ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අප මිය ගිය පසු අපගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට සිදුවන්නේ කුමක් ද?
- Author, සෙලින් ගිරිත් සහ ගෲජිකා ඇන්ඩ්‍රික්
- Role, බීබීසී ලෝක සේවය
"මැතිව් මිය ගිහින් කියලා සමහර අය දන්නේ නැහැ. ඒ අය තාමත් මැතිව්ගේ උපන් දිනය දකිනවා සහ ඔහුගේ වෝල් (wall) එකේ ඔහුට සුබ පතනවා. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි."
හේලි ස්මිත්ගේ ස්වාමිපුරුෂයා වන මැතිව්, මීට වසර දෙකකට පෙර, වයස අවුරුදු 33දී පිළිකාවක් හේතුවෙන් මිය ගියේ ය. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් කුමක් කළ යුතු ද යන්න පිළිබඳව ඇය තවමත් සිටින්නේ අරගලයක ය.
"මම මැතිව්ගේ ෆේස්බුක් ගිණුම memorial page එකක් බවට පත් කිරීමට උත්සහ කළා. ඒකෙදි මූලික වශයෙන් ඔවුන් ඉල්ලුවේ ඔහුගේ මරණ සහතිකය upload කරන්න කියලා," යනුවෙන් එක්සත් රාජධානියේ වෙසෙන මෙම පුණ්‍ය ආයතනයක සේවිකාව පවසයි.
"මම ඒක 20 පාරකට වඩා කළා. ඒත් ඒක ගන්නේ නැහැ - මුකුත් වෙන්නේ නැහැ. මට ෆේස්බුක් එකට කතා කරලා ඒක විසඳගන්න තරම් ශක්තියක් නැහැ."
Memorialised ගිණුමක් යනු කුමක් ද?
තාක්‍ෂණයේ දියුණුවත් සමග සහ ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් සමාජ මාධ්‍ය වේදිකා භාවිත කිරීමත් සමග, යමෙකුගේ මරණයෙන් පසු ඔවුන්ගේ ඔන්ලයින් ජීවිතයට සිදුවන්නේ කුමක් ද යන්න විශාල මාතෘකාවක් බවට පත්ව ඇත.
අදාළ පුද්ගලයා මිය ගොස් ඇති බව ඥාතියෙකු ප්‍රශ්නගත සමාජ මාධ්‍ය වේදිකාවට දන්වන්නේ නම් මිස ගිණුම් සජීවීව සහ ක්‍රියාකාරීව පවතී.
ඇතැම් සමාජ වේදිකා ළඟ ම ඥාතියෙකු විසින් මරණයක් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීමෙන් පසු ගිණුම වසා දැමීමේ විකල්පය ලබා දෙන අතර ඇතැම් ඒවා වෙනත් විකල්ප ලබා දෙයි.
නිදසුනක් වශයෙන්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමි සමාගම වන මෙටා සමාගම මරණ සහතිකයක් ඉදිරිපත් කළ විට මියගිය පුද්ගලයාගේ ගිණුම මකා දැමීමට හෝ එය "memorialised" ගිණුමක් බවට පත් කිරීමට අවස්ථාව ලබා දෙයි. එයින් අදහස් වන්නේ, ගිණුම ක්‍රියාවිරහිත කර පරිශීලකයා සිහිපත් කරන සහ ඡායාරූප සහ මතකයන් බෙදා ගැනීමට මිනිසුන්ට ඉඩ දෙන පිටුවක් (page) බවට පරිවර්තනය කිරීම ය.
එවැනි ගිණුමක පරිශීලකයාගේ නමට පසෙකින් ඔහු හෝ ඇය සිහිපත් කරමින් පණිවිඩයක් දිස්වන අතර එම ගිණුම අයත් පුද්ගලයා ඒ සඳහා “legacy contact” එකක් ලබා දී නොමැති නම් වෙනත් පාර්ශවයකට එම ගිණුමට ඇතුළු වී එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබේ. Legacy contact එකක් යනු, ගිණුමේ අඩංගු අනතර්ගතයන් කළමනාකරණය කිරීමට හෝ එය අක්‍රිය කරන ලෙසට ඉල්ලුම් කිරීමට අවසර ලත් ඇති මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකි.
ෆේස්හිබුක්හි, "People You May Know" යටතේ memorialised ගිණුමක් අනෙක් පරිශීලකයින් වෙත නිර්දේශ නොවන අතර මියගිය පුද්ගලයාගේ මිතුරු ලැයිස්තුවේ සිටින පරිශීලකයින්ට ඔහුගේ උපන්දිනය පිළිබඳව ද දැනුම් නොදෙනු ඇත.
YouTube, Gmail සහ Google Photosහි හිමිකරු වන ගූගල්, එහි පරිශීලකයින්ට ඔවුන්ගේ "inactive account" settings වෙනස් කිරීමට විකල්පය ලබා දී ඇති අතර එහිදී ඔවුන් නියමිත කාල සීමාවක් අක්‍රිය වී සිටී නම් ඔවුන්ගේ ගිණුම් සහ දත්තවලට කුමක් කළ යුතු ද යන්න තීරණය කිරීමට ඉඩ සලසයි.
X (මීට පෙර ට්විටර්) මියගිය පුද්ගලයා සිහිපත් කිරීම සඳහා ගිණුම සුරැකිව තැබීමේ විකල්පය ලබා නොදෙන අතර ගිණුම අක්‍රිය කළ හැක්කේ මරණයකදී හෝ හිමිකරුට එය භාවිත කිරීමට නොහැකි නම් පමණි.
"විවිධ ප්‍රවේශ තියෙනවා, නමුත් සියලු ම සමාගම් මියගිය අයගේ පෞද්ගලිකත්වයට ප්‍රමුඛත්වය දෙනවා," බීබීසී ලෝක සේවයේ තාක්ෂණ වාර්තාකරු ජෝ ටයිඩි පවසයි.
"Login details ලබා දීමක් වෙන්නේ නැහැ. ඔබ අවසර ලැබෙන්නේ ඡායාරූප සහ වීඩියෝ වැනි සමහර දත්තවලට ප්‍රවේශ වෙන්න, ඒකත් අධිකරණය නියෝගයක් වැනි විශේෂ ඉල්ලීමක් මත."
කෙසේ වෙතත්, ටික්ටොක් සහ ස්නැප්චැට් වැනි නව සමාජ වේදිකාවල එවැනි කිසිදු විධිවිධානයක් ක්‍රියාත්මක නොවන බව ඔහු තවදුරටත් පවසයි.
අප ඩිජිටල් අවසන් කැමති පත්‍රයක් (digital legacy will) සකස් කළ යුතු ද?
දත්ත, ඡායාරූප, හෝ වෙනත් අන්තර්ගතයන් වැරදි පුද්ගලයින් අතට පත්වුවහොත්, මියගිය පරිශීලකයින්ගේ සක්‍රීය ගිණුම්වලට ගැටලුවක් මතු විය හැකි යැයි සයිබර් අපරාධ පිළිබඳ විශේෂඥයෙකු සහ සර්බියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ අධි-තාක්‍ෂණික අපරාධ පිළිබඳ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා වන සාසා සිවනෝවික් අනතුරු අඟවයි.
"ඡායාරූප, දත්ත සහ වීඩියෝ යොදා ගෙන ව්‍යාජ නම් යටතේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරන්න, අදාළ පුද්ගලයා මියගොස් කියලා නොදන්න, ඔහු හෝ ඇය දන්නා හඳුනන අයගෙන් සහ මිතුරන්ගෙන් අයුතු ලෙස මුදල් ලබා ගන්න යොදා ගන්න පුළුවන්," ඔහු පවසයි.
එක්සත් රාජධානියේ Digital Legacy Associationහි සභාපති ජේම්ස් නොරිස් අවධාරණය කරන්නේ, තමන් සමාජ ජාල වෙත උඩුගත කරන අන්තර්ගතයන් (content) ගැන සිතීම සහ ඔවුන්ට හැකි විට උපස්ථයක් (backup) සෑදීමට හැකි වීම වැදගත් බව ය.
උදාහරණයක් ලෙස ෆේස්බුක්හි ඔබගේ ඡායාරූප සහ වීඩියෝවල සම්පූර්ණ එකතුවක් (archive) බාගත කර එය ඔබගේ ළඟ ම ඥාතියෙකු වෙත ලබා දිය හැකි බව ඔහු පෙන්වා දෙයි.
"ඉතින්, මට මාරාන්තික රෝගයක් තියෙනවා කියලා හඳුනා ගෙන ෆේස්බුක් නැති කුඩා දරුවෙක් ඉන්නවා නම්, මම මගේ ඡායාරූප සහ වීඩියෝ සියල්ල ම download කර ගෙන, messages ඉවත් කරලා, මොක ද මගේ දරුවා මගේ පෞද්ගලික පණිවිඩ දකින එක මට අවශ්‍ය නැති නිසා, මගේ ප්‍රියතම ඡායාරූප තෝරලා, ඒ හැම එකකට ම වගේ කතාවක් ලියාවි," ඔහු පවසයි.
ඔබේ මරණයෙන් පසු ඔබේ සමාජ මාධ්‍ය ගිණුම්වලට සිදු වීමට අවශ්‍ය දේ සැලසුම් කිරීම ඉතා වැදගත් බව ඔහු සිතන අතර ඩිජිටල් අවසන් කැමති පත්‍රයක් (digital legacy will) සකස් කිරීමට ජනතාවට උපදෙස් දෙයි.
"අවසානයේදී, සමාජ ජාලකරණය කියන්නේ බිස්නස් එකක්. මෙම වේදිකා ඔබේ ඩිජිටල් උරුමයේ භාරකරුවන් නොවෙයි," ඔහු පවසයි. "ඔබේ ඩිජිටල් උරුමයේ භාරකරු ඔබ යි."
කෙසේ වෙතත්, ඔහු සිතන්නේ සමාජ මාධ්‍ය වේදිකාවලට වියෝදුකට පත්ව සිටින ඥාතීන් වෙනුවෙන් මෙම ක්‍රියාවලිය පහසු කළ හැකි බව ය.
"අදාළ වේදිකාව සපයන දේ පිළිබඳව දැනුවත් කිරීම, තියෙන මෙවලම් (tools) මොනවා කියන එක වගේ දේවල් වැදගත් වෙන්නේ ඒවා තියෙනවා කියලා හැම කෙනෙක් ම නොදන්න නිසා," ඔහු පවසයි.
'ඩිජිටල් උරුමය (digital legacy) කියන්නේ සමාජ මාධ්‍ය පමණක් ම නොවෙයි'
"Digital legacy කියන්නේ විශාල මාතෘකාවක්," යනුවෙන් අනතුරු අඟවන්නේ මාරාන්තික රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට සහ ඔවුන්ගේ ආදරණීයයන්ට රැකවරණය සහ සහය ලබා දෙන එක්සත් රාජධානියේ පුණ්‍යායතනයක් වන මාරි කියුරි ආයතනයේ පර්යේෂණ හෙදියක වන සාරා ඇටන්ලි ය.
මිනිසුන් තම සමාජ මාධ්‍ය ගිණුම් ගැන පමණක් නොව ඩිජිටල් ලෙස තමන් සතු සෑම දෙයක් ම සහ මරණයකදී ඒවාට කළ යුතු දේ ගැන සිතා බැලිය යුතු බව ඇය අවධාරණය කරයි.
"ඩිජිටල් ඡායාරූප සහ වීඩියෝවල බොහෝ මතකයන් අඩංගු වෙලා තියෙන්න පුළුවන්. Banking පැත්තෙන් ගත්තා ම අපි ගොඩක් මූල්‍ය කළමනාකරණ කටයුතු කරර්න්නේ ඔන්ලයින්," ඇය පවසයි.
"එතකොට playlist හදන්න නිර්මාණය කරපු music accounts, ඔන්ලයින් game භාවිතයේ වැඩි වීමක් අපි දකිනවා, මිනිස්සුන් ඔවුන්ගේ avatars නිර්මාණය කරන්න සහ ඔන්ලයින් අවකාශයේ ජීවත් වෙන්න විශාල කාලයක් සහ වෑයමක් දරනවා."
"ඉතින්, මම හිතන්නේ ඩිජිටල් උරුමය (digital legacy) කියන්නේ සමාජ මාධ්‍ය පමණක් නෙවෙයි කියලා කියන එක වටිනවා."
ඩිජිටල් ලෙස අපට අයිති දේ සහ එයින් අපට සිදු වීමට අවශ්‍ය දේ ගැන සිතීම ආරම්භ කිරීම වැදගත් බව ඇය එකඟ වේ.
"අපේ සමාජ මාධ්‍ය ගිණුම් කවුරුන් හෝ පවරා ගැනීම අපට අවශ්‍ය ද? කවුරුහරි ඔවුන්ව අනුස්මරණය කිරීමක් අපට අවශ්‍ය ද? ඩිජිටල් ඡායාරූප සහිත ඇල්බමයක් අපේ දරුවන්ට ලබා දීමට අපට අවශ්‍ය ද? එසේත් නැතිනම් මිනිසුන් කලින් කළා වගේ ඒවා මුද්‍රණය කරලා, අප මිය ගිය පසු යමෙකුට ලබා දිය හැකි ලස්සන, මුද්‍රිත ඡායාරූප ඇල්බමයක් මෙන් තබා ගැනීමට අපට අවශ්‍ය ද? ඩිජිටල් උරුමය කියලා කියන්නේ අනිවාර්යයෙන් ම සිතා බැලිය යුතු හා කතා කළ යුතු දෙයක්."
නමුත් හේලිට සහ මැතිව්ට එය සාකච්ඡා කිරීමට තරම් පහසු මාතෘකාවක් නොවීය.
"මැට් මරණාසන්න වෙලාවේ මම ඇත්තට ම එයා එක්ක මේ ගැන කතා කළේ නැහැ. මොක ද මැරෙන එක ගැන කතා කරන්න එයාට ඇත්තට ම ඕනේ වුණේ නැති නිසා," ඇය පවසයි.
"එයාට ඕනේ වුණේ හැකි තාක් කල් ජීවත් වෙන්න. ඒත් එයා බරපතළ විදිහට ලෙඩ වුණා. තවදුරටත් එයා, එයා වුණේ නැහැ. ඒ නිසා එයාට මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණා."
2016 ජූලි මාසයේදී, එනම් වයස අවුරුදු 28දී මැතිව් 4 වන අදියරේ ග්ලියෝබ්ලාස්ටෝමා රෝගයෙන් පෙළෙන බව හඳුනා ගන්න විට ඔවුන් විවාහ වී ගත වී තිබුණේ වසරකට වැඩි කාලයක් පමණි.
"ඔයාගේ ජීවිතය සදහට ම වෙනස් වෙන්න යන්නේ, හැබැයි ඒ හොඳ විදිහට නෙවෙයි," වෛද්‍යවරයා ඔවුන්ට පැවසුවේ මැතිව්ගේ මොළයේ ගෙඩියක් ඇති බව ත් ජීවිතාරක්ෂකව සඳහා ඔහු වහා ම සැත්කමකට භාජනය කිරීමට අවශ්‍ය බව ත් පවසමිනි.
ශල්‍යකර්මය සහ ඉන් පසුව කෙරුණු රසායනික චිකිත්සාව (chemotherapy) හොඳින් සිදු වුව ද, කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ මොළයේ වූ ගෙඩිය නැවත වර්ධනය වූ අතර, මැතිව්ට ජීවත් වීමට ඉතිරිව ඇත්තේ වසරක් පමණක් බව ඔවුන්ට දන්වන ලදී.
"හැම දේක ම තිබුණේ එයාගේ නම, අපේ බිල්වල පවා, ඇත්තට ම මගේ ළඟ තිබුණු හැම දේක ම," හේලි පවසයි.
"ඉතින්, මට හැමදේ ම මාරු කර ගන්න සිද්ධ වුණා සහ ඒක හරි අමාරු දෙයක් වුණා. මට අවශ්‍ය digital admin වැඩ හැමදේ ම කර ගන්න මාස 18ක වගේ ලොකු කාලයක් ගත වුණා."
ඇය පවසන්නේ, ඇයට තවමත් මැතිව්ගේ ෆේස්බුක් පිටුව ඔහු අනුස්මරණය කිරීම සඳහා පරිවර්තනය කිරීමට අවශ්‍ය නමුත් මේ අවස්ථාවේදී ඒ සඳහා වෙහෙසීමක් සිදු නොකරන බව ය.
"මම හිතන්නේ මරණ සහතිකයක් වගේ ලියවිල්ලක් දිහා නිතර බලන්න වෙන එක වේදනාවක්. ඒකයි මම ඒක කරන එක මගහරින්නේ. මොක ද ඒක භයංකර පුංචි කොල කෑල්ලක් නිසා."
"මම හිතන්නේ ඒක ඇත්තට ම ඕනෑවට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් කියලා. වියෝදුකට පත් වූවන්ට ඒක කරන්න පහසු ක්‍රමයක් සමාගම් හදලා දෙන්න ඕනේ," ඇය පවසයි.