ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: සභා ගර්භයේ උණුසුම් තත්ත්වයක් - පාර්ලිමේන්තුව හෙටට කල් තබයි

බදාදා (14) උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණි. එහිදී, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් කතානායක කරු ජයසූරිය සියලු සභිකයින්ගෙන් ඉල්ලා සිටියේ, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසය.

එහිදී, ස්ථාවර නියෝග කීපයක් අත්හිටුවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් යෝජනා කළේය.

සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කියවීමෙන් පසු න්‍යාය පත්‍රයේ වෙනත් කිසිදු කටයුත්තක් නොමැති බැවින් මීළඟ දිනට සභාව කල් තැබිය යුතු බවය.

"කතානායකට වෙනත් යෝජනාවක් ලිඛිතව භාර ගැනීමට හැකි වන්නේ කල් තබන ලද පාර්ලිමේන්තුව යළි රැස්වීමෙන් පමණයි," දිනේෂ් ගුණවර්ධන පැවසීය.

විමල් වීරවංශ ප්‍රකාශ කළේ, යම් කිසිවෙකුට විශ්වාසභංග යෝජනාවක් භාර දිය යුතු නම් ස්ථාවර නියෝග අත්හිටුවා එදින ම ඒ සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බවය.

ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් වහා ඡන්දයක් පවත්වන මෙන් ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබීය. එම යෝජනාව විජිත හේරත් විසින් අනුමත කරනු ලැබීය.

විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත පළ වී ඇති බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

අනතුරුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර කතානායකවරයා සභාව කල් තබමින් දැනුම් දුන්නේ, බ්‍රහස්පතින්දා උදෑසන 10.00ට පාර්ලිමේන්තුව යළි රැස් වන බවය.

"විශ්වාසංග යෝජනාව සම්මතයි"

මේ අතර, වත්මන් අගමැතිවරයාට සහ රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේ, විශ්වාසභංග යෝජනාව සම්මත කිරීම නීතිවිරෝධී බවටය.

වැඩි දුර තොරතුරු බලාපොරොත්තු වන්න.

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර රවුෆ් හකීම් සමග කළ සාකච්ඡාව....

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර වසන්ත සේනානායක සමග කළ සාකච්ඡාව....