ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අස්වැසුම' සහ සමෘද්ධිය අතර වෙනස කුමක් ද?
අස්වැසුම’ යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව සමාජ ආරක්ෂණ වැඩසටහනකි. එම ප්‍රතිලාභ ලැබීමට තෝරා ගෙන ඇති පුද්ගලයින් කවුද? ඒ සඳහා වන නිර්ණායක මොනවාද යන්න පිළිබඳ විමසා බැලීමකි මේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් වන ආර්ථිකය අතින් අවදානම් සහගත තත්වයක සිටින පුද්ගලයන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැල් සකස් කිරීමේ එක් පියවරක් වශයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ආරම්භ කරන ලද "අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ පළමු අදියරේ තෝරාගන්නා ලද පුද්ගලයන් හට එම දීමනා ගෙවීමට අදාල කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි.
ඒ සඳහා අවශ්‍ය බැංකු ගිණුම් විවෘත කිරීම වෙනුවෙන් පසුගිය දිනවල රාජ්‍ය බැංකු ආශ්‍රිතව දිගු පෝලිම් ද දැකගත හැකි විය.
'අස්වැසුම' යනු කුමක්ද?
2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද, 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලබයි.
2022 වසර සඳහා අයදුම් කිරීම, අභියායචනා කිරීම සහ විරෝධතා ගොනු කිරීම පසුගිය ජුලි 10 වැනිදා අවසන් විය. නමුත් ඉදිරි වසරට අදාලව නව අයදුම්පත් කැඳවීම 2023 අගෝස්තු 01 වැනිදා සිට ආරම්භ කරන බව ජුලි 11 දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් ප්‍රකාශ කළේ ය.
'අස්වැසුම' සහ සමෘද්ධිය අතර වෙනස කුමක් ද?
'අස්වැසුම' වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය අඩපණ කරන්නක් නොව, ආර්ථික අවදානමක් සහිත, සමාජ සුබසාධක ප්‍රතිලාභ අවැසි ප්‍රජාව එම තත්ත්වයෙන් මුදාගැනීම ඉලක්කකර ගත් විධිමත් වැඩසටහනකැ යි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි.
සමෘද්ධිය ලැබූමුත් අස්වැසුම සඳහා සුදුසුකම් නොලැබූ පවුල් ලක්ෂ 4ක පමණ අභියාචනා සහ විරෝධතාවන්හි විමර්ශන අවසන් වනතෙක් ඔවුනට ද සමෘද්ධි දීමනාව ලබාදීමට තීරණය කර ඇතැ යි අමාත්‍යවරයා පැවසීය. එනිසා, සමෘද්ධිය ලබන අතරේම අස්වැසුම සඳහා ඉල්ලුම් කළ තැනැත්තන්ට, එම ආධාරයන්ගෙන් එකක් ලැබෙනු ඇත.
දැනට වැඩිහිටි, වකුගඩු රෝග සහ ආබාධිත ආධාර ලබන පිරිස සඳහා පෙර පරිදිම අදාළ මුදල් ගෙවීම සිදු කෙරෙනබවත්, වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද, වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබාදීමට පියවර ගෙන ඇතැ යි ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අයදුම් කරන්නේ කෙසේද?
සමෘද්ධි සහනාධාරය හෝ අනෙකුත් රජයේ අඩු ආදායම්ලාභී සහනාධාර ලබන හා මෙම දීමනාව ලැබිය යුතු යැයි සිතන ඕනෑම අයෙකුට මේ සඳහා අයදුම් කළ හැකි ය. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය හරහා සෘජුව ම අන්තර්ජාලය හරහා එයට අයදුම් කළ හැකි අතර ග්‍රාම නිලධාරී මඟින් ද අයදුම් කළ හැකි ය. අයදුම්පත්‍රය බාගත කරගෙන ග්‍රාම නිලධාරීවරයා ලවා සහතික කරවාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතු ය.
එහි දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සියලුම නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ සියලුම දත්ත ජංගම දුරකතන යෙදවුමක් හරහා දත්ත පද්ධතියකට ඇතුළත් කරනු ලබයි. එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂිත කමිටුවක් හරහා නිරවද්‍යතාවය තහවුරු කර දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවනු ලබයි. එලෙස රැස් කරගත් දත්ත සමාලෝචනය කර ඛාණ්ඩ හතරක් යටතේ සුදුසුකම් ලබන ප්‍රතිලාභීන් වර්ග කර තිබේ.
