික වශයෙන්, මෙම රසායනිකය ලී වලින් ආසවනය කරන ලද අතර එය දැව මධ්‍යසාර ලෙස ද හැඳින්වේ.

BBC News Tamil, BBC News Asia, BBC News Parsian, BBC News Africa, BBC News Russia, BBC Newsbeat සහ BBC News Online විසින් දායකත්වයෙන් BBC ලෝක සේවය විසින් සම්පාදනය කරන ලද ලිපියකි