ක්‍රිකට් ශූරයින්ගේ කුසලානය: 2025 තරගාවලිය සහ ශ්‍රී ලංකාව අතීතයේ දැක්වූ දක්ෂතා

Sri Lanka captain Sanath Jayasuriya and India captain Sourav Ganguly share the 2002 Champions Trophy tournament

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2002 අවසන් තරගයට අවස්ථා දෙකකදී ම වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් පසු, ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට කුසලානය සමව හිමි විය.

මුල් වටයේ තරග 12ක් සහ අවසන් පූර්ව තරග දෙකකින් පසුව 2025 ශූරයින්ගේ ක්‍රිකට් තරගාවලියේ 9 වන අදියරේ අවසන් තරගය ආසන්නයට පැමිණ තිබේ.

අවසන් තරගයට සුදුසුකම් ලැබූ ඉන්දියාව සහ නවසීලන්තය A කාණ්ඩය නියෝජනය කළ කණ්ඩායම් වන අතර, අවසන් පූර්ව වටයේදී පිළිවෙළින් ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව පරාජය කිරීමෙන් පසු ඉරිදා පැවැත්වෙන අවසන් තරගයේදී ඔවුන් නැවත හමුවනු ඇත.

India captain Rohit Sharma (left) and New Zealand captain Mitchell Santner (right) split graphic

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම කණ්ඩායම් දෙක A කාණ්ඩය නියෝජනය කළ අතර මුල් වටයේ තරගයෙන් ඉන්දියාව ජය ගත්තේ ය.

අවසන් තරගය

2025 ශූරයින්ගේ තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන්නේ, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

තරගය ඉරිදා (මාර්තු 09) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත ය.

මෙම තරගාවලියේ සත්කාරකත්වය පකිස්ථානය දැරුව ද, අවසන් තරගය ඩුබායිහි පැවැත්වීමට සිදුව ඇත්තේ, ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබීම හේතුවෙනි.

ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් නොලැබුවේ නම් අවසන් තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ, පකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ය.

ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා

මීට පෙර, ක්‍රිකට් ශූරයින්ගේ තරගාවලි 8ක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව එක් අවස්ථාවකදී සම ශුරතාව හිමි කරගෙන ඇති අතර, ඊට අමතරව කිසිදු අවස්ථාවකදී මෙම කුසලානය හිමි කරගෙන නැත.

1998 ආරම්භක තරගාවලියේ සහ 2013 තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා ශ්‍රී ලංකාව පැමිණ තිබේ.

ඊට අමතරව, 2000 වසරේ තරගාවලියේ අර්ධ අවසන් වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබී ය.

ශූරතා කුසලානය දිනූ රටවල්

මෙවර අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින ඉන්දියාව එක් වරක් ශූරතාව සහ තවත් වරක් සම ශූරතාව හිමි කරගෙන තිබේ.

නවසීලන්තය ද එක් වරක් ශූරතාව හිමි කරගෙන ඇත.

පසුගිය වසරවල ශූරතාව හිමි කර ගත් රටවල් මෙසේ ය.

1998: දකුණු අප්‍රිකාව

2000: නවසීලන්තය

2002: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව (වර්ෂාව හේතුවෙන්)

2004: බටහිර ඉන්දීය කොදෙව්

2006: ඔස්ට්‍රේලියාව

2009: ඔස්ට්‍රේලියාව

2013: ඉන්දියාව

2017: පකිස්ථානය