එක් නිවසක දත්ත ඇතුළත් කිරීම වෙනුවෙන් එක් ක්ෂේත්‍ර නිලධාරියෙකුට රුපියල් 300.00 බැගින් ගෙවා තිබේ. තොරතුරු සමීක්ෂණය සඳහා දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන ආකාරයට නිලධාරීන් 6728 ක් යොදවා ඇති අතර, ඒ සඳහා සංවර්ධන නිලධාරීන් 3190, ආර්ථික සංවර්ධන නිලධාරීන් 494, ග්‍රාම නිලධාරීන් 205, වෙනත් නිලධාරීන් 1127 සහ තාවකාලිකව බඳවා ගත් 1712 ඇතුළත් වූ බව ජනාධිපති ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියේ දැක් වේ.
දීමනාව හිමි වන්නේ කෙසේද?
සංක්‍රාන්තික ලෙස හඳුනාගන්නා කාණ්ඩයට රුපියල් 2500 බැගින් 2023 ජුලි මාසයේ සිට 2023 දෙසැම්බර් 31 දක්වා දීමනාවක් ගෙවනු ලබයි. අවධානමට ලක් වූ කාණ්ඩයට රුපියල් 5000 ක දීමනාවක් 2023 ජුලි සිට 2024 මාර්තු 31 වැනිදා දක්වා ගෙවීමට නියමිත ය. දුප්පත් ඛාණ්ඩයට රුපියල් 8500 බැගින් හා අන්ත දිළිඳු ඛාණ්ඩයට රුපියල් 15000 බැගින් 2023 ජුලි සිට වසර තුනක් දක්වා ගෙවීමට බලාපොරොත්තු වේ.
දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000 බැගින්ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000 බැගින්ද, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000 බැගින්ද ලබා දෙනු ඇත.මෙම මුදල් සෘජුව ම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට තැන්පත් කරනු ලබයි.
සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04 යටතේ මේ වසරේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත. මෙම ලැයිස්තු සම්බන්ධයෙන් අභියායචනා ඉදිරිපත් කිරීමට මෙන් ම විරෝධතා ගොනු කිරීමට ද හැකි අතර මෙම වසරේ ලැයිස්තුවලට එලෙස ඉදිරිපත් කිරීමට තිබු කාලය ජුලි 10 වැනිදා අවසන් විය.
සුදුසුකම් ලැබූ සංඛ්‍යාව
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340කින් අයදුම්පත්‍ර මිලියන 3.7කට අධික ප්‍රමාණයක් මෙම වසර සඳහා ඉදිරිපත් ව තිබේ. ඒ අතරින් අයදුම්පත්‍ර මිලියන 3.3 ක් තෝරාගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වේ.
එහි ඇති දත්තවලට අනුව ලක්ෂ 18කට අධික සමෘද්ධි ලාභීන්ගෙන් 1 ,280 ,747ක් මෙම සහනාධාරය සඳහා ද අයදුම්කර ඇති අතර ඒ අතරින් 70%ක්, එනම් 887 655ක් සුදුසුකම් ලබා ඇත.
සංක්‍රාන්තික කාණ්ඩයේ පවුල් ඒකක 400,000කට, අවදානමට ලක් වූ පවුල් ඒකක 400, 000කට හා දුප්පත් කාණ්ඩයේ පවුල් ඒකක 800, 000කට සහනාධාරය ලබා දීමට නියමිත අතර අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සංඛ්‍යාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබා දී තිබූ කාලය තුළ අභියාචනා 982, 770ක් ලැබී ඇති අතර විරෝධතා 62, 368ක් ලැබී තිබේ. අභියාචනා 982, 770න් 650, 000ක් ම දැනට ප්‍රතිලාභ ලේඛනයේ ඇතුළත් ව සිටින්නන් වන අතර ඔවුන් අභියායචනා ඉදිරිපත් කර ඇත්තේ වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ය.
ජූලි සිට දීමනා ලබන කණ්ඩායම
මූලික වටයේ තේරී පත් වූ ප්‍රතිලාභීන් 1 ,792 ,265 දෙනෙකුට ජුලි මාසයේ සිට දීමනා හිමිවෙයි.
වකුගඩු රෝගයෙන් පෙළෙන , ආබාධිත හෝ වයෝවෘද්ධ පද්ගලයින් 11,660 දෙනෙකු සඳහාද අදාළ ප්‍රතිලාභ ගෙවීමට ජුලි 31 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ 2023 ජුලි පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ මෙම සහනාධාරය පවුල් ඒකක ලක්ෂ 20කට ලබා දීමට නියමිත බවයි.
මෙම සහනාධාර ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව යෝජනා කළ රු.බිලියන 187ට වඩා වැඩියෙන් එනම්, රු. බිලියන 206ක් මේ සඳහා වෙන් කර ඇතැයි ඔහු පැවසුවේ ය.