ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් වික්‍රමසිංහ:'ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවෙයි'
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව මෙතැන් සිට ශ්‍රී ලංකාවට හිමි වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත වීම සම්බන්ධයෙන් අද (මාර්තු 21 වැනිදා) විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සහාය දැක්වූ සියලු රටවලටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.
මෙතැන් සිට ඇති කරගත් එකඟතාව අනුව ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට අදාළ එකඟතා ගිවිසුම (මාර්තු 22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